තම ලෙයින් උපන් දරුවන් තරම් මව්පියන්ට මේ ලෝකයේ වෙනත් කිසිම සම්පතක් නැති තරම්ය. කිරිකැටි බිලිඳා සමයේ සිට කරදඬු උස්මහත් වී තම දූදරුවන් හැදී වැඩෙන ආකාරය දෙස මවුපියන් බලා සිටින්නේ මොනතරම් ආසාවකින් ද? බලාපොරොත්තුවකින් ද? සුබ සිහින දකිමින් ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. අතිබහුතරයක් මවුපියන් එවැනි ආකාරයෙන් තම දූදරුවන් කෙරෙහි කටයුතු කරද්දී අතළොස්සක් මවුපියන් තම දූදරුවන් වෙත වෛරය මුදාහරින්නේ ඇතැම් විටෙක ඔවුහු මෙලොවින් තුරන් කිරීමට තරම් සැහැසි වීමෙනි. ඊට හේතු සිතා ගැනීමට නොහැකි තරම් වූ ප්රහේලිකාවකි.
තම කුසෙන් උපන් හැටියේ කිරිකැටි බිලිඳුන් තැන තැන දමා ගිය මවුවරුන් ගැන තොරතුරු රැසක් පසුගිය කාලයේ කොතෙකුත් වාර්තා විය. එලෙසම තම දියණිය සාහසික ලෙස ඝාතනය කරන්නට තරම් නරුම වූ පියෙකු නිසා රටම කම්පා කරවන සිදුවීමක් වාර්තා වූයේ ගම්පහ පොලිස් වසමෙනි. එම නරුම පියා තම දියණියට පහර දී ඝාතනය කර තිබුණේ පසුගියදාය.
ඉකුත් 6 වැනිදා අලුයම ගම්පහ මූලස්ථාන පොලිසියට එම සිද්ධිය වාර්තා විය. 14 හැවිරිදි හිමාෂා සඳරුවනි මෙලොව හැර ගොස් තිබුණේ නරුම පියාගේ ප්‍රහාරයට ලක්වීම නිසාය.
එම දියණිය නරුම පියා විසින් පහර දී ඝාතනය කර තිබුණේ පසුගිය දෙවැනිදා පෙරවරුවේය. දින හතරකට පසු එනම්, ඉකුත් 6 වැනිදා ඇගේ සිරුර වැසිකිළි වළකට දමා තිබියදී සොයා ගැනුණේ එකී නරුම පියාගේ තරම කියාපාමිනි. අයිස් මත්ද්‍රව්‍යට දැඩි සේ ඇබ්බැහි වූවන් තම මවුපියන් පමණක් නොව තම ලෙයින් උපන් දූදරුවන් ද නොහඳුනන තත්ත්වයක් උදාවී ඇති බවට හොඳම සාක්ෂිය මේ දියණියගේ ඝාතනයයි. ඒ අනුව මේ අනුවේදනීය කතාව පෙළගැසෙන්නේ මෙසේ ය.
ඉකුත් 5 වැනිදා රාත්‍රියේ ගම්පහ, මාකෙවිට මවක සිය දියණිය දෙවැනිදා සිට අතුරුදන් බවට ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කළාය. දියණියගේ අතුරුදන් වීමට තම දෙවැනි විවාහයේ සැමියා සැක බවට ඇය පොලිසියට පැවැසීමත් සමඟ පොලිසිය සිදු කළ විමර්ශනයෙන් අනතුරුව දියණියට සිදුවූ අපරාධය හෙළි වෙද්දී දෙවැනි විවාහයේ සැමියා පොලිස් අත්අඩංගුවට ගැනිණි. දියණියට සිදු කළ අපරාධයේ සියල්ල හෙළිදරව් වූයේ සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්.බී. ගරුසිංහ ඇතුළු කණ්ඩායම මේ විමර්ශනය සිදු කළේය. ඒකල ජී.බී. සේනානායක විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි හිමාෂා සඳරුවනි දියණියට එම අවාසනාවන්ත මරණය උරුම වෙද්දී ඇගේ පියාට මහඋළුගෙදර කල්දේරම් බතේ රසවිඳීමට සිදු විය.
ඉකුත් නොවැම්බර් 5 වැනිදා දින රාත්‍රී 10ට පමණ ගම්පහ මූලස්ථාන පොලිසියට සුරේඛා සඳමාලි නමැති කාන්තාවක් පැමිණියාය. ඇය පැමිණියේ ඇගේ බාල සොයුරා සමඟය. මහත් කලබලයෙන් පසුවූ ඇය හඬා වැටුණාය.
“සර්… මගේ එකම කෙල්ල…. වයස අවුරුදු 14යි… හරියටම පහුගිය දෙවැනිදා උදේ තමයි මම අන්තිමටම දුව දැක්කේ… එදා ඉඳන් අද වන තුරු දුව ගැන කිසිම ආරංචියක් නෑ… දෙවැනිදා මම වැඩට ගිහින් ආවට පස්සේ මගේ මනුස්සයා කිව්වේ එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක දුව දවස් දෙක තුනක ට්‍රිප් එකක් ගියා කියලා…. ඒත් සර්… අද හවස මම ඒ අයට කතා කළාම කිව්වා… මගේ දුව එයාලා එක්ක ආවේ නෑ කියලා… පස්සේ මම මගේ මනුස්සයගෙන් දුව ගැන දිගින් දිගටම ඇහුවා… අන්තිමට මා එක්කත් රණ්ඩුවට ආවා… ඊට පස්සෙ තමයි සර්… මං මගේ මල්ලිට කෝල් කරලා එයා එක්ක පොලිසියට ආවේ…“ යැයි ඇය කීවාය.
“තමුන්ට මේ දරුවගේ අතුරුදන් වීමට කවුරුහරි සැක කෙනෙක් ඉන්නව ද…?“ යැයි පොලිස් නිලධරයෙක් ඇගෙන් විමසුවේය.
“සර්… මට සැක වෙන කවුරුවත් නෙවෙයි… දුවගේ අතුරුදන් වීමට මට සැක මගේ මනුස්සයා…“ යැයි කියමින් ඇය හඬා වැළපෙන්නට වූයේ ඉකුත් දෙවැනිදා දින ඇය රැකියාවට යද්දී සැමියා විසින් උකස් කරන ලද ඇගේ රන්මාලය බේරා ගැනීමට රුපියල් විසි දහසක මුදලක් ද දියණියට දී ගිය බවත් එම මුදල් ද නිවසේ නොමැති බවත් පොලිසියට කියමිනි.
අනතුරුව එසැණින් ගම්පහ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ගියේ සුරේඛා, දියණිය සහ සැමියා වන අතුල චාමර සමඟ තාවකාලිකව පදිංචිව සිටි මාකෙවිට හන්දියේ ඉදිවෙමින් පවතින තෙමහල් නිවස කරාය.
එහි සිටි අතුල පොලිස් නිලධාරින්ගේ භාරයට ගෙන ගම්පහ මූලස්ථාන පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කෙරුණේ දියණියගේ අතුරුදන් වීම පිළිබඳවය. මුලදී ඔහු නොයෙක් කතා කියමින් පොලිස් නිලධාරින් නොමඟ යැවීමට තැත් කළත් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා ඇතුළු කණ්ඩායම ඔහුගෙන් ප්‍රශ්න කළේ දියණියගේ අතුරුදන් වීම පිළිබඳව සිය පියා ලෙස ඔහු කුමක් හෝ දන්නා බව ඒ වන විටත් තේරුම්ගෙන සිටි නිසාය. ඒ, මෙවැනි විමර්ශනවලදී ඔවුන් ලත් හසළ අත්දැකීම් ඔස්සේය.
ඒ අනුව ඉකුත් 6 වැනිදා අලුයම වෙද්දී පොලිසියෙන් ගැලවීමක් නොමැති වග තේරුණු අතුල සිය ලෙයින් උපන් තම දියණියට තමන් සිදුකළ සාහසික අපරාධයේ ඇඟ කිළිපොළා යන කතාව මුල සිට දිගහරින්නට වූයේ පොලිස් නිලධාරින්ගේ ද හදවත් කම්පා කරවමිනි.
42 හැවිරිදි අතුල චාමර පෙදරේරුවෙකි. ඔහුගේ මුල් ගම කිතුල්ගලය. සුරේඛා සඳමාලි ගම්පහ, අකරවිට පදිංචිකාරියකි. චාමර සහ සුරේඛා හමුවී තිබුණේ මීට වසර 15කට පමණ පෙරදීය. ඒ වන විට දෙදෙනාම වෙනත් දෙදෙනකු සමඟ විවාහ වී සිටියෝය. එම විවාහ අසාර්ථක වීමෙන් පසු අතුල සහ සුරේඛා එක් වහලක් යටට එක්වූහ. දෙදෙනා පදිංචි වී සිටියේ ගම්පහ, අකරවිටය. අනතුරුව සුරේඛා තම කුලුඳුල් සහ එකම දරුවා ලෙස දියණියක මෙලොවට බිහි කළේ 2010 වසරේදීය.
කාලය ගෙවී ගියේය.
ආර්ථික ප්‍රශ්න ද සමඟ සුරේඛා ඒකල, ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාවකට ගියාය. අතුල ද පෙදරේරු රැකියාව කරන අතරේ ඔහු මෑතක සිට අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විය. ඒ බව සුරේඛා දැන නොසිටිය ද ඔහුගේ වෙනස් වීම ඇයට තේරිණි. පසුගිය දිනෙක අතුලට මාකෙවිට හන්දියේ ඉදිකරන තෙමහල් නිවසක පෙදරේරු රැකියාව ලැබිණි. එහි හිමිකරු කියා තිබුණේ නිවසේ සිට යාමට-ඒමට අපහසුනම් බිරිය සහ දියණිය සමඟ පැමිණ ඉදිකර තිබූ නිවසේ කාමරයක පදිංචි වී නිවසේ ඉදිරි වැඩ සිදු කරන ලෙසටය.
ඔය අතර ඉකුත් දිනෙක සුරේඛාගේ රන් මාලය අස්ථානගත විය. සිය සැමියාගේ හැසිරීමේ වෙනස්කමත් සමඟ මාලය අස්ථානගත වීමේ සැකය සුරේඛා සැමියා දෙසට එල්ල කළාය. ඇය ඒ නිසා ඉකුත් දින කීපයේ සැමියා සමඟ ආරවුල් ඇතිකර ගත්තාය.
“කෝ… මගේ මාලේ…? තමුසේ ඒකට මොකද්ද කළේ…?“ යැයි ඇය පසුගිය දිනෙක දැඩි ආවේගයෙන් අතුලගෙන් ඇසුවාය. කෙසේ හෝ මාලය නැතිවීම ගැන පැමිණිලි කිරීමට පොලිසියට යනවා යැයි ද ඇය පැවැසුවාය. ඒ සමඟම අතුල, සුරේඛා අස්වැසුවේය.
“කලබල වෙන්න දෙයක් නෑ… මාලේ තියෙනවා… මගේ යාළුවෙක් සල්ලි හදිස්සියක් වෙලා සල්ලි ටිකක් ඉල්ලුවා… මං පස්සේ ඒ මාලේ උකස් කරලා සල්ලි දුන්නා…එයා ඒක ලබන සතියේ බේරලා දේවි“ යැයි අතුල සුරේඛාට කීවේ ඇඟට-පතට නොදැනෙන ලෙසය.
එය කිසිසේත්ම විශ්වාස නොකළ සුරේඛා ඒ අනුව මාලයට සිදුවී ඇත්තේ කුමක් ද යන්න වටහා ගත්තාය. ඒ අතුලගේ හැටි ඇය හොඳහැටි දැන සිටි නිසාය. අනතුරුව ඇය සන්තකයේ තිබූ මුදලකින් එම රන් මාලය උකසින් බේරා ගැනීමට සුරේඛා සිතුවේ පොළි එකතු වීමෙන් රන් මාලය සින්න වීමට ද ඇති ඉඩකඩ වැඩි නිසාය.
දිනය ඉකුත් දෙසැම්බර් 2 වැනිදාය.
සුරේඛා එදින පෙරවරුවේ රැකියාවට යාමට සූදානම්ව වූවාය. ඒ මොහොතේ ඇය දියණිය අතට රුපියල් විසිදහසක මුදලක් දුන්නාය.
“දුවේ ඔය සල්ලි ඔයා ළඟ තියාගන්න… දුව දවල්ට තාත්තා එක්ක ගිහින් මාලේ උකස් කරපු තැනකින් ඔය සල්ලි දීලා බේරගන්න… නැත්නම් ඔය මාලෙට පොළි හැදිලා ඕක සින්න වෙලාම යයි… ඔය මනුස්සයා ඕක කවදාවත් බේරලා දෙන්නෙ නෑ…“ යැයි කී ඇය රැකියාව සඳහා පෙරවරුවේ නිවසින් පිටව ගියාය. ඒ සුරේඛා තම එකම දියණිය දුටු අවසාන දිනයයි.
සුරේඛා නිවසින් ගොස් ගත වූයේ මොහොතකි. අතුල, දියණියගෙන් මව දී ගිය මුදල් ඉල්ලුවේ ඔහු තනිවම ගොස් රන් මාලය බේරාගෙන එන බව කියමිනි. එහෙත් ඊට දැඩි විරෝධයක් දැක්වූ දියණිය පියාට මුදල් දීම තරයේ ප්‍රතික්ෂේප කළාය. දියණියගේ ක්‍රියාවෙන් මාරාවේශ වූ අතුල කිසිවක් නොසිතා දියණියට පහර පිට පහර දුන්නාය. ඒ සමඟම ඇය බිම වැටී දඟලද්දී දියණිය ගැන කිසිවක් සොයා නොබැලූ අතුල මුදල් රැගෙන නිවසින් පිටව ගොස් තිබුණේ හදිසි ගමනක් යන්නාක් මෙනි.
ජාඇළ ප්‍රදේශයට ගිය ඔහු දියණියට පහර දී ලබාගත් රුපියල් විසිදහසක මුදලින් අයිස් පානය කර නැවත නිවසට පැමිණ තිබුණේ එදින දහවල් 11ට පමණය. ඒ මොහොත වන විටත් දියණිය, ඔහු නිවෙසින් පිටව යන විට වැටි සිටි ස්ථානයේම නිසොල්මනේ සිටියාය. ඔහු දියණිය දෙස විපරම් කර බලද්දී ඇය සිහි මූර්ජා වී සිටියා ද? නැතිනම් මියගොස් ද? යන්න කිසිවක් හරිහැටි තේරුම් නොගෙන දියණිය මියගොස් ඇතැයි සිතා ඇගේ සිරුර නිවසේ තිබූ ඉටිරෙද්දකින් ඔතා ඔසවාගෙන ගොස් දැමුවේ එම නිවසේ තිබූ වැසිකිළි වළකටය.
අනතුරුව සිරුර වැසෙන සේ පස් තට්ටුවක් ද වළට දැමූ අතුල එම වැසිකිළි වළ කොන්ක්‍රීට් ලෑල්ලෙන් වසා දැමීය. සවස් යාමය වන විට නිවසට පැමිණි සුරේඛා දියණිය ගැන සෙව්වේ මුදල් ද සොයමිනි. ඒ මොහොතේ අතුල නිවසේ සිටියේය.
“දුව ගියා මගේ යාළුවෙක් එක්ක ට්‍රිප් එකක්… මං දැනුත් එයාට කෝල් කළා… අවුලක් නෑ පරෙස්සමින් ඉන්නවා කියලා යාළුවා කිව්වා…“ යැයි අතුල පැවැසුවේ තම ලෙයින් උපන් එකම දරුවාට සිදු කළ අපරාධය ගැන කිසිම ළතැවීමකින් ද තොරවය.
පසුදා එනම්, ඉකුත් දෙසැම්බර් 3 වැනිදා ද සුරේඛා රැකියාවට ගොස් නිවසට පැමිණි පසු සැමියාට දොස් කීවේ තම එකම දරුවා ඥාතියකු හෝ හිතවතකු හෝ නොමැතිව විනෝද චාරිකාවක් යැවීම ගැනය.
දියණිය විනෝද චාරිකාව ගිය මිතුරාගේ යැයි දුරකතන අංකයක් අතුල ළඟ තිබී සුරේඛාට දුන් අතර, ඊට ඇමතුමක් ගත්ත ද එය ක්‍රියා විරහිත කර තිබිණි. ඉකුත් දෙසැම්බර් 4 දා දින ද එලෙසමය. එම දුරකතනය ක්‍රියා විරහිත වී තිබිණි. සැමියා දියණිය විනෝද චාරිකාවක් ගියා යැයි කියා දින හතරක් ගෙවිණි. ඒ ඉකුත් දෙසැම්බර් 5 දාය. සුරේඛා එදින සවස් යාමයේ සුපුරුදු පරිදි රැකියාවට ගොස් නිවසට පැමිණියා පමණි. දියණිය නිවසට නොපැමිණීම ගැන සුරේඛා, සැමියා සමඟ ආරවුලකට පැටලෙන අතරේ මිතුරාගේ දුරකතන අංකයට ඇය ඇමතුමක් ගත්තාය. ඒ මොහොතේ දුරකතනය ක්‍රියාත්මක විය.
“මං අතුලගේ වයිෆ් කතා කරන්නේ… අපේ දුවත් ඔයාලා ට්‍රිප් එක එක්ක ආවා නේද…?“ යැයි ඇය විමසුවාය.
“නෑ… නෑ… අපි එක්ක දුව ආවේ නෑ….“ යැයි ඔහු එසැණින් පෙරළා පිළිතුරු දෙද්දී සුරේඛාගේ මුහුණ අඳුරු විය. ඒ සමඟම සුරේඛා, අතුල සමඟ ආරවුලක් ඇතිකර ගත්තේ අතුල ඇයට කී බොරුව නිසාය. ඒ සමඟම අතුල ද ක්‍රියාත්මක විය. ඔහු සුරේඛා ද මරා දමන්නට සූදානමින් හැසිරෙද්දී දැඩි වෙර වීර්යයක් යොදා අතුලගෙන් ගැලවුණු සුරේඛා සිදුවූ සියල්ල පවසා දුරකතන ඇමතුමක් දුන්නේ ඇගේ මල්ලිටය.
අනතුරුව ඇය මල්ලි සමඟ රාත්‍රී 10ට පමණ පැමිණියේ ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානයටය. දියණියගේ අතුරුදන් වීම පිළිබඳව පොලිසියට සිදුකළ පැමිණිල්ලට පසු අත්අඩංගුවට ගත් අතුලගේ පාපෝච්චාරණය අනුව හිමාෂා දියණියගේ සිරුර ඉකුත් 6 දා දහවල් වැසිකිළි වළෙන් ගොඩ ගත්තේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා ඉදිරියේය.
එලෙස ගොඩගත් සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයට අනුව ගම්පහ රෝහලට රැගෙන ගිය මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් විසින් සිදුකරන ලදි. මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ හිමාෂා සඳරුවනි දියණියගේ මරණය මුඛය, ගෙල සහ පපුව සිර කිරීම නිසා ශ්වසනය අවහිර වීමෙන් සිදුවූවක් බවයි.
සිය දියණිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුල චාමර ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනී පෙරේරා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සේනානායකගේ අධීක්ෂණයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බී. ගරුසිංහ, පොලිස් පරීක්ෂක රංජිත්, සැරයන් 35433 මහේෂ් කුමාර, කොස්තාපල්වරුන් වන 36627 මලින්ද, 101474 පුෂ්පකුමාර සහ 102556 ඩිල්ෂාන් යන නිලධරයෝ විමර්ශන සිදු කළහ.
අමිල මලවිසූරිය
ඡායාරූප – ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක