Home » අමෙරිකාවේ බුදුදහම පිහිටු වූ ගුණරතන නාහිමියෝ 97 විය සපුරති

අමෙරිකාවේ බුදුදහම පිහිටු වූ ගුණරතන නාහිමියෝ 97 විය සපුරති

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

භන්තේ ජී ලෙස ලොව ප්‍රකට භාවනා උපදේශකයෙකු මෙන්ම සතිමත් බව පිළිබඳ විශ්වකීර්තිධර භික්ෂුවක් වන උතුරු අ‍ෙමරිකාවේ ප්‍රධාන සංඝනායක ඇ‍ෙමරිකන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියෝ සිය අනූහත්වැනි ජන්ම දිනය පසුගිය දෙසැම්බර් 7 වැනි දින සමරන ලදි. නැෂනල් ජ්‍යෝග්‍රොපි ( National Geographic Magazine ) සඟරාව, ද විස්ඩම් ( The Wisdom Magazine ) සඟරාව, ලයන්ස් රෝ ( Lion’s Roar Magazine ) සඟරාව, ට්‍රයිසිකල් ( Tricycle Magazine ) සඟරාව සහ නිව්යෝක් ටයිම්ස් ( New York Times ) පුවත්පත සුවිශේෂී ඇගයීමකට භාජනය කළ ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියන් දැනට ලොව වැඩ සිටින වයෝවෘද්ධ, ගුණෝවෘද්ධ, තපෝවෘද්ධ ජ්‍යේෂ්ඨතම ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකි.

උන්වහන්සේ මේ වන විට වැඩිම විශ්වවිද්‍යාල ප්‍රමාණයක දේශන පවත්වා ඇති සහ වැඩිම රටවල් ප්‍රමාණයක සංචාරය කර ඇති භික්ෂුවකි. එමෙන්ම උන්වහන්සේ නිසා ජර්මනිය, ස්වීඩනය, ඔස්ට්‍රේලියාව, කැනඩාව හා අප්‍රිකාව යන රටවල ද විහාරස්ථාන ඉදිවිය. පළමුව සීමාමාලකයක් පිහිටුවීමත්, ඇ‍ෙමරිකන් ජාතිකයෙකු රට තුළදී පැවිදි උපසම්පදා කරවීමත් උන්වහන්සේ වෙතින් සිදුවූ හෙයින් උන්වහන්සේ ථෙරවාද සම්ප්‍රදාය ඇ‍ෙමරිකාවේ ස්ථාපිත කරවූ භික්ෂුව බවට පත්වෙති. එපමණක් නොව උන්වහන්සේ පළමු වස් වැසූ මෙන්ම කඨින චීවරයක් ලැබූ භික්ෂුව බවට ද පත්වෙති.

ක්‍රමානුකූල ග්‍රන්ථකරණයට ද යොමු වූ උන්වහන්‌සේ මේ වනවිට ග්‍රන්ථ 15ක් රචනා කර ඇත. මෙම සියලු ග්‍රන්ථ අවම වශයෙන් භාෂා හතරකටවත් පරිවර්තනය වී තිබීම සුවිශේෂී කාරණයකි. ඒ අතරින් Mindfulness in plain English ග්‍රන්ථය භාෂා තිස් දෙකකට පරිවර්තනය වී ඇති අතර, නොකඩවා වසර 12ක් ඇ‍ෙමරිකාව තුළ වැඩියෙන්ම අලෙවි වූ කෘතිය ද වේ. නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් 2022 වසරේදී මෙම ග්‍රන්ථය ලොව අග්‍රගණ්‍ය භාවනා අත්පොතක් ලෙස හඳුනා ගැනිණි. උන්වහන්සේ වෙතින් සම්පාදනය වූ ලිපි ප්‍රමාණයන් අන්තර්ජාලයට මුදාහැර ඇති දේශන ප්‍රමාණයෙන් දහස් ගණනකි.

දිවිමඟේ 97 විය සැපිරුවත් අදටත් උන්වහන්සේ සතියට දේශන තුනක් අන්තර්ජාලයට එකතු කරති. එමෙන්ම ග්‍රන්ථකරණයේද යෙදී සිටිති. මෙවර ඉංග්‍රීසියෙන් පොතක් නිකුත් නොකළත් සිංහල භාෂාවෙන් භාවනාවට අත්පොතක් මැයෙන් ග්‍රන්ථයක් සම්පාදනය වෙයි. ථෙරවාද, මහානායන මෙන්ම වජ්‍රයාන සම්ප්‍රදායන් තුනෙන්ම ගරු බුහුමනට ලක්වන අප නාහිමිපාණන් වහන්සේ ලෝකයේ සඟරජු ලෙස සැලකෙයි.

ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව ස්ථවිර 
උප සභාපති – භාවනා සංගමය 
අ‍ෙමරිකා එක්සත් ජනපදය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division