– මං රැකියාවක නිරතවෙලා හිටපු නිසා මට ගොඩක් රංගන අවස්ථා ගිලිහුණා
– ඇතැම් ගුරුවරු මට කතා කරලම කිවුවා අපි පාසලේ උගන්වන පුංචි මැණිකා ඔයා තුළින් දැක්කා කියලා
මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය මායාවී ටෙලි නිර්මාණයට අලුතින් එක්වුණු රංගන ශිල්පිනිය ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. කවුද මේ නිලීයාට ඉන්නේ. මේ කවුරුත් සොයන තොරතුරකි. බැලූ බැල්මටම අලුත් මුහුණකි. රංගනයට නුහුරු බවක් ද නැත. ඇය සුරූපීය. කටකාරය. සුරූපී බවට කටකාරකම එක්වූ විට අමුතු ආකර්ෂණයක් නැතුවාම නොවේ. හිටිහැටියේ පුංචි තිරයෙන් මතුවූ ඇය දිලිනි හසාරා බව දැනගන්නට ලැබිණි. අද ඇය අප හා කතාබහට එක්වූවාය.
‘අපේ බැද්දේගම‘ වේදිකා නිර්මාණයේ පුංචි මැණිකාගේ භූමිකාවෙන් රංගනයට අත්පොත් තැබූ ඇය තම කුලුඳුල් රංගන අත්දැකීම ගැන අප හා පැවසුවාය.
“2023 හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් පස් දෙනා අතරට එන්න ලැබුණා. එහිදී දන්ත කල්‍යාණිය ටයිටල් එක ජයග්‍රහණය කළා. ඒ හරහා චාමිකර ජයසිංහගේ ‘අපේ බැද්දේගම‘ වේදිකා නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙද්දි මට රංගනය ගැන අත්දැකීමක් තිබුණෙ නෑ. එදා මට රංගන පාසල වුණේ වේදිකාව. අධ්යක්ෂවරයා ඇතුළු ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය නිසා ‘පුංචි මැණිකා‘ කියන චරිතය හොඳින් කරගන්න හැකියාව ලැබුණා. වේදිකාව කියන්නේ සජීවීව ප්‍රතිචාර ලැබෙන තැනක්. ඒක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. මගේ මුල්ම රංගන අත්දැකීමට ලැබුණු ප්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි. හැමෝම කිවුවෙ ඔයා ඒක හොඳට කළා කියලා. මං ඒ චරිතය හොඳටම කරනවා කියලා අධ්යක්ෂවරයාට මැසේජ් එවල තිබුණා. ‘අපේ බැද්දේගම‘ කියන්නේ පාසල් පද්ධතියටත් සම්බන්ධ කතාවක්. පාසල් ළමුන් වගේම ගුරුවරුත් මට හොඳ ප්‍රතිචාර දැක්වීම ලොකු සතුටක්. ඇතැම් ගුරුවරු මට කතා කරලම කිවුවා අපි පාසලේ උගන්වන පුංචි මැණිකා ඔයා තුළින් දැක්කා කියලා. මගේ පළමුවැනි රංගන අත්දැකීම හරිම සතුටුදායක විදිහට ප්‍රේක්ෂකාගාරය පිළිගත්තා.“
වේදිකාව තිඹිරිගෙය කරගත් කිසිවකුට පුංචි තිරය හෝ රිදී තිරය ජයගැනීමේ අපහසුවක් නැති බව ඕනෑම කෙනකු දන්නා කරුණකි. දිලිනිට ද එය එසේම බව මායාවී හරහා දකින ඇගේ රංගන හැකියාවෙන් පැහැදිලි වෙයි.
“අපේ බැද්දේගම වේදිකා නිර්මාණයට දායක වීමත් එක්ක මට වෙළෙඳ දැන්වීම්, බ්‍රයිඩ්ල් ෂූට් රැසකට ආරාධනා ලැබුණා. ඒ වෙද්දි මං රැකියාවක නිරතවෙලා හිටපු නිසා මට ගොඩක් රංගන අවස්ථා ගිලිහුණා. රැකියාවයි රංගනයයි දෙකම එකට කරන්න අපහසු වුණු නිසා මං රැකියාවෙන් ඉවත් වුණා. නැවතත් මට රංගනය පැත්තට යොමුවෙන්න අවස්ථාව ලැබුණේ සිරස අවුරුදු කුමරිය තරගයේ අවසන් දොළොස් දෙනා අතරට එන්න ලැබීමත් එක්ක. ඒත් එක්කම මායාවී ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණා. ස්ක්‍රීන් ටෙස්ට් දෙකකට මුහුණ දීලා සිලෙක්ට් වුණාට පස්සේ ලලිත් සර්, මහේෂ් සර් මට කතා කරලා නාට්‍ය ගැන කිවුවා. මායාවී කියන්නේ මගේ පළමුවැනි ටෙලි නාට්‍ය අත්දැකීම. ඒක වෙනස් අත්දැකීමක්. වේදිකාවට හුරු වෙලා හිටපු මට අඩුපාඩු හදාගන්න පොඩි කාලයක් ගියා. එතැනදි මායාවී කණ්ඩායම මට ලොකු සහායක් දුන්නා. විශේෂයෙන්ම ලලිත් සර් මතක් කරන්නම ඕන. ඔහු නිතරම මාව උනන්දු කළා.“
නිලීයාට ලැබෙන ප්‍රතිචාර තම ඉදිරි ගමනට ලොකු අත්වැලක් වන බව ද ඇය අප හා පැවසුවාය.
“මේ දවස්වල නිලීයාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පුංචි තිරයට තාම මාව හුරු නැති නිසා ඒ ගැන හොයන්නත් බොහෝ පිරිසක් උනන්දු වෙනවා කියලා ලැබෙන කමෙන්ට්වලින් දැනෙනවා. ඒ ගැන හරිම සතුටුයි. මගේ යාළුවොත් කතා කරලා කියනවා ඔයා ඒක තාත්ත්විකව කරනවා කියලා. මායාවී ටෙලි නිර්මාණයට දායක වීමත් එක්ක තවත් නිර්මාණයකට ආරාධනා ලැබුණා. ඒ ගැනත් කතාබහ කරගෙන යනවා.“
පාසල් අවධියේ නර්තනය, සංගීතය වගේම ක්‍රීඩාවටත් දක්ෂතා දක්වා ඇති දිලිනි රංගනයට යොමු වී තිබුණේ ද නිෙවසින් එල්ල වූ බාධා මධ්‍යයේය.
මගේ ගම නාත්තණ්ඩිය. මට ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි නංගියි. මං අධ්‍යාපනය හැදෑරුවේ නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයෙන්. ප්‍රධාන වශයෙන් යොමුවෙලා හිටියේ නර්තනයට. ඊට අමතරව පාසල් පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටත් හිටියා. ඒ වගේම ක්‍රීඩාව පැත්තටත් යොමුවුණා. පාසල් නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව වගේම වොලිබෝල් කණ්ඩායමෙත් සාමාජිකාවක්. පාසල් ගිහින් ඉවර වුණාට පස්සෙ තමයි මට හිතුණේ අවුරුදු කුමරිය තරගයට ඉල්ලුම් කරන්න. ඒත් අපේ තාත්තා කැමැති වුණේ නෑ අපි ඒවට යනවට. මුලින්ම හිරු අවුරුදු කුමරිය තරගයට ඉල්ලුම් පත්‍රයක් දැම්මේ තාත්තට හොරෙන්. අම්මගෙ අකමැත්තක් තිබුණෙ නෑ. තරගයට තේරුණාටත් පස්සේ තමයි තාත්තට කිවුවේ. දවසින් දවස ඉදිරියට එද්දි තාත්තගෙ සහායත් ලැබුණා. පස්සේ තාත්තත් කැමැති වුණා. අම්මා තමයි අදටත් මගේ හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නේ. ගෙදරින් ලැබෙන සහයෝගය ඇත්තටම මට ආශිර්වාදයක්.
නාමලී ගමගේ