පසුගියදා වියට්නාමයේ පැවැති Mr. World Competition – 2024හි The Best National Costume Award හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ මේඝ සූරියආරච්චිය. ඇත්කඳ ලිහිණියකුගේ තේජස විදහාපාමින් ශ්‍රී ලාංකේය අභිමානය ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කළ මේඝගේ ජාතික ඇඳුම ගැන මේ වන විට ලෝකයේම කතාබහට ලක්වී තිබීම ලාංකේය අපට ද ආඩම්බරය ගෙන දෙන්නකි. මෙම ජාත්‍යන්තර ජයග්‍රහණයේ සම හිමිකරුවා වන්නේ වෙදගේ නාමල්ය. රටවල් 60ක තරගකරුවන් 60 දෙනකු හා කරට කර ගැටෙමින් මේඝ ලැබූ මෙම ජයග්‍රහණයට සෘජුවම බලපෑවේ නාමල්ගේ ඇඳුම් නිර්මාණය බව අවිවාදයෙන්ම පිළිගත යුතු සත්‍යයකි. මෙය නාමල්ගේ සිව්වැනි ජාත්‍යන්තර ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි. ඇඳුම් නිර්මාණකරණයේ අතිදක්ෂයකු වන වෙදගේ නාමල් අද අපේ කතාබහට එක්වූවේ මේඝ ලද ජයග්‍රහණයට දායක වීමේ සතුට ද සමඟිනි.
කොතෙක් නිර්මාණ කර තිබුණත් වෙදගේ නාමල් කියන නම ගොඩක්ම ඇහෙන්න පටන් ගත්තේ මේඝගේ ජයග්‍රහණයත් එක්ක කිව්වත් හරි නේද?
ඇත්තටම ඔව්. මීට කලින් අවස්ථා කිහිපයකදීම මගේ ඇඳුම් නිර්මාණ ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. MISTER COSMOPOLITAN – 2024හි හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය මුලින්ම දිනාගත්තේ දුලාජ් රූෂ්, IAM MODEL SEARCH INTERNATIONAL තරගය නියෝජනය කරමින් ජයග්‍රහණය කළ රසල් කෙනෙත්ගේ ජාතික ඇඳුම නිර්මාණය වුණේ වාහල්කඩ ඇසුරෙන්. MIS GLOBAL INTERNATIONAL – 2024 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙනෝලි වික්‍රමසිංහ ජයග්‍රහණය කළේ මොනරා සංකේතවත් කරමින් නිර්මාණය කළ ඇඳුම නිසා. FITNESS SUPER MODEL -2024 ලෙස ජාත්‍යන්තර සම්මානය හිමිකරගත් අංජන සමීර වෙනුවෙන් නිර්මාණය වුණේ අපේ ඉතිහාසය තුළ වැඩිපුරම කතාබහට ලක්වන රාවණා රජු. අවසාන වශයෙන් පසුගියදා MR. WORLD COMPETITION – 2024 තරගය නියෝජනය කරමින් Best National Costune Award දිනා ගත් මේඝ සූරියආරච්චි වෙනුවෙන් නිර්මාණය කළේ ඇත්කඳ ලිහිණියා. මේ ජයග්‍රහණ සියල්ලම එකම වසරේ ලැබීමත් විශේෂත්වයක්. ඊට අමතරව ජාත්‍යන්තර නියෝජනයන් සඳහා ඇඳුම් ගණනාවක් නිර්මාණය කළා. Mrs. Glam World – 2024 සඳහා සුගලා දේවිය නිර්මාණය කිරීම වගේම ශ්‍රී ලංකාවේ පැවැති MIS UNIVERSAL තරගයට ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිර්මාණය කිරීමත් විශේෂ අවස්ථා විදිහට සඳහන් කරන්න පුළුවන්.
ඔබේ නිර්මාණයක් ලෝකයේම ජනතාවගේ කැමැත්ත වෙලා එදා මේඝ ජයග්‍රහණය කරද්දි මොකද හිතුණේ?
මං සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට මගේ ඇඳුම් නිර්මාණයක් තරගයක් සඳහා යොමුකරද්දී පහන තියලා භාරවෙලා ප්‍රාර්ථනා කරනවා. මේඝව යැව්වෙත් ඒ ආශීර්වාදයත් එක්ක කොහොම හරි දිනන්න කියන සුබපැතුමක් එක්කරලා. මුලින්ම අවසන් විසිදෙනා අතරට ආවම දිනුවටත් වඩා වැඩි සතුටක් දැනුණා. මේ වගේ තරගයකදී අවසන් 20 අතරට එනව කියන්නෙම ලොකු ජයග්‍රහණයක්. ජයග්‍රහණය කළා කියල දැනගත්තම දැනුණ හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ. ඇඟේ හිරිගඩු පිපුණා. ඇත්තම කිව්වොත් මට ඇඬුණා. මේක රටවල් 60ක් සහභාගි වුණු විශාල තරගයක්. ඒ වගේම විශේෂ ජයග්‍රහණයක්.
මෙතනදි මේඝගේ දායකත්වය සියයට සීයයි. ඇත්තම කතාව කිව්වොත් නිර්මාණකරුවා කොතරම් දක්ෂ විදිහට ඒ නිර්මාණය කළත් ඒ වෙලාවේ පෆෝම් කරන විදිහ අනුව තමයි ජයග්‍රහණය හිමිවෙන්නේ. මේඝ ඒක සියයට සීයක්ම හොඳින් කළා. ඇඳුම ගැන වගේම ඇඳගෙන ෆපෝම් කරන විදිහ ගැන මං පුංචි අවබෝධයක් දුන්නා. ඒකත් ඔළුවෙ තියාගෙන කිසිම පෙර පුහුණුවක් නැතුව එවෙලේ ඇඟට දැනුණ දේ මේඝ හරි අපූරුවට ඉදිරිපත් කරල තිබුණා.
ඇත්කඳ ලිහිණියා කියන සංකල්පය ඔබේ සිතට එන්න හේතු වුණේ මොකක්ද?
සංඛ අබේසිංහ අයියා මට මේක භාර දෙද්දිත් තිබුණේ සතියක වගේ කාලයක්. සාමාන්‍ය යෙන් මම එක ඩිසයින් එකක් කරල ඉවර වුණු ගමන්ම ඊළඟ එක ගැන අයිඩියා එකක් ගන්නවා. ඒකෙ ආකෘතියක් හිතේ ඇඳ ගන්නවා. ඊළඟට මම කරන්නේ ඇත්කඳ ලිහිණියා කියන එක මගේ ඔළුවෙ තිබුණා. ඒක ගැන රිසර්ච් කරලා තොරතුරු හොයාගෙන පොඩි සැලැස්මක් හදාගෙනයි හිටියේ. මේ තරම් කෙටි කාලෙකින් මට ඒක කරගන්න පුළුවන් වුණෙත් ඒකයි. මේ වගේ තරගෙකට ඇඳුමක් හදල ඕන කියල කිව්වට මේක ඕන කාටද කියල සංඛ අයියා කිව්වෙ නෑ. මිනුම් ගන්න එන දවසේ තමයි දැනගත්තේ මේඝට කියලා. එදා මට හිතුණා මේ ඇඳුමට ගැළපෙනම කෙනා මේඝම තමයි කියලා.
ඇඳුම නිර්මාණය කළ විදිහ ගැනත් කතා කරමු?
රබර් ෂීට්, පල්ප් වගේ දේවල් යොදාගත්තා. සතියක වගේ කාලයකින් ගොඩක් මහන්සි වෙලා කළ නිර්මාණයක්. අලියගේ ස්ට්‍රක්චර් එක වගේම පිහාටු ටික හදාගන්නත් ඕන. නිශ්චිතවම මෙහෙමයි කියලා කියන්න දන්නෙ නැති වුණත් ඇත්කඳ ලිහිණියා මන:කල්පිතයක් විදිහට සද්ධර්මාලංකාරයේ සඳහන් වෙන්නේ ඇත් ගිජු ලිහිණියා කියලා. ගම්පොළ යුගයේ කැටයම් ශිල්පීන් තමයි මේක ඇත්කඳ ලිහිණියා කියල නම් කරල තියෙන්නේ. එමඟින් ඔවුන් කියන්න උත්සාහ කරල තියෙන්නෙත් ලංකාවේ තේජස්භාවය, ගාම්භීරත්වය, ශක්තිමත් බව වගේ දෙයක්. හරියට චීනය මකරා සංකේතය පාවිච්චි කරනවා වගේ. ලංකාවේ ප්‍රධාන කැටයම් අතර ඇත්කඳ ලිහිණියා ප්රමුඛයි.
අපිට ආවේණික දේවල් ගත්තම ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඇත්කඳ ලිහිණියා ගත්තොත් අපට අලියව වෙනස් කරන්නත් බෑ. පිහාටු වෙනස් කරන්නත් බෑ. ඒ කන්සෙෆ්ට් එක එහෙමම තියාගෙන ඇතාගේ හිසට ඉහළින් අන්නාසි මල එකතු කළා. දෙපැත්තේ ලියවැල් වගේම ඇඳුමේ පිටුපස පෙනුම අලි හොඩේ තියෙන මකරෙක් වගේ. ඒ ලංකාවට ආවේණික මකරා. ඒකට ගැළපෙන විදිහට අපේ දේවල් එකතු කළා. සාමාන්‍යයෙන් බර කිලෝ 18ක් විතර ඇති. ඒ වගේම ගොඩක් උසයි. උස නිසා නැමෙද්දි වැටෙන්න බලනවා. ඒකත් බැලන්ස් කරගෙන මේඝ හරි ලස්සනට ඒක කරලා ලොකු සහායක් දුන්නා.
ගොඩක් රටවල් විවිධ වර්ණ පාවිච්චි කරද්දි නාමල් ඇයි මේ වගේ තරගයක් වෙලත් අඳුරු පැහැයන් භාවිත කළේ?
මං ගොඩක් කැමති ඒ වගේ පැහැයන්වලට නිසා මං ගොඩක් දුරට යොදාගන්නේ අඳුරු පැහැයන්. මෙතැනදි මං ග්‍රීන් ටච් එකක් දුන්නා. අපේ රටේ පිත්තල භාණ්ඩවල තියෙන පෞරාණික බව ඒ ආභාසය මං මේ ඇඳුමට ගෙනාවා. බැලු බැල්මට මේක ඇසට ප්‍රිය කොස්ටියුම් එකක් විතරක් නෙවෙයි. ඊට එහා ගිහින් ඒක බලලා, රසවිඳලා කියවන්නත් මයින්ඩ් එකක් හදන්නයි මට ඕන වුණේ. ගොඩක් අය කිව්වා අඳුරු පාටවල් යොදන්න එපා කියලා. ඒත් ඒක ඇතුළේ ලොකු ආර්ට් එකක් තියෙනවා. මං බලන්නෙ අපට තරගයක් දෙන්න වෙන්නෙ මොනවගේ රටවල් එක්කද කියලා. පිලිපීනය, තායිවානය, වියට්නාමය, ඉන්දුනීසියාව වගේ රටවල් පාවිච්චි කරන්නේ මල්ටි කලර්ස්. එතැනදි මට ඕන කළේ අපේ අනන්‍යතාව ඉස්මතු කරන්න.
නාමල් ඇඳුම් නිර්මාණකරණයට පිවිසුණු විදිහ ගැන කතා කළොත් ?
මගේ ගම වැල්ලවාය, බුදුරුවගල. මං ඉගෙන ගත්තේ බුදුරුවගල මහා විද්‍යාලයෙන්. උසස් පෙළ සඳහා වැල්ලවාය මල්ලත්තාවල ජාතික පාසලට ඇතුළත් වුණා. පුංචිම කාලෙ මැටි ගුළියක් දුන්නත් මට ඒකෙන් විවිධ දේවල් අඹන්න හැකියාවක් තිබුණා. උසස් අධ්‍යාපනය සඳහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. එතැනදි හමුවුණු සකුරා අකීරා කියන මගේ යෙහෙළිය තමයි මාව ඇඳුම් නිර්මාණකරණයට යොමු කරන්නේ. මගේ මුල්ම ඇඳුම නිර්මාණය වුණේ ඇගේම ඉල්ලීමකට. ඒ රාවණා රජුගේ ඇඳුම. ලිය කැටයම් ඇසුරෙන් මං එය නිර්මාණය කළා. ඒ ඇඳුමම වැඩි දියුණු කරලා පසු කාලෙකදි වියට්නාමයේ පැවැති ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් කරලා ජයග්‍රහණය ලැබුණා. රාවණා රජු ගැන අධ්‍යයනය කිරීමෙන් විශේෂ කරුණු කිහිපයක්ම හොයාගත්තා. ඔහුට බල 10ක් තියෙනවා. රාවණා ඇල්ල ප්‍රදේශය වාසභවන කරගත් ඔහු පසුව සීගිරියට ඇවිත් තිබුණා. ඒ වගේම ඔහු විශ්වය එක්ක ගනුදෙනු කළ කෙනෙක්. මේ හැම තොරතුරක්ම මං මගේ නිර්මාණයට එකතු කළා. ලංකාවේ පැජන්ට්වලට වගේම ජාත්‍යන්තර පැජන්ට්වලටත් දිගින් දිගටම ඒ වගේ නිර්මාණ කළා. චන්දිමාල් ජයසිංහගේ පැජන්ට් එකෙත් Best National Costume වුණා. ඒ වගේම ලංකාවේ පවත්වපු Miss Universal තරගයේදී ලංකාවේ ජාතික පුෂ්පය නිර්මාණය කළා. ඒ පැජන්ට් එකේම ජාත්‍යන්තර නියෝජනය විදිහට නිර්මාණය කළ සීගිරිය ගොඩක් කතාබහට ලක්වුණා.
ඔබ ක්ෂේත්‍ර කිහිපයක නියැළෙන ගමන් රටට කීර්තියක් ගේන්න දායක වෙන කෙනෙක්. කොහොමද මේ සියල්ල සමබරව කරගෙන යන්නේ?
මං උපාධිය සඳහා හැදෑරුවේ පෆෝමින් ආර්ට්ස් වුණාට අද මං රැකියාව කරන්නේ ගිණුම් අංශයෙන්. ඒ වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු විදිහටත් කටයුතු කරනවා. ඇඳුම් නිර්මාණකරණය කියන්නේ වෙනස්ම ක්ෂේත්රයක්. ඒ ගැන කතා කළොත් මං හිතන්නේ ඩිසයිනර් කෙනෙක් වුණහම හැම කැටගරි එකක් ගැනම අවබෝධයක් තියෙන්න ඕන. නැෂනල් කොස්ටියුම් පැත්ත කියන්නෙ එකක්. පැෂන් ඩිසයිනින් වෙනම පැත්තක්. මේව එකිනෙකට වෙනස් අත්දැකීම්. ඒ වෙනස හඳුනගන්න ඕන. නියම ඩිසයිනර් කෙනෙක් නම් ගොඩක් රිසර්ච් කරලා තමයි හොඳ නිර්මාණයක් කරන්නේ. මුලික දැනුම වගේම හොඳ ආර්ට් එකක් තියෙන්නත් ඕන. ඒකට දක්ෂතාවත් එකතු වුණහම නිරායාසයෙන්ම හොඳ නිර්මාණ බිහිවෙනවා. මට වැඩක් ආවම මං නිතරම හිතන්නේ මේක තමයි මගේ අවසාන වැඩේ කියලා. එහෙම හිතලා මං ඒක උපරිමයෙන්ම කරනවා. උදේ 8.00ත් හවස 4.00ත් සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ රැකියාව වෙනුවෙන්. ඊට පස්සේ නිර්මාණකරණය වෙනුවෙන් කාලය යොදාගන්නවා.
පවුලේ තොරතුරු ටිකකුත් කියමු නේද?
මට ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි, අයියයි. අම්මා පුංචි කාලෙදිම මාව සෞන්දර්ය පැත්තට යොමු කළා. පාසලේදිත් හැම අංශයකින්ම දක්ෂතා තිබුණා. ඒ දේවල් අද මට ලොකු පන්නරයක් වෙලා තියෙනවා කිව්වත් හරි.
ඊළඟ නිර්මාණයේ ආකෘතියත් දැන් ඔබේ ඔළුවේ ඇඳිලා ඇති නේද? ඉදිරි කටයුතු ගැනත් කතා කරමු?
ඔව්. ඊළඟට මං කරන්නෙ මොන වගේ නිර්මාණයක් ද කියන එක දැනටමත් මං සැලසුම් කරලා ඉවරයි. ඒ වගේම සිනමාවට ඇඳුම් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා ආරාධනාවක් ලැබුණොත් හරිම කැමැත්තෙන් භාර ගන්නවා.
නාමලී ගමගේ