Home » රඟපාන්නත් වරම් ලැබූ ප්‍රී ෂූට් කරලා පින්කම් කරන සුනඛ සුරතලා

රඟපාන්නත් වරම් ලැබූ ප්‍රී ෂූට් කරලා පින්කම් කරන සුනඛ සුරතලා

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

මෝස්තර නිරූපිකාවන් සමඟ ඡායාරූපවලට පෙනී සිටින ‘ඉතාන් බෝයි’ නමින් මුහුණුපොත සහ සමාජ මාධ්‍ය ජාලා තුළ ඉතා ජනප්‍රිය සුනඛ සුරතලකු ගැන සිළුමිණ මීට පෙර ද රටට කීවේය. ඡායාරූපවලට පෙනී සිටීමෙන් උපයන මුදල් සියල්ල පින්කම් සඳහා වැය කරන මේ අපූරු සුනඛ සුරතලාත් ඔහුගේ හිමිකරුත් සොයා අප කොළඹ පෑලියගොඩ ප්‍රදේශයට ගියෙමු.

ඉතාන්ගේ හිමිකරු රසාංග ද සිල්වාය. ඔහුගේ නිවස තවත් සුනඛ සුරතලුන් රැසකට ආදරය, රැකවරණය දෙන නවාතැනකි. එහෙත් ඒ සියලු සුනඛයන්ට වඩා ඉතාන්ගේ විශේෂත්වයක් ඇත. රුසියාවේ උපන් Shihtzu වර්ගයේ Pure breed සුනඛයකු වන ඉතාන් රසාංග ද සිල්වා විසින් මෙරටට ගෙන්වා ගන්නේ මාස හතරක් තරම් කුඩා වියේදීය. මුහුණත් සිරුරත් වසාගත් කඩා හැලෙන සේද ලෝම ඉතාන්ට එක් කර ඇත්තේ අපූරු සුන්දරත්වයකි. ඒ සුන්දරත්වයම ඉතාන්ට වාසනාව ගෙනා බව රසාංග කීවේය.

“ඉතාන් මගෙ ළඟට ආව දවසේ ඉඳන්ම මගේ වැඩේ එයාගේ එක එක විදිහෙ ෆොටෝ අරගෙන මුහුණුපොතට දාන එක. මගෙ ළඟ ඉන්න වෙන කිසිම සුරතලෙක් ඉතාන් වගේ ලස්සනට ඡායාරූපවලට පෙනී ඉන්නෙ නැහැ. ඒ ගැන උනන්දුවකුත් නෑ. ඉතාන්ට ප්‍රී ෂූට්වලට පෙනී ඉන්න අවස්ථාව ලැබුණේ මම මුහුණුපොතේ දාපු ෆොටෝ දැකලා. මේ වෙද්දි අපි ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ ගොඩක් අය කියන්නේ ඉතාන් වගේ ලස්සනට සමහර නිරූපණ ශිල්පීන්වත් ඡායාරූපවලට මුහුණ දෙන්නෙ නෑ කියලයි. මම හිතන්නේ මේක ඉතාන්ගේ පෙර සසර පුරුද්දක් වෙන්න ඇති.“

මුලින් විනෝදයට පටන් ගත් ඉතාන්ගේ ඡායාරූප ගැනීම මුදල් උපයන මාර්ගයක් බවට පත්වුවද ඉතාන්ගේ හිමිකරු ඒ මුදල් සුවිශේෂී කටයුත්තක් සඳහා යොදවන්නට තීරණය කළේය. ඒ අනුව ප්‍රී ෂූට්වලට පෙනී සිටීම වෙනුවෙන් ඉතාන්ට ලැබෙන මුදල් පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැය කෙරේ. රසාංග ඉතාන් වෙනුවෙන් ඒ කටයුත්තට මුල පිරුවේ ආණමඩුව ප්‍රදේශයේ ආබාධිත කාන්තාවක් වෙනුවෙන් රුපියල් 43,000ක් වැය කොට රෝද පුටුවක් පරිත්‍යාග කරමිනි. ඊට අමතරව දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි කිහිපයක්ද පරිත්‍යාග කළේය. මෙසේ පින්කම් කිරීමට තමා තුළ ඇතිවූ අදහස ගැන ඉතාන්ගේ හිමිකරු රසාංග මෙසේ කීවේය.

“මම හිතන්නෙ ලංකාවේ නෙමේ මුළු ලෝකෙම මෙහෙම දෙයක් වෙලා නැතිව ඇති. මෙතෙක් අපි දැකලා තියෙන්නෙ මිනිස්සු සුනඛයන් වෙනුවෙන් පෙනී සිටීමක්. නමුත් මෙතැනදි වෙන්නෙ ඊට හාත්පසින් වෙනස් දෙයක්. ඉතාන්ට ප්‍රී ෂූට්වලින් සහ ක්‍රොසින්වලින් ලැබෙන මුදල්වලින් එයාගේ නඩත්තුවට මුදල් වෙන්කර ඉතිරි මුදල් සරණක් අවශ්‍ය අය වෙනුවෙන් වැය කරනවා. අසරණ අයට රෝද පුටු, ඇස් කණ්ණාඩි, අත් පා වාරු දෙනවා වගේම ඉගෙනගන්න දරුවො හතර දෙනෙකුට ඔවුන්ගෙ අතිරේක පන්ති, පොත්පත්, නිල ඇඳුම් සඳහා උදවු කරනවා.

මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ පෙර කුසල් නිසා කියල විශ්වාස කළත් බොහෝ විට අපි කෙනෙක් වෙනුවෙන් පින්කම් කරන්නේ ඔහු මිය ගියාමයි. ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන් අපි පින්කම් කරනවා අඩුයි. සුනඛයෙක් වෙලා ඉපදුණත් ඉතාන්ට ඉතාම හොඳ ගුණාංග පිහිටලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා ඉතාන්ගේ ඊළඟ භවය සැපවත් වෙන්න එයා ජීවතුන් අතර ඉන්නකොටම පින්කම් කළ යුතුයි කියලා. දැන් ඉතාන්ගේ භාරකාරයා, තාත්තා මම. මම මගේ ඉදිරි භවය සැපවත් කරගන්න පින් කරගන්නවා වගේ මගෙ දරුවෙක් වගේ ඉන්න ඉතාන් වෙනුවෙනුත් පින්කම් කිරීම මගේ යුතුකමක් කියලා විශ්වාස කරන නිසයි මේ දේවල් කරන්නෙ. බෞද්ධාගමිකයෙක් විදිහට මම කර්මය කියන දේ දැඩි ලෙස විශ්වාස කරනවා. අපි මොලොවදි කරගන්නා වූ කුසල් අකුසල් අනුව අපේ ඊළඟ ආත්මභාවය තීරණය වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඉතාන් ඇතුළු මගේ අනෙක් සුනඛ පැටවුන් මේ පින්කම් තුළින් රැස් කරගන්නා වූ කුසල් බලයෙන් ඊළඟ භවයේදී මනුස්ස ආත්මයක් ලැබීමට වාසනාව උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

ඉකුත් මාසයේදී ඉතාන් විසින් උපයන ලද මුදල්වලින් රසාංග තවත් දානමය කටයුත්තක් සිදු කළේය. ඒ, පානදුර පින්වත්ත වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 120 දෙනකු සඳහා දිවා ආහාරය පිරිනමමිනි. ඒ පින්කම සිදු කිරීමට මුල් වූ හේතුව ගැන ද රසාංග කීවේය.

“ඉතාන් රුසියාවේ ඉඳලා ලංකාවට ආවේ වයස මාස හතරහමාරෙන්. ඉතාන් අපේ ගෙදරට ගෙනාව වෙලාවේ ඉඳලා හැසිරුණේ මගේ අම්මව කාලයක් තිස්සේ හඳුනන කෙනෙක් විදිහට කිසිම චකිතයක් නැතුව. එදා ඉඳන් මගේ අම්මා ඉතාන්ගෙ ආච්චි අම්මා වුණා. ඉතාන් ආච්චි අම්මා එක්ක ගැවසෙන්න පුදුම කැමැත්තක් දැක්වුවා. නමුත් මීට වසර දෙකකට කලින් ඉතාන්ට ආච්චි අම්මා සදහටම අහිමි වුණා. ඉතාන් ඇයගේ නිවසට යන හැම වෙලාවෙම ඇයව හෙව්වා. අන්තිමට මගේ දෙපා මත හිස තියාගෙන කෙඳිරි ගෑවා. ඒ සිදුවීම මගේ හිත ගොඩක් කම්පා කළා. ඉතාන් මගේ අම්මාට පෑව දැඩි සෙනෙහස නිසයි මම ඇය සිහි කරලා ඒ දානමය කටයුත්ත සිදු කළේ.”

 ඉතාන් ප්‍රී ෂූට් කර ඉපැයූ මුද­ල්ව­ලින්රෝද පුටු­වක් ලැබූ කාන්තා­වක්

ඉතාන් ප්‍රී ෂූට් කර ඉපැයූ මුද­ල්ව­ලින්
රෝද පුටු­වක් ලැබූ කාන්තා­වක්

ලබන ජනවාරි 15 වැනිදාට ඉතාන්ට වයස අවුරුදු හතරක් සපිරෙන අතර, ඔහු සමඟම ලංකාවට ආ ගෝර්ඩන් නමැති සුනඛ සුරතලාටත් ජනවාරි 18 වැනිදාට සිවු වසරක් සපිරේ. ඒ වෙනුවෙන් ද අපූරු පින් කටයුත්තක් සිදු කරන්නට මේ වන විටත් රසාංග සැලසුම් කර අවසන්ය.

“ඉතාන් වෙනුවෙන් උපන් දින කේක් කපන්න නම් මගේ අදහසක් නැහැ. ඒ වෙනුවෙන් ජනවාරි මාසයේ පෝය දවසට කැලණිය රජමහ විහාරය වැඳ පුදා ගන්න එන බැතිමතුන්ට නෙළුම් මල් 2,000ක් ලබා දෙන්න මම හිතාගෙන ඉන්නවා.”

ඒ අතර රසාංග ඉතාන් ගැන තවත් අලුත් ආරංචියක් ද කීවේය.

“ලංකාවේ ප්‍රවීණ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් විසින් එළි දැක්වීමට නියමිත ටෙලිනාට්‍යයක පෙනී සිටීමට ඉතාන්ට ආරාධනා ලැබුණා. ලබන ජනවාරි මාසයේදී එහි රූගතකිරීම් ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම වෙළෙඳ දැන්වීමක් සඳහාත් ඉතාන්ට ඇරයුම් ලැබී තියෙනවා. ඉතාන් කැමරාවට මුහුණ දෙන්නේ කිසිම චකිතයකින් නැතිව හරිම ආශාවෙන්. ඒ නිසා ඉතාන් ඒ කටයුතුත් හොඳට කරයි කියලා මම හිතනවා. ඒවායින් ලැබෙන මුදලුත් පිනට දහමට පාවිච්චි කරලා ඊළඟ භවයේදී මනුස්ස ආත්මයක් ලබා දීමට කුසල් රැස් කරවීම තමයි මගේ එකම බලාපොරොත්තුව..”

මේ වන විට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ඉතාන් සුනඛ සුරතලා සම්මානයකට පාත්‍ර වන බව ද අපට දැනගන්නට ලැබිණි. ඒ, ලබන ජනවාරි 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත Asian Achievers Awards 2025 උලෙළේදී ජනප්‍රිය පුහුණු සුනඛයා (Popular Trained Pet)ට හිමි සම්මානයයි.

“මේ සම්මානය ලැබෙන්නේ සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් ඉතාන්ට ලබා දුන් ප්‍රසිද්ධිය නිසයි. ඒ නිසා ඒ සියලු දෙනාටම ස්තුති කරන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා.” රසාංග කෘතවේදීව කීවේය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division