සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වුණු උඳුවප් පොහෝය බෞද්ධයන්ට ඉතා වැදගත් පුන් පොහෝ දිනයක් වන්නා සේම ලක්වාසී බෞද්ධයන්ට සිරිපා වන්දනා සමය ආරම්භවීමත් නිසා එම ගෞරවනීය වැදගත්කම තවත් වැඩිවනු ඇත. උඳුවප් පුන් පොහෝය අපට වඩාත්ම වැදගත් වන්නේ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ මෙරටට ආගමනය කිරීම හෙවත් ‘දුමින්දාගමනය’ නිසාවෙනි.
පැවිදි බවට පත් ධර්මාශෝක නිරිඳුන්ගේ දියණිය වන සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් කුල ශිල්පීන් රැසක්ද සමඟ දඹකොළ පටුනෙන් මෙරටට වැඩම කිරීම අදත් බෞද්ධයෝ ඉමහත් ගෞරව සිතින් යුක්තව සමරති.
බෝධීන් වහන්සේ වන්දනා කිරීම සම්බන්ධිත කතා පුවත බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමය දක්වාම දිව යන්නකි. ඒ හා සබැඳි කතා පුවතද බෞද්ධයන් වශයෙන් අප දැන ගැනීම වැදගත්ම වන්නේය.
‘එක්තරා දිනක බුදුරදුන් දෙව්රම වැඩ වෙසෙති. සාමාන්‍ය සිරිතට අනුව සවස් භාගයේ මහජනයා දහම් සාකච්ඡා සඳහා දෙව්රම් වෙහෙරට යති. මේ යන ගමනේදී සුවඳ මල් සහ වෙනත් පුදපූජා ද්‍රව්‍ය රැගෙන යාම සිරිතයි.
එහෙත් එක්තරා දිනක බුදුරජාණන් වහන්සේ ආරාමයෙන් මැඳුරට ගොසිනි. වෙහෙරට පැමිණි දායක දායිකාවෝ අසරණ වූහ. ගෙනෙන ලද පූජා උපකරණ තැනින් තැන තබා හිස් අතින් ආපසු නිවෙස් කරා ගියහ. මේ අත්දැකීම අවස්ථා කීපයකදීම සිදු විය. මේ ගැන අවධානයෙන් සිටි අනේපිඬු සිටුතුමා ආනන්ද හිමියන්ට මේ පුවත සැලකර සිටියේය.
බුදුරජාණන් වහන්සේ දැක ගෞරව පූර්වක වන්දනාවට පැමිණෙන ජනතාවගේ එම බලාපොරොත්තු බිඳී යාම සිත් තැවුල්වලට ඔවුන් පත්වීම ගැන රජු ආනන්ද හිමියන් දැනුම්වත් කළේය. ඒ අනුව මෙම ගැටලුවට විසඳුමක් ද ඉල්ලා සිටියේය.
බුදුරදුන් විවේකීව සිටි අවස්ථාවක් බලා අනඳ හිමියෝ ගැටලුව ඉදිරිපත් කළහ. බෞද්ධ උවසු උවැසියන් පැමිණ බුදුරජාණන් වහන්සේ නොදැක සෝක සිතින් පිටව යන බව එහිදී ආනන්ද හිමියන් කරුණු සැල කළහ. බුදුරජාණන් වහන්සේ ඊට ඉතාම උචිත පිළිතුරක් ලබා දුනි.
ආරාමයේ මා නොමැති අවස්ථාවක මා වෙනුවෙන් පෙනී සිටීමට බෝධි රෝපණයක් කරන ලෙස ආනන්ද හිමියන්ට බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්හ. ඒ අනුව බුදුන්වහන්සේට ලොව්තුරු බුද්ධත්වය පතා සෙවණ සැලසූ ඇසතු වෘක්ෂයෙන් පැළයක් ගෙන්වා ජේතවනාරාම භූමියේ රෝපණය කෙරිණි.
එය මහා රාජකීය උත්සවයක් විය. කොසොල් රජතුමා සිටුවරු ඇතුළු බොහෝ සම්භාවනීය ඇත්තෝ ඊට සහභාගි වූහ. එම උත්සවයේදී කොසොල් රජතුමාගේ ශ්‍රද්ධාව හා ප්‍රීතිය කොතෙක් ඉහළ ගියේ දැයි කිවහොත් එතුමාගේ දායකත්වයෙන් දින 7ක් විශේෂ බෝධි පූජා මාලාවක් පවත්වන්නට යෙදුණි. රජතුමා ඇතුළු පිරිසගේ ප්‍රීතිය ඉහවහා ගියේ කුඩාම පැළෑටි රෝපණය කරන අවස්ථාවේ ආකස්මිකව එක් වරට අඩි 10ක් 15ක් පමණ උසට වර්ධනය වීමයි. රැස්ව සිටි සියල්ලෝම එසැණින් සාධුකාර දුන්හ.
බුදුරජාණන් වහන්සේ දඹරුක් මුලයෙහි යමා මහ පෙළහර පෑ මොහොතේදී ද මෙවැනිම ප්‍රාතිහාර්යයක් සිදු විය. එනම් බුදුරජාණන් වහන්සේ අඹ ගෙඩියක් වළඳා එහි බීජය බිම තබා අතේ තැවරුණු අඹ පැණි සෝදා වතුර ටික එම බීජයට වත්කළ අවස්ථාවයි.
ඒ අවස්ථාවේදී අඹ පැළයෙන් මතුවුණ අඹ දල්ල අඩි 10ක් 15ක් උසට මහ ගසක් මෙන් විද්‍යමාන විය. එවන් අසිරිමත් තත්ත්වයක් යළිත් බෝධි රෝපණ අවස්ථාවේදී සිදු විය.
පුද්ගල නායකත්වය දිගුකාලීන ආයෝජනයක් නොවන බව වටහාගත් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් වැනි කීර්තිමත් සිල්වතුන් සිටියදීත්, උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමට යෝජනා කළේ ඇසතු වෘක්ෂයකි. මෙය ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු සංසිද්ධියකි.
ශ්‍රී ලංකාවත්, ලෝකයේ අනිකුත් බෞද්ධ රටවලත් ඇති වී තිබෙන සුවිශේෂී සම්බන්ධතාවට මූලික සාධකයක් වන්නේ මේ බෝධි වෘක්ෂයයි. සියලු බෞද්ධ රටවල මෙහි ශාඛාවක් දැකිය හැකිය.
ශීත රටවල පවා වීදුරු කුටියක් තුළ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටීමෙන්, බුදුරදුන් එදා ගත් තීරණයේ සදාතනික බව මොනවට පැහැදිලි වේ.
අප පෙර කීවාක් මෙන් දුමින්දාගමනය ලංකාවේ සිදුවන්නේ උඳුවප් පුන් පොහෝ දිනයේය. ධර්මාශෝක මහාධිරාජයා සිය පුත් මහා මහින්ද හිමියන් ලංකාවට එවා මාස 6කට පමණ පසුව ඔහුගේ දියණිය වූ සංඝමිත්තා මෙහෙණියද හෙළදීපයට පිටත් කර එව්වාය. ඒ මිහිඳු මාහිමියන්ගේ ඉල්ලීම පරිදිය. ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වඩමවා ගත්තේ ද උන්වහන්සේගේ අභිමතය පරිදිය.
ධර්මාශෝක රජතුමා අතිමහත් ශ්‍රද්ධාවෙන් බෝ අංකුරය, අඩි 2ක් තරම් විෂ්කම්භය ඇති අඩියක් තරම් ගැඹුරු ඝන රන් භාජනයක සුවඳ කළල් සහිත පසෙහි රෝපණය කොට සංඝමිත්තාවන් සහිත පරිවාර කාන්තාවන් සමඟ, ශිල්පීය කුල 18ක් සමඟ තාමුලික්ඛ තොටින් ශ්‍රී ලංකාව බලා පිටත් කොට එවීය.
දේවානම් පියතිස්ස රජතුමා මහත් හරසරින් බෝධීන් වහන්සේ සහිත රාජකීය දූතයින් පිළිගන්නා ලදි. එතැන් සිට ඇත්, අස්, රිය, පාබල චතුරංගනී සේනාවන් පෙරටු කරගත් රාජකීය පෙරහර උඳුවප් පුර පෝදා අනුරාධපුරයට ලඟාවිය.
භාරතයෙන් පිටත් වූ පෙරහර ශ්‍රී ලංකාව දක්වා සැපත් වීමේදී අසිරිමත් සිදුවීම් අලළා බෝධි වංශය රචනා වූ අතර, ඒ වෙනුවෙන් වෙනම සාහිත්‍යයක් ද බිහිවිය. ඊට අමතරව බෝධීන්වහන්සේ කේන්ද්‍රගත කරගෙන වෙනම සංස්කෘතියක් බිහිවිය. අලුත් සහල් මංගල්‍යය වැනි සම්භාවනීය පරිසර පූජාවක් ද මීට ඇතුළත් විය. ඒ සමඟම රෝග පීඩාදිය දුරුවීම පිණිස විවිධ ආශීර්වාද බෝධි පූජා ආදියද ද ඇති විය. ඒ සමඟම ජන ජීවිතේට අවැසි යම් යම් අපේක්ෂාවන් ඉටුකර ගැනීම පිණිස භාරහාර ක්‍රමවේදයක් ද ඇති විය.
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරට ජනතාවට උරුම කර දුන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පමණක් නොවේ.
එතුමියන් වහන්සේ විසින් එදා ලබා දුන් ඒ මාර්ගෝපදේශකත්වය නිසා ශ්‍රෙෂ්ඨ සිංහල කාන්තාවන් වීරවරියන් රැසක් පහළ විය. ඒ අතරින් විහාරමහාදේවි වැනි වීරෝදාර මාතාවන්, සෝමා දේවිය වැනි පති භක්තියෙන් හා දේශමාමකත්වයෙන් යුත් වීරවරියන්, ලීලාවතී – කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජ මෙහෙසියන්, ඇහැළේපොළ කුමාරිහාමි වැනි ආදර්ශවත් මාතාවන්, හේමාවන් වැනි ගුණ නුවණින් යුත් වනිතාවන් මේ රටේ පහළ විය.
ශ්‍රී ලංකා භූමියේත් සිංහල කාන්තා ප්‍රගතියේත් එක් එක් අංශය ගෙන බැලුවහොත් බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නොවුණු එකදු අංශයක් හෝ ඇතැයි කිව නො හැකිය.. සිංහල කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් යැයි නම් කළ හැකි යම් යුගයක් වේ නම් ඒ සියල්ලම සංඝමිත්තා මහරහත් තෙරණියගේ නාමයට එක් විය යුතුය.
ග්‍රන්ථකරණයෙහිත් ධර්මදූත සේවාවන්හිත් යෙදුණු සිංහල භික්ෂුණීන් පිළිබඳ තොරතුරු රැසක් අපට වාර්තා වේ. වරක් පිරිහී ගිය චීන භික්ෂූණී ශාසනය නැවතත් ඇති කරන ලද්දේ ලංකාවෙන් වැඩම කළ සිංහල භික්ෂුණීන් වහන්සේ විසිනි. මෙසේ ජාත්‍යන්තර කීර්තියට පවා පත් වෙමින් සිංහල භික්ෂුණී සංඝයා විසින් උදාර සේවාවක් සිදු කරන ලදහ. මේ රටේ ශාසනික සංවර්ධනය සඳහා විශාල සේවයක් සංඝමිත්තා මෙහෙණියගෙන් සිදු වුණාහ.
දුටුගැමුණු රාජ්‍ය සමය වන විට ලංකා භික්ෂුණී ශාසනය විශාල වශයෙන් දියුණු වී තිබිණි. සාමාජීය වශයෙන් හෝ ධාර්මික වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ සිංහල කාන්තාව ඉදිරියට පැමිණියා නම් ඒ සියල්ල ම ශ්‍රී සංඝමිත්තා මහරහත් තෙරණියගේ යුගය සිහිපත් කරනු ඇත. 1960 ගණන්වල බෝධිපූජා යන නම ඒ තරම් ප්‍රචලිතව සහ ගෞරවනීය තැනක නොතිබිණි. බෝධි පූජාවට නව පණක් ලැබුණේ ගරුතර පානදුරේ අරියධම්ම හිමිපාණන් නිසා බව නොලියාම බැරිය.