සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පිපිරීම් පිළිබඳ සවිඥානික ව හා ඒවා සිදුවීමට බලපෑ හේතු සාධක පිළිබඳ අධ්‍යයනය කරමින් ලියැවුණු ඇපෝරියාව ට්‍රෝයි මහමොහොට්ටාල කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහයයි. මේ ඔහුගේ නිර්මාණාවේශය ඇවිළ වූ සාධක පිළිබඳවත්, ආකෘතික අත්හදා බැලීමත් ඈ නන්විධ ප්‍රවේශ ගැන කෙරුණු සංලාපයෙක සංක්ෂිප්තයයි.
සමාජ, දේශපාලන, ආර්ථික කරුණු පිළිබඳ ඔබේ සවිඥානිකත්වය කෙටි පද අතරට ගළපද්දී ඔබට මුහුණ පාන්නට වූ සීමා මොනවාද?
ශ්‍රී ලාංකේය සමාජය බහු සංස්කෘතික සමාජයක්. මේ සමාජය ඇතුළෙ දේශපාලනයත් විවිධාකාරයි. අපේ රටේ දේශපාලනික මත දරන්නන් ඉතාමත් සීමිත සංඛ්‍යාවක් ඉන්නෙ. නමුත් රටේ බහුතරයකට දේශපාලන සාක්ෂරතාවක් නැහැ. සමාජ, දේශපාලන, ආර්ථික කරුණු පිළිබඳ මගේ සවිඥානිකත්වය ඔස්සේ කතා කරන කොට මම හිතනවා කෙටි කවිය තමයි ඒකට සුදුසුම කියලා. ඒකට හේතුව මේ වැනි කරුණු කතා කරන කොට කවියො වශයෙන් අපට සුදුසුම රූපක පාවිච්චි කරන්න සිදු වෙනවා. සුදුසුම රූපක පාවිච්චියෙන් අපට කෙටි කවියක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේ සමාජයේ ජන විඥානය, හදගැස්ම තියෙන තැන්වලට රූපකය අරන් යන්න පුළුවන් සීමා මායිම් නැතිව. අපට සොයා ගන්න වෙන්නේ ශ්‍රී ලංකා සමාජයේ තියෙන රූපක. ඒවගේම ශ්‍රී ලංකා සමාජයේ දේශපාලනය කතා කරන්න සුදුසුම රූපක, ඒ දේශපාලනයේ තියෙන ආර්ථිකය කතා කරන්න සුදුසුම රූපක. මේ රූපකය කවියේ තියෙන කොට ඒ රූපකය තමයි මිනිසාව ආමන්ත්‍රණය කරලා අපි ගෙනියන්න ඕන පණිවිඩය අරගෙන යන්නෙ. ඒ නිසා මම සමාජයට ඒ පණිවිඩය ගෙනියන කොට සීමා මායිම් සොයන්නෙ නැතිව ඒ රූපකවලට පණ දීලා ඒ රූපක සමාජයේ හදගැස්ම තියෙන තැනටම කවිය අරගෙන යනවා.
ලංකා ජනසමාජයේ පවතින දේශපාලන සවිඥානිකත්වයේ නිසරු බව ඔබේ කවි ඔස්සේ ඔබ නිරන්තර මතු කරනවා? කුමක්ද එයට හේතුව?
ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය බිහිවෙච්ච ක්‍රිස්තු පූර්ව ගණන්වල තමයි ග්‍රීසිය වගේ රටවල ප්රජාතන්ත්රවාදය වගේ දේශපාලන මාතෘකා ගැන කතා කළේ. අපේ රටේ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න පටන් ගන්නේ 1948න් පස්සෙ. එතෙක් අපේ රටේ හිටියෙ රජවරු. මිනිස්සු අරගල කළේ අපට රජෙක් ඕන කියලා. මෑත යුගයේ දේශපාලනය ගත්තත් සමහර දේශපාලකයන් රජවරුන්ට උපමා කරමින් ඔවුන් වෙනුවෙන් ගී පවා ලියැවුණා. ඒ තමයි අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන දේශපාලන සවිඥානිකත්වයේ තරම. මේ දේශපාලන සවිඥානිකත්වයේ නිසරු බවට හේතුව වශයෙන් මම දකින්නේ අපේ රටේ මිනිසුන්ගේ තියෙන කියැවීමේ අඩුපාඩුව. එක පැත්තකින් අපේ රටට සෝවියට් රුසියානු නවකතා, කෙටිකතා සිංහලට පරිවර්තනය වෙලා කියවන්න අවස්ථාව ලැබුණා. කියවන්න බැරි මිනිස්සුන්ට කියවන්න පුළුවන් මිනිස්සු ඒවා කියවලා පැහැදිලි කරලා දුන්නා. නමුත් අපේ රටේ ලිබරල්වාදී මත කිසිවිටෙකත් සිංහලට පරිවර්තනය වුණේ නැහැ; ලිබරල්වාදී මත ලංකාවෙ පැළ කරන්න කවුරුත් උත්සාහ දැරුවෙත් නැහැ. සමාජවාදී මත පැළ කිරීමේදීත් මූලික මාක්ස්වාදී මත පැළ වුණා මිසක් පශ්චාත් මාක්ස්වාදී මත ලංකාවේ පැළ වුණේ නෑ. ඒ නිසා මම දකිනවා ලංකාවේ මිනිස්සුන්ගෙ දේශපාලන සවිඥානිකත්වයේ ඉතාම නිසරු බවක්. ඒකට හේතුව තමයි කියැවීමේ තියෙන අඩුපාඩුව. අපි කවියක් ලියද්දිත් ඒ නිසරු බවට කිසියම් හෝ සාරවත් බවක් එකතු කරන්න තමයි උත්සාහ කරන්නෙ. අපේ රටේ මිනිස්සුන්ට ප්‍රධාන වශයෙන් දක්ෂිණ, වාමාංශික දේශපාලන කඳවුරුවල තියෙන වෙනස්කම් මොනවාද, ඇයි මේක දක්ෂිණ සහ වාමාංශික කියලා කියන්නෙ… වගේ කරුණුවත් හරිහැටි තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් දේශපාලන තීන්දු ගැනීමේදී ඒක පිටුවහලක් වේවි කියලා මම විශ්වාස කරනවා.
කාව්‍ය ආකෘති අත්හදාබැලීම් ගැන ඔබේ හැදෑරීම කෙබඳුද?
මම වෘත්තීයමය වශයෙන් කවියෙක් නෙවෙයි. මම ඉංග්‍රීසි සාහිත්‍යය සහ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය ගැන උගන්වන ගුරුවරයෙක්. මම ඉංග්‍රීසි සාහිත්‍යය ගැන අත්හදාබැලීම් ගණනාවක් කරලා තියෙනවා. ග්‍රීසියේ තියෙන සාහිත්‍ය මෙවලම් සහ රෝමයේ පැරණි සහ නූතන සාහිත්‍ය පිළිබඳවත් ප්‍රංශ සාහිත්‍යය පිළිබඳවත් හදාරලා සහ හදාරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි හයිකු කවි, චීන කවි, ඉන්දීය සාහිත්‍යය සහ ශිෂ්ටාචාර සාහිත්‍යය ගැනත් හදාරනවා. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ තියෙන දේවත්වය පිළිබඳව ලියැවුණු කවි වගේ පැති ගණනාවක් අධ්‍යයනය කරලා තියෙනවා, ඒ වගේම අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ අධ්‍යයනවල ප්‍රතිඵලයක් විදියට තමයි මම ඇපෝරියාව කියන කවි පොත ලියන්නෙ. අපට අතීතයේ තිබුණු කවියේ ම ඉතිහාසය සොයාගෙන ගියාම ඒ තියෙන කවි මෙවලම් ඇසුරු කරනකොට ඒ කවි මෙවලම් ටික වර්තමාන සමාජයට අනුරූපව නිර්මාණය කරන්න ඕන කොහොමද කියලා මම සාමාන්‍ය දළ අදහසක් ලබාගෙන තියෙනවා. ඒ නිසා මේ අත්හදාබැලීම්වලදි මම බටහිර හා අග්නිදිග ආසියාවේ කවි පරිශීලනය කිරීමෙන් ලැබුණු පිටුවහල ගැන විශේෂයෙන් කියන්න ඕන. ඒ පැති එක්කාසුව තමයි වර්තමාන කවිවලට මම යොදාගෙන තියෙන්නෙ.
ඔබ භාෂාත්මක අත්හදාබැලීම් ද කරන බව පේනවා. මිශ්‍ර භාෂාවක් භාවිත කරනවා. කවියේ අවශ්‍යතාව නිසාද එවැනි අත්හදාබැලීම් කරන්නේ; නැත්නම් වෙනස් මඟක් ගැනීමේ ඔබේ අවශ්‍යතාව ද?
අපෝරියාව කවි පොතේ ඉංග්‍රීසි හා ලතින් භාෂාවලින් එන යෙදුම් භාවිත කළා. ඒකට හේතුව සමහර ආකල්ප, සමහර අදහස් තියෙනවා ඒක සිංහල භාෂාවෙන් ප්‍රකාශ කරන්න නොහැකි. ඒ නොහැකියාව තියෙන්නෙ අපේ රටේ සිංහල භාෂාව එවැනි පැත්තකට සංවර්ධනය වී නොමැති වීම වෙන්නත් පුළුවන්; නැත්නම් ඒ සංස්කෘතික රාමුව සිංහල භාෂාවට ආරෝපණය කරගෙන නැති නිසා වෙන්නත් පුළුවන්. කවියෙ අදහස කොහොමහරි ප්‍රකාශ වෙන්නත් මට උවමනායි. ඒ නිසා තමයි ඉංග්‍රීසි සහ ලතින් භාෂාවේ යෙදුම් යොදා ගන්නෙ. ඒ යෙදුම කියවන්නාට ගැටලුවක් නැහැ. ගොඩක් අය අතේ ස්මාර්ට් දුරකතනයක් තියෙනවා. ඒ නිසා ඒ වදන පරිවර්තනය කරගන්න ගැටලුවක් වෙන්නෙ නෑ. ඒ යෙදුම ඇතුළෙ තියෙනවා මට කවියෙන් ප්‍රකාශ කරන්න උවමනා වෙලා තිබුණු අදහස. ඒක සිංහල භාෂාවෙන්ම කියන්න උත්සාහ කළොත් ඒකෙන් කියන්න අදහස් කරන පණිවිඩය ඒ විදියටම කියන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ම අත්හදාබැලීමක් කරනවටත් වඩා මම හිතනවා, කවියේ ආකෘතිය, කවියේ මානය වෙනස් විය යුතුමයි කියලා. එතකොට කවිය සිංහලෙන්ම ලිව්වොත් අතීත සමාජයට ලඝු කරලා තියෙනවා. වර්තමාන මානවයා මත කවිය තියන්න නම් ඔවුන්ගේ භාෂාවෙන්ම කවිය ගෙනියන්න සිදු වෙනවා. ඒ විතරක් නොවෙයි ඔවුන් ඒ කවිය කරපින්නා ගත්තායින් පස්සෙ ලියන පුද්ගලයන් වශයෙන් අපට ඒ ගොල්ලන්ට ගැළපෙන, එයාලගෙ භාෂාවෙන් වගේම ඒගොල්ලො ආස කරන මානයකින් එයාලගෙ කරමත තියන්න ඕන. ඒක නිසා තමයි මම මගේ කවියට සිංහල, ඉංග්‍රීසි විතරක් නෙවෙයි ලතින් භාෂාවේ වචන මිශ්‍ර කරලා තියෙන්නෙ. මේ මිශ්‍ර වෙලා තියෙන්නෙ මානව භාෂානෙ. ඒ මොන භාෂාවක් මිශ්‍ර වුණත් කවිය නොමරා කවිය ඒ භාෂා ත්‍රිත්වය ඇතුළෙම හුස්ම ගන්න අවශ්‍ය කරන පසුබිම හදලා මම ඇපෝරියාවෙ තියලා තියෙනවා. නූතන මානවයාට තේරුම් ගන්න පුළුවන් ආකාරයටයි මම එය කළේ.
සමහර ඇපෝරියාවන් ඉතා දීර්ඝයි. ඔබේ අදහස යම් විසිරුණු ස්වභාවයකට යටත්ව ඇතැයි මට සිතෙන අදහසට ඔබේ පිළිතුර කුමක්ද?
ඔව්. සමහර ඇපෝරියා ඉතා දීර්ඝයි. දිග ම කවිය ලියලා තියෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයාව ධූරයෙන් ඉවත් කිරීමට මූලික වුණු සිදුවීම පාදක කරගනිමින්. ඒක ගැන කතා කරන්න මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරන්න ලංකා සමාජයේ ඇතිවුණු සිංහල බෞද්ධ පිටුවහලත්, පළවා හැරීමේදී එක්කාසු වෙන අන්‍යාගාමික සහ සිංහල බෞද්ධ පිටුවහලත්, ඊට ඔබ්බෙන් ඇතිවුණු ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලැබුණු පිටුවහලත් ආදී සියලු දේවල් එක්කාසු කරලා දහම්සොඬ ජාතකයට අරගත්තා. දහම්සොඬ ජාතකයට ගත්තට පස්සෙ එදා සහ අද ලංකාවේ දක්නට ලැබුණු සහ ලැබෙන එක එක විකෘති වෙච්ච බෞද්ධ ආකල්ප මේ කවියට මම ඇතුළත් කරලා තියෙනවා. ඒකයි ඔබට මෙය කිසියම් වූ විසිරුණු ස්වභාවයකින් පෙනෙන්නට ඇත්තේ. ඒක ඇත්ත. ඒ විසිරීමම තමයි ශ්‍රී ලංකාවේ අරගල භූමිය ඇතුළේ තිබුණු විසිරීම. අරගලය ඇතුළේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු, ගෝඨාභය ජනාධිපතිවරයාගේ පැමිණීමත් එක්ක ඇති වෙච්ච මනෝ රාජ්‍යයේ බිඳ වැටීම හා සුන්වීම කියන දේ තමයි බෞද්ධ ආකෘතිය මුල් කරගෙන දීර්ඝතම කවියක් ලෙස ලියැවිලා තියෙන්නේ.
ඊට අමතරව ලියැවුණු දීර්ඝතම ඇපොරියාවලත් එවැනි දේශපාලන කතිකා වගේම ලංකාවේ පුරුෂාධිපත්‍යයට එරෙහිව ලියැවුණු කවියකුත් තියෙනවා. ඒවටත් මම බෞද්ධ උපමා රූපක යොදාගෙන තියෙනවා. ඒවායෙත් විසිරුණු ස්වභාවයක් තියෙනවා. මම හිතනවා ඒ විසිරුණු ස්වභාවය ම සමාජයේ විසිරීම, සුන්බුන් වීම කවියට එක්කාසු කරගන්න පුළුවන් වුණා කියලා.
සුමුදු චතුරාණී ජයවර්ධන