මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ විසින් රචිත ‘මගහැරුණු දූපත්’ කෘතියයි. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔහුගේ 7 වැනි කෙටිකතා සංග්‍රහය වන්නේ මෙම කෘතියයි.
මහාචාර්ය ප්‍රභාත්ගේ කෙටිකතා තුළ දැකිය හැකි ප්‍රබල ලක්ෂණයක් වන්නේ ඒ කතා තුළ ඔහු සඟවා ඇති සිදුවීම් තුළ පුළුල්ව බැලීමට පාඨකයා පොළඹවනසුලු බවය. ඒ පෙළඹවීම නතර වන්නේ පාඨකයා තුළ පෙර නොවූ විරූ සහකම්පනයක් ඇති කරමිනි. ‘මගහැරුණු දූපත්’ කෙටිකතා සංග්‍රහය තුළින් ද ඔහු මතු කරන්නට උත්සාහ දරා ඇත්තේ මිනිස් ස්වාභාවය තුළ අප අතින් මඟහැරෙන නැතහොත් අප විසින් සිතාමතා මඟහැර යන සිදුවීම් සමුදායක් සහ එසේ මඟහරින මිනිස් හදවතේ ඇති අඳුරු පෙදෙසයි.
“මගේ කතා ගැන මවිසින්ම අර්ථකතන දෙනවා වෙනුවට මම කැමතියි පාඨකයාට ඒ අවස්ථාව දෙන්න. කිසිම ප්‍රශ්න කිරීමක් නැති පාඨකයන්ට වඩා පොතක් එක්ක ඔට්ටු වෙන පාඨකයන් තමයි සිටිය යුත්තේ. නිර්මාණකරණයේදී මම උත්සාහ කරනවා චරිත දෙස සහකම්පනයෙන් යුතුව බැලීමට. එවැනි සහකම්පනයක් සාහිත්‍යකරුවකු තුළ තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා. ඒ හැර කතාවක් තුළින් සමාජයට පණිවිඩයක් දිය යුතුයි කියල අදහසක් මා තුළ නැහැ. නමුත් යම් තේමාවක් ඔස්සේ පොර බැදීමක් මගේ කතා ඇතුළේ තියෙනවා. එය පාඨකයාට ග්‍රහණය වීම මට සතුටක්” සිය නිර්මාණ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ කීවේය.
කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන හෙතෙම පවසන්නේ පාසල් කාලයේදී තමා ලේඛනය සම්බන්ධයෙන් දීප්තිමත් සිසුවකු නොවූ බවය.
“කලාවට සම්බන්ධ වෙනවා කියලා ලොකු බලාපොරොත්තුවක් පාසල් කාලයේදී මට තිබුණේ නැහැ. පාසලේ විවාද කණ්ඩායේම සාමාජිකත්වය දැරුවා. නමුත් ඒ කාලයේ ලිවීම සම්බන්ධයෙන් මම කැපී පෙනුණේ නැහැ. මම මුලින්ම උසස්පෙළ කළෙත් ජීව විද්‍යා අංශයෙන්. පසුව තමයි කලා අංශය තෝරා ගත්තේ. 1992 වසරේදී රාවය පුවත්පත විසින් පැවැත්වූ කෙටිකතා තරගයකින් මගේ කෙටිකතාවකට දෙවැනි ස්ථානය ලැබුණා. එය තමයි පුවත්පතක පළ වූ මගේ පළමු කෙටි කතාව.”
මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ සිය පළමු කෙටිකතා සංග්‍රහය වන ‘වයඹදිග වැසියෙකුගේ දින සටහන්’ කෘතිය පළ කරන්නේ 2010 වසරේදීය. ඉන්පසු පිළිවෙළින් දේව කන්‍යා (2013), මකර තොරණ (2016), ස්වර්ණ කාය(2018), රස පොළොව (2020), පස් ලෝ (2021) කෘති ප්‍රකාශයට පත් කරන්නේය. මගහැරුණු දූපත් කෘතිය සරසවි ප්රකාශනයක් ලෙස එළි දකින්නේ 2023 වසරේදීය. මේ වන විට සම්මාන කිහිපයක් මෙන්ම පාඨක සම්මානය ද දිනා ඇති සාහිත්‍යකරුවකු ලෙස නිර්මාණ සඳහා වස්තු බීජ තෝරා ගැනීමේදී සැලකිලිමත් වන කරුණු මොනවාදැයි ඔහු විමසීමි.
“එහෙම විශේෂ තෝරා ගැනීමක් නැහැ. අපට විවිධ අත්දැකීම් විවිධාකාරයෙන් හමුවනවා. සමහර වෙලාවට ඇඟේ හැපෙන්නත් පුළුවන්. විවිධ මූලාශ්‍ර හමු වෙනවා. අපි අහන දකින සිදුවීමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දැකපු පමණින් එතැන කතාවක්, නිර්මාණයක් නැහැ. ඒක හරියට නිශ්චල ඡායාරූපයක් වගේ. ඒ දැකීම තුළ පරිකල්පනය හරහා තමයි නිර්මාණයක් බිහිවෙන්නෙ. එහෙම බලද්දි නිමිත්ත සහ නිර්මාණය අතර බොහෝ විට ලොකු සම්බන්ධකමක් ඇති වෙන්නෙ නැහැ. ”
මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ සිය නිර්මාණ තුළින් පාඨකයා හා අන්තර් සම්බන්ධතාව ගොඩනඟා ගැනීමේ වැදගත්කම අවබෝධ කරගත් කෙටිකතාකරුවකු ලෙස හැඳින්විය හැකිය. කෙටිකතාව පිළිබඳ විවිධ අර්ථකතන සහ නිර්වචන තිබුණ ද ඔහු කෙටිකතාව නිර්වචනය කරන්නේ පවා වෙනස් ආකාරයෙනි.
“කෙටිකතාව පිළිබඳ ඇති විවිධ නිර්වචන අතර එක් නිර්වචනයක් වන්නේ කෙටිකතාව ජීවිතයෙන් පෙත්තක් බවයි. නමුත් මම එයට එච්චර එකඟ නැහැ. ඊට හේතුව එහෙම කිව්වම අපි එක් කොටසකට සීමා වෙනවා. කැමති විදිහකට ලිවීමේ නිදහස තිබුණොත් තමයි නිර්මාණකරණයේ රුචිකත්වය වැඩි වන්නේ. ඒ නිසා මම කැමතියි කෙටිකතාව හැකි තරම් විවෘතව තබන්න. ඒ නිසා මම කියන්නේ කෙටිකතාවක් කියන්නේ කෙටි ගද්‍ය ප්‍රබන්ධයක් පමණයි. ඒ විවෘත බව තිබිය යුතුයි. ”
වගකීම් සහිත වෘත්තියක නියැළෙමින් සාහිත්‍යකරණයේ යෙදෙන මහාචාර්ය ප්‍රභාත් පවසන්නේ කෙටිකතාව සිය ආත්ම ප්රකාශනය කර ගැනීමට විශේෂ හේතුවක් නොවූ බවය.
“එයට ශාස්ත්‍රීය පිළිතුරක් දීම අසීරුයි. අවිවේකී බව සමඟ මට ලැබෙන විවේකයත් සමඟ ගැළපෙන මාධ්‍ය විදිහට මම ඊට යොමු වුණා විය හැකියි. අවිවේකී ජීවිතය තුළ මම කාලසටහනකට ලියන කෙනෙක් නෙවෙයි. ඉඩ ලැබෙන පරිදි ලියනවා සහ කොහොමහරි වේලාව හොයාගෙන ලිවීමක් තමයි මම කරන්නෙ”
කෙටිකතාවට වැඩි ඇල්මක් දක්වන මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ විසින් රචිත නවකතාවක් කියැවීමේ පිපාසයක් ඔහුගේ පාඨකයන්ට නැතුවා විය නොහැකිය. ඒ ගැන ඔහු මෙසේ කීවේය.
” කෙටිකතාව කියන්නේ නවකතාවට නඟින්න තියෙන පඩිපෙළක් විදිහට මම සලකන්නෙ නැහැ. කෙටිකතාව කියන්නේ ඉතාම අංග සම්පූර්ණ සහ ස්වාධීන කලා අංගයක් බවයි මගේ හැඟීම. ඒ නිසා මම ආසයි කෙටිකතාව තුළ ඉන්න. මගේ අට වැනි කෙටිකතා සංග්‍රහය පළකරන අවස්ථාව වෙද්දිවත් මම නවකතාවක් පළ කර නොතිබිය හැකියි. දැනට මට ඒ ගැන අදහසක් නැහැ. නමුත් ඊළඟ කෙටිකතා සංග්‍රහයට නම් මේ වෙද්දි බොහොම පොඩි දේවල් ටිකක් සූදානම් වෙමින් තිබෙනවා. නමුත් 8 වැනි කෙටිකතා සංග්‍රහය එළි දකින්න තව අවුරුදු දෙකක්වත් ගත වේවි. මම හිතන්නෙ නැහැ මම ජනප්‍රිය ලේඛකයෙක් කියලා. නමුත් කෙටිකතාව සම්බන්ධයෙන් මගේ නිර්මාණකරණ තුළ මම ඉතා තෘප්තිමත්. මගේ නිර්මාණ කාර්යය සාර්ථකයි කියන තෘප්තිය මා තුළ තිබෙනවා. “
සුරේකා නිල්මිණි ඉලංකෝන්