අයේෂ් ප්‍රනාන්දු කියන්නේ මේ දිනවල කාගේත් අවධානයට යොමු වෙලා ඉන්න නවක රංගන ශිල්පියෙක්. ඉතාලියේ බර්ගර් චෙෆ් කෙනෙක් වුණු අයේෂ් නළුවෙක් විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ මේ දිනවල විකාශය වන “ආලවන්ති“ ටෙලි නාට්‍යයේ ධනුකගේ චරිතය තුළින්. ඒ එක්කම අයේෂ් කියන්නේ “පාට කුරුල්ලෝ“ ටෙලි නාට්‍යය සහ ආලවන්ති හරහා අතිශය ජනප්‍රිය ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න පියුමාලි එදිරිසිංහගේ පෙම්වතා.
අයේෂ් මොකද වෙන්නේ මේ දවස්වල?
මේ දවස්වලනම් කාලය ගත වෙන්නේ ආලවන්ති ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක.
ආලවන්ති කියන්නේ ඔබේ පළමු නිර්මාණය ද?
මම රංගනයෙන් දායක වුණු දෙවන නිර්මාණය. හැබැයි විකාශය වන පළමු නිර්මාණය. ආලවන්ති ටෙලි නාට්‍යයට පෙර තව නිර්මාණයකට දායක වුණා. තාම ටෙලි නාට්‍යයේ නම නිශ්චිතව කියන්න බැහැ. ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ සෙනාන් දිසානායක.
ආලවන්ති ටෙලි නාට්‍යයට කොහොමද ඇරයුම් ලැබෙන්නේ?
මට මේ නිර්මාණයට කතා කළේ චාමර සමරවික්‍රම අයියා. එයා මම කලින් වතාවේ ලංකාවට ආව වෙලාවෙත් කිව්වා මම ලංකාවට දීර්ඝ නිවාඩුවකට එනවා නම් කියන්න කියලා. එයාගේ වැඩකට ගන්න ඕන කියලා. මේ සැරේ ආවම එයා මාව මේ ටෙලි නාට්‍යයට ගත්තා.
ඒ කියන්නේ මේ සැරේ ලංකාවට ආවේ ආපහු යන්න බලාගෙන නෙවෙයි ද?
මේ සැරේ ටික කාලයක් ඉන්න හිතන් ආවේ. හැබැයි මම ගිහින් එන්න යනවා.
අයේෂ්ට, ධනුකගේ චරිතය දැනුණේ කොහොමද?
මට තියෙන්නේ ගමේ කොල්ලෙක්ගේ චරිතයක්. ධනුක කියන්නේ සාරංග අයියාගේ නංගිට පෙම් බඳින චරිතය. සාරංග අයියාගෙන් මට රස්තියාදුකාරයා කියලා බැණුම් අහන්න තියෙනවා. නමුත් ඇත්තටම නම් රස්තියාදුකාර චරිතයක් නෙවෙයි. සාමාන්‍ය ගමේ කොල්ලෙක්.
අනිත් පැත්තෙන් ඔබේ සැබෑ ජිවිතේ පෙම්වතිය පියුමාලි මෙහි ප්‍රධාන භූමිකාව කරන්නේ. එයා ඉන්න එක පහසුවක් ද ඔබට?
ඔව්… එයත් මට උපදෙස් දෙනවා. මගේ මුල්ම රූගත කිරීම තිබ්බෙත් සාරංග අයියා එක්ක. එයා මට ගොඩක් දේවල් කියලා දුන්නා. මොරින් ආන්ටිත් කියලා දෙනවා. ඒ නිසා හැමෝගෙම සහයෝගය ලැබෙනවා.
ඔබ ඉතාලියේ අයේෂ් බර්ගර් චෙෆ් කෙනෙක්නෙ. බර්ගර් හදන එක ද ලේසි රඟපාන එක ද?
මගේ අත්දැකීම් එක්ක නම් බර්ගර් හදන එක ලේසියි. රඟපෑම තාම අලුත් නිසා පොඩ්ඩක් ආමාරුයි. හැබැයි විනෝදයි.
ආයෙත් ඉතාලියට යනව ද? නැත්නම් දිගටම රඟපානව ද?
මට මීට කලිනුත් රඟපාන්න අවස්ථා ලැබිලා තියෙනවා. 2018 mister Europe හි mister popular බවට පත් වුණා. ඒ එක්කම 2020 සිරස අවුරුදු කුමරා තරගයේ ජයග්‍රාහකයා වුණේ මම. මම කාලයක් මොඩ්ලින් කළා. දැන් නම් මොඩ්ලින් නවත්වලා අවුරුදු 5ක් විතර වෙනවා. ලංකාවට ආවම ආරාධනා ආවත් මගේ තිබුණ ලැජ්ජාව සහ බය එක්ක මම ඒ දේවල් මඟහැරලා ගියා. මේ සැරේ වුණත් රඟපාන්න හිතුවේ චාමර අයියා, සජිත අයියා එහෙම ළඟින් ආශ්‍රය කළාම දැනුණු සහෝදරත්වය එක්ක.
මොඩ්ල් කරපු, පැජන්ට්වලට ගිය කෙනෙක් කොහොමද බර්ගර් චෙෆ් කෙනෙක් වුණේ?
ඒක නම් සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන්න ඕනේ නිසා පටන් ගත්ත එකක්. පස්සේ ඒ රැකියාවට මම ආස කළා. දැන් ආයෙමත් ඉතාලියට ගියත් මම ඒ ජොබ් එක කරන්න කැමැතියි. ආසාවෙන් කරන දෙයක් නිසා ඒ රැකියාවත් හරි විනෝදයි.
දැන් ටෙලි තිරයෙන් දකිද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. කාලයකින් කතා නොකරපු යාළුවො කතා කරනවා. මගේ වීඩියෝ ශෙයාර් කරලා තියෙනවා. මගේ රඟපෑම ගැන මටත් වඩා සතුටු වෙන්නේ ඉතාලියේ ඉන්න සෙට් එක.
ඔබේ පවුලේ තොරතුරු කිව්වොත්?
මගේ ගම මාරවිල, වෙන්නප්පුව. මම පාසල් ගියේ මාරවිල සෙන් මේරිස් විද්‍යාලයට. මගෙ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ මල්ලි. ඒ ඔක්කොමලා දැන් ඉන්නේ ඉතාලියේ.
ඔබ නළුවෙක් වීම ගැන අම්මා, තාත්තා මොකද කියන්නේ?
ඉස්සර ඉඳන්ම එ් දෙන්න සෑහෙන ආසයි මම රඟපානවට. ඒත් මගේ තිබුණ ලැජ්ජාවට තමයි මම ගියේ නැත්තේ. දැන් නම් ඒ දෙන්නා ගොඩක් සතුටු වෙනවා මම රඟපාන එක ගැන.
පියුමාලි හමුවුණ නිසා ද රඟපාන්න ඕනේ කියලා හිත වෙනස් වුණේ?
නැහැ. මට එයාව හමුවෙද්දි එයා රඟපෑවෙත් නැහැ. මම නිසා තමයි එයත් රඟපාන්න ගියේ. ඊට පස්සේ මට “පාට කුරුල්ලෝ“ සෙට් එක එකතු වුණානේ. දැන් ඒ අය මගේ ගෙදර කට්ටිය වෙලා තියෙන්නේ. ඒ සෙට් එකේ ඉද්දි තමයි මටත් රඟපාන්න ආසාව ආවේ.
මේ සැරේ කොච්චර කාලයක් ලංකාවේ ඉන්නව ද?
අවුරුද්දක් වගේ ඉදීවි. නමුත් “පාට කුරුල්ලෝ“ කණ්ඩායම ඉතාලියේ සංචාරයකට යන නිසා ඒ අය එක්ක මටත් යන්න ආරාධනාවක් ආවා. ඒ නිසා ඒ ගමන ගිහින් ආයේ එනවා.
දැන් මියුසික් වීඩියෝත් භාර ගන්නවා නේද?
ඔව්. “ස්නේහයේ” සින්දුවේ රූප රචනාවට ඉන්නේ මමයි පියුමාලියි.
වෙන නිළියක් එක්ක පෙම් ජවනිකා කරද්දී පියුමලිගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අවුලක් නැහැ සහයෝගය දෙනවා. හැබැයි පොඩි ඉරිසියාවක් තියෙනවා කියලා දැනෙනවා.
එතකොට පියුමාලි වෙන කෙනෙක් එක්ක පෙම් චරිත කරද්දී ඔයාට මොකද හිතෙන්නේ?
මුල් කාලේ නම් පොඩි ජෙලසි එකක් තිබ්බා. දැන් ඒ ඔක්කොම මගේ සහෝදරයෝ වගේ නිසා අවුලක් නැහැ.
සිනමාවට තියෙන කැමැත්ත කොහොමද?
මාව පුළුල් තිරයේ දකින්න ආසාව තියෙනවා. මේ වෙද්දීත් ඇරයුමක් ලැබිලාත් තියෙනවා. බලමු ඉස්සරහට.
අනුෂා රණසිංහ