ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික මහාබෝධි මහෝත්සවය මධ්‍ය ප්‍රදේශ් රජය හා මහාබෝධි සංගමය එක්ව මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක හා සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අති උත්කර්ෂවත් අන්දමින් නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දිනවල දී පැවැත්විණි. මෙවර මෙය පැවැත්වුණේ 72 වැනි වරටය.
දිවංගත ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහර්ලාල් නේරුතුමාගේ ඉල්ලීම පරිදි වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සහ මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුව විසින් සංවිධානය කිරීම ශ්‍රී ලාංකිකයන් වන අප විසින් ඇගයීමට ලක් කළ යුතුයි.
මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස, සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනි, මහනුවර වත්තේගම මලියදේව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වියට්නාමයේ බෝධිචිත්තා තෙරණින් වහන්සේ, ඉන්දීය මධ්‍යම රජයේ පංචායත් සභා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ප්‍රහලාද් සිංග් පටෙල්, තායිලන්තයේ වෛද්‍ය සුපාචල් වීරාපුචොංග් මධ්‍ය ප්‍රදේශ් විදාන් සභා (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) මන්ත්‍රී ආචාර්ය ප්‍රභූරාම් චවුද්රි, රයිසන් දිසාපති අරවින්ද කුමාර් ඩුබේ යන අයගේ සහභාගෙත්වයෙන් පැවැත්විණි
සාංචි මහාබෝධි මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයට ජපානයේ සුප්‍රකට ගායිකා මයිකි, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාධ්‍යවේදී තුෂාර හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් ද එක්වූහ. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ද විදෙස් මාධ්‍යවේදීන්ද වියට්නාමයේ, තායිලන්තයේ, සිංගප්පූරුවේ හා මියන්මාරයේ බෞද්ධ සැදැහැවතුන් ලක්ෂයකට අධික පිරිසක්ද මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයට සහභාගි වීම විශේෂත්වයකි.
සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ
මෙවර පැවැත්වූ 72වැනි සාංචි මහාබෝධි මහෝත්සවය පිළිබඳව අදහස් දැක් වූ ලංකා මහාබෝධි සංගමයේ සභාපති හා සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ
“ලංකාවත් ඉන්දියාවත් අතර සාංචිය බෞද්ධ උරුමයේ අන්‍යොන්‍ය බැඳීමක් ඇතිකර තියෙනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ රජයත් මහාබෝධි සංගමයත් එක්ව සාංචිය මුල් කර ගත් විශාල බෞද්ධ උත්සවයක් බෝපාල් හි පිහිටි සාංචි චේතියගිරි විහාරය ආශ්‍රිතව පවත්වනවා. මේ සඳහා ලක්ෂයකට අධික විවිධ රටවල බෞද්ධ ජනතාවක් මෙන්ම බෞද්ධ අබෞද්ධ ජනතාවක් සහභාගි වන බවද පැවසූහ.
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බෞද්ධයන් හට සාංචිය වැඳපුදා ගැනීමට ලැබීමත් භාග්‍යයක් වන බව උන්වහසේගේ අදහසයි. චේතියගිරි විහාරයේ භූ ගර්භයේ තැන්පත් කර ඇති, සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ නොවැම්බර් (30) තිස්වෙනි දින භූ ගර්භයෙන් පිටතට වැඩමවා, විහාර මන්දිරයේ තැන්පත් කිරීමෙන් පසු ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දීම සහ දෙසැම්බර් පළමුවෙනි (01) දින පස්වරුවේ නැවත ධාතූන් වහන්සේ විහාර භූ ගර්භයේ තැන්පත් කිරීමද මෙහි සුවිශේෂත්වය වන බවද වැඩිදුරටත් අවධාරණය කළහ.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සාංචිය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. මෙරට බුදු දහමේ සහ බුද්ධ ශාසනයේ තිඹිරිගෙය සාංචිය බවට කිසිදු විවාදයක් නැත.
භාරත ඉතිහාසය පිළිබඳ හැදැරීමේදී ඉපැරණි බෞද්ධ නටබුන් හමු වූ ස්ථාවලින් සාංචිය සුවිශේෂ වෙයි.
ශේෂව පවතින බෞද්ධ ස්තූප අතුරින් වඩාත් පූර්ණ අර්ථවත් අධ්‍යයනයකට මඟ හෙළි පෙහෙළි කරන පැරණිතම ස්තූප අතුරින් ඉන්දියාවේ සාංචි ස්තූපය ඉතා වැදගත් වෙයි. එය ක්‍රි. පූ.3 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස දක්වා අඛණ්ඩව පැවැති බවට පුරාවිද්‍යාත්මක මුලාශ්රවල සඳහන් වෙයි.
සාංචි ඉතිහාසය
ඉපැරණි ඉන්දියාවේ සොළොස් මහා ජනපද අතරින් සාංචි පිහිටා ඇත්තේ අවන්ති ජනපදයේය. එහි අගනුවර වූයේ උදේනියයි. උතුරින් රාජස්ථාන් උත්තර් ප්‍රදේශ් හා බිහාර් ප්‍රාන්තවලින් ද, දකුණින් මහරාශ්ට්ර හා ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තවලින් ද නැෙඟනහිරින් බිහාරය හා ඔරිස්සා යන ප්‍රාන්තවලින්ද බටහිරින් රාජස්ථාන් හා ගුජරාට ප්‍රාන්තවලින් ද මායිම් වී ඇති මධ්‍ය ප්‍රදේශ් භාරත දේශයේ විශාලතම ප්‍රාන්තයයි. මෙය මෞර්ය වංශිකයන්ගේ නිජබිමද වෙයි. එය වර්ග කි.මී. 443,446 ක භූමි ප්‍රදේශයක් වෙයි. මෙහි අගනුවර බෝපාල් වෙයි. බෝපාලයේ සිට කි.මි 45ක් උතුරු දෙසින් පිහිටා ඇති සාංචි මධ්‍ය ප්‍රදේශ කුඩා ගමයි. බෙට්වා ගඟේ වම් ඉවුරේ සිට අඩි 300ක් පමණ උස් බිමක සාංචි බෞද්ධ නටබුන් පිහිටා ඇති අතර, එහි පැරණි ගොඩනැඟිලි සහ කැටයම්වල ඇති සුවිශේෂත්වය නිසා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට පත්කර ඇත. අතීතයේ මේ ප්‍රදේශය මල්වා යන නමින් ද චේතියගිරි යනුවෙන් ද හඳුන්වා ඇති බව මූලාශ්‍ර සඳහන් කරයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස ශ්‍රී ලංකාවට සම්බුදු දහමේ පණිවුඩය ගෙන ආවේ චේතියගිරියේ සිට බව ඓතිහාසික මූලාශ්රවල සඳහන් වේ. සාංචි චෛත්‍යය මුල් කාලයේ චේතියගිරි චෛත්‍යය නමින්ද ප්‍රචලිත වී තිබේ. “ගිරි’ යනු කන්දයි. වේතිය යනු චෛත්‍යයි. පබ්බත ගිරි නමින්ද ශාන්ත ගිරි පර්වත් යන නමින් ද හඳුන්වා තිබේ. පසුකාලීනව එය සාංචි විය. මේ ප්‍රදේශය භාරතය පුරා නිර්මල බුදු දහම සුපෝෂණය කළ නරපතියකු වූ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් කරවන ඉපැරණි ප්‍රෞඪ නගරයකි.
සාංචි ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි තුන්සිය අනු හයක් පමණ උසකින් යුක්තය. චෛත්‍යයේ උස අඩි පනස් හතරක් වන අතර විෂ්කම්භය අඩි එකසිය විස්සක් පමණ වේ. මෙහි විශේෂත්වය වන්නේ චෛත්‍ය මුදුණේ කොතක් දක්නට නොමැති වීමයි. ඒ වෙනුවට සාංචි චෛත්‍යය මුදුනේ ඇත්තේ ඡත්ත්‍ර තුනක් පමණි. එකල ඉදිකළ චෛත්‍යයවල මුදුනේ ඡත්ත්‍ර තුනෙන් සලකුණු වන්නේ එම චෛත්‍ය ගර්භයෙහි සර්වඥ ධාතුන් තැන්පත් කර ඇති බවයි. රහතන් වහන්සේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති චෛත්‍යයන්හි මුදුණේ එක් ඡත්රයක් පමණක් ඉදිකිරීම අනෙක් සුවිශේෂත්වයයි.
එසේම සාංචිය අවට කුඩා චෛත්‍ය රැසක්ම ද වන අතර සැරියුත් මුගලන් අගසවු දෙනමගේ ද ධාතුන් වහන්සේ තැන්පත් කළ චෛත්‍යයක් ද දක්නට ලැබෙයි. ශ්‍රී ලාංකික ජනතාවගේ අප්‍රමාණ වන්දනාවට ගෞරවයට ලක්ව තිබෙන මෙරට පැරණිම වෘක්ෂය වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට ගෙන එන ලද්දේ වේතියගිරියේ සිටය.
ලෝක උරුමයක් වන ඒ සාංචි ස්තූපය අශෝක අධිරාජ්‍යයා විසින් සර්වඥ ධාතුන් වහන්සේ සහ සැරියුත් මුගලන් අගසව් රහතන් වහන්සේ ධාතූන් වහන්සේ තැන්පත් කොට නිර්මාණය කරන ලදි.
මේ උතුම් සංසිද්ධීන් සිදු වූ මේ ස්ථානයේ ඒ හා සම්බන්ධයෙන් ගොඩනඟා තිබෙන වෙහෙර විහාර දාගැබ්, චෛත්‍යය, ස්තූප හා අදටත් ශේෂව පවතී. එවන් උරුමයන් නැරඹීමට බෞද්ධයන්ට අවකාශ ලැබීම සිත නිවා සනහාලන මහත් වූ ආනිසංසයක් ලබාදෙන්නකි. තථාගතයන් වහන්සේගේ පාද ස්පර්ශය නොලදතත් බොදුණුවන්ට දැක බලාගත යුතු එවන් වූ පුණ්‍ය භූමියක් දැකබලා පහන් සිත් උපදවා ගැනීමද බෞද්ධයෙකු විසින් ලබන භාග්‍යයකි.
ඒ අවස්ථාව අපටද උදා විය. පසුගිය මස 31 සහ මේ මස 01වැනිදා පැවැති සාංචි මහෝත්සවය සඳහා විවිධ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍ය සහෘදයන් පිරිසක් ද අපි සමඟ මාධ්‍ය ආවරණ සඳහා සහභාගි වූහ.
මේ පුරවරයේ සිට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ රාජකීය ධර්ම දූත පිරිසක් විසින් අනුරාධපුරයේ අම්බස්තලයට වැඩමවා, එවක මෙරට පාලනය කළ දේවානම්පිය තිස්ස රජු ඇතුළු පිරිසට සම්බුදු දහමේ පණිවුඩය ලබා දුන්හ. එදින පටන් මේ රට වැසියෝද බුදු දහමින් සුපහන් ව සඳහම් සිසිලෙන් නිවී සැනහුණ සිත් ඇත්තවුන් වූහ. ඒ හා බැඳුණු ජන ජිවිතය වඩා අර්ථ පූර්ණ විය. බුදු දහම පෝෂණය ලද නව ශිෂ්ටාචාරයකට බොදු සංස්කෘතියක් ද අපේ රටට ඒ අනුව විවර විය. ඉන් අනතුරුව ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන සංඝමිත්තාවෝ අනුරාධපුරයට වැඩම වීමෙන් දෙරට රාජ්‍ය තාන්ත්‍රික බැඳීම තවත් වර්ධනය විය.
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සමයේ අවන්ති දේශය පාලනය කර තිබෙන්නේ චන්ඩප්පදෝත නැමැති රජ කෙනෙකි. මේ රජුට කත්යාන නමින් පුරෝහිතයෙක් සිටි බවත් ඔහු නාමික බෞද්ධයකු බවත් සාංචි ඉතිහාසයේ සඳහන් වෙයි. මේ රජුට බුදුරජානන්වහසේ බැහැදැක ගැනීමට අශාවක් උපන් බවත් නුවරට වඩින ලෙස බුදු රජානන්වහන්ට ආරාධනා කරන ලද්දේ කත්යාන නැමැති මේ පුරෝහිත වෙයි. ඉන් අනතුරුව බුදු දහම කෙරෙහි පැහැදි පසුව සසුන්ගත ව මහ කත්යාන නමින් අසූමහ ශ්‍රාවක පිරිසට එක්ව ඇති බවත් බෞද්ධ මුලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වෙයි.
මෞර්ය වංශික ධම්මා දේවිය අශෝක රජුගේ මව බව මහාවංශ ටීකාවේ සඳහන් වේ. මහා කත්යාන රහතන් වහන්සේ කළ ශාසනික මෙහෙවර නිසා මේ දේශය රහතන් වහන්සේ වැඩසිටි භූමියක් වූ බවට පුරාවිද්‍යාත්මක මුල්‍ය සාක්ෂි දරයි. සාංචි අවට ස්තූප දෙසීයක් පමණ ගොඩනගා ඇති බවත්, ඒ අතරින් සාංචි භූමියේ පමණක් ස්තූප හැත්තෑ හතරක් පමණ ඉදි කර ඇති බවත් එසේම සද්ධාර නැමැති පළාතේ ධර්මාශෝක රජු විසින්ම කර වූ ස්තූප තිස් හතරක් තිබූ බවත් සඳහන් වෙයි . මෙහිදි අපට වඩා වැදගත් වන සාංචි අශෝක රජතුමා විසින් ඉදි කිරීමට හේතු වන කරුණු නම් එතුමා රාජත්වයට හුරුවක් ලද්දේ අවන්තියේ වීමත්, සිය විදිශා මෙහෙසිය හමු වූ නගරය විදිශාව වීමත් සුවිශේෂ කරුණකි; අශෝක රජතුමා උපතින්ම ජෛන භක්තිකයෙකි. විදීශා මෙහෙසිය බෞද්ධ උවැසියක් විය.
ධර්මාශෝක රජතුමා දඹදිව පුරා අසූහාර දහසක් වෙහෙර විහාර ගොඩනැඟූ අතර සිය මෙහෙසිය වෙනුවෙන් බරණැස සහ උදේනි නුවර ප්‍රධාන මාර්ගයේ විදිශා නුවරට ආසන්නයේ පිහිටි කඳු ගැටයක් මත සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කළ චෛත්‍යයක්ද අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ තැන්පත් කළ තවත් චෛත්‍යයක් ද අංගසම්පූර්ණ විහාර සංකීර්ණයක් ඉදි කරනු ලැබීය.
ඔහු බෞද්ධ දර්ශනය කෙරෙහි වඩා යොමු වීමට හේතු සාධක වන්නට ඇත්තේද විදිශා මෙහෙසියගේ මඟ පෙන්වීමෙන් සහ බුදුදහම පිළිබඳ නිරන්තර දැන උගත් වීමෙන් බවට සැකයක් නැත. කෙසේ වුවත් සියලු වෙහෙර ස්තූප නටබුන් බවට පසුකාලිනව පත් වුව ද සාංචි ස්තූපය පමණක් නටබුන් බවට පත් වී නොතිබුණ බවට ඓතිහාසික මූලාශ්‍රවලින් තහවුරු වී ඇති බවත් මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේදී සාංචි මහා බෝධි විහාරවාසී උඩුගම තපස්සි හිමියෝ පැවැසුහ. ”
වර්ෂ 1818 දී පමණ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් විසින් සාංචිය හා නටබුන් සොයා ගන්නා ලදී.
එකල ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ ආරක්ෂක ප්‍රධානියා වූ ජනරාල් කනිංහැම් සාංචි නටබුන් සොයා ගැනීමේ පුරෝගාමියා විය. ජනරාල් මේසි,ජෙනරාල් කනිංහැම් ඉටු කළ පුරාවිද්‍යා පර්යේෂණ වලට සහායකයකු වූ අතර සාංචි ස්තූප හා කැටයම් මුල්වරට සිතුවම් කරන ලද්දේද ඔහු විසිනි. අප්‍රිකාවේ හා ග්‍රීසියේ පුරාවිද්‍යා පර්යේෂණ බොහොමයක් ඉටු කළ සර් ජෝන් මාෂල් 1902 දී ඉන්දියාවේ පුරාවිද්‍යා ප්‍රධානියා ලෙස පත් කළ අතර ඔහු විසින් පැරණි ස්ථාන රාශියක ද සාංචියේ ද පර්යේෂණ කටයුතු සිදු කළේය. වර්ෂ 1881 දී බ්‍රිතාන්‍ය රජය විසින් ආරම්භ කළ සාංචි නටබුන් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 1919 දී අවසන් කරන ලද ලදී. මෙම ස්ථානය නැවත තහවුරු කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ බ්‍රිතාන්‍ය ජාතික සර් ජෝන් මාෂල් ටය.
අශෝක රජතුමාගේ රාජ්‍ය සමයේ දී කරන ලද එක් සුවිශේෂි ක්‍රියාවක් ලෙස සාංචි ස්තූපය ඉදි කිරීම සදහන් කළ හැක. තවද ලෝකයේ දිග්භාගයට ධර්මාශෝක අධිරාජයා ධර්ම දූතයන් පිටත් කර යැවීමේදී ශ්‍රි ලංකාවට තම පුතුනුවන් වූ මහා මහින්ද මහරහතන් මහරහතන් වහන්සේ වැඩම කර වීමට තීරණය කළේ ය.
ඉන් කලකට පසු සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ දී සාංචියට වැඩම කර සිවු මසක් පමණ සිය මෑණියන් සමඟ සංඝ මිත්තා තෙරණින් වහන්සේද මිහිදු මහරහතන්වහසේද එහි වැඩ වාසය කළහ.
අශෝක අධිරාජයා දරුවන් දෙදෙනා පාටලී පුත්‍රයට රැගෙන යන විට විදීශා බිසවට වූ පොරොන්දුවක් නම් නැවත දරු දෙදෙනා ඇය වෙත එවන බවයි. බුදු සසුනට ඇතුළු වූ එම දෙදෙනා පසුව සිරිලකට පැමිණීමට පෙර සිය මෑණියන් වෙත වැඩම කළේ එකී පොරොන්දුව ඉටු කිරීමටය.
එසේම මහින්ද තෙරුන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේට නැවත කිසි දිනක දඹදිවට පැමිණීමට අවස්ථාව නොලැබෙන බව දැනසිටීමද මෙයට හේතු වන්නට ඇති බව කරුණු පැහැදිලි කිරීමේදී තපස්සි හිමියෝ අවධාරණ කළහ.
එම නිසා ඔවුහු සිය මෑණියන් සමඟ කෙටි කලක් ගත කර ශ්‍රි ලංකාවට වැඩම කර ශ්‍රී ලංකාවේදී පිරිනිවන් පානා ලදහ.
සංඝමිත්තා මහරහතන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සාංචියට වැඩම කළ පසු සිවු මසක් පමණ එම බෝධි අංකුරය රැක බලා ගැනීමට සුවිශේෂ පාරිසරික ප්‍රතිකර්ම යොදා ඇත. සංඝමිත්තා තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ බව සාංචි විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක සාධකවලින් හෙළිදරව් වෙයි . ඒ අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ආරක්ෂා කිරීමට ඉදිකළ විශාල ගල් පාත්තරය අදත් සාංචියේ දක්නට ලැබෙයි.
කෙසේ වුවත් මේ සාංචි ස්තූපයට ඇතුළු වීමට සිවු දිසාවෙන් ඉතා අලංකාර කැටයමින් නිමා වූ තොරණ හතරක් ද ඇත්තේය. ඉන්දියාවේ ඇති අනෙකුත් කලා නිර්මාණ අතර සාංචි තොරණ කැටයම්වලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. සැබැවින්ම එය බෞද්ධ කලාවේ අග්‍ර ඵලයයි. මෙම තොරණ ඉදි කරන්නට ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමු ශත වර්ෂයේ දීය. හතරැස් ගල් කුලුනු දෙකක් මත ඉදිරියේ ඇති මෙම තොරණ ඉතා සියුම් මහා අලංකාරවත් ලෙස ජාතක කතා කැටයම් කොට ඇත.
මෙම තොරණවල බෝධිසත්ව අවධියේ විවිධ අවස්ථාවන් හා චරිත විසිතුරු ලෙස කැටයම් කොට ඇත. එහෙත් කිසිම විටෙක මෙම කැටයම්වල බුදුරජාණන් වහන්සේගේ ජීවමානව ප්‍රතිනිර්මාණය කොට නැති අතර උන්වහන්සේ සංකේත ලෙස දක්වා ඇත්තේ නෙළුම් මල හා බෝ ගස උපයෝගී කර ගෙනය. ධර්මය සඳහා චක්‍රය ද ඇතැම් තැනක පාද සලකුණ ද යොදා ගෙන ඇත. නැෙඟනහිර වාහල් කඩෙහි ඇති තොරණේ සිද්ධාර්ථ තවුසා නිර්වාණය අවබෝධ කරගත් අවස්ථාව ද, මහමායා දේවිය දුටු සිහිනය ද දක්නට ලැබේ.
දකුණු වාහල්කඩයෙහි ඇති තොරණේ සිද්ධාර්ථ උත්පත්තිය ද, බටහිර තොරණේ වත්දන්ත ජාතකය ද ඉතා විසිතුරු ලෙස කැටයම් කොට ඇත. ගල් කනුද මෙහිවන අතර අංක දහය ලෙස දැක්වෙන ගල් කුලුණු අශෝක අධිරාජයා විසින් ඉදි කොට ඇති අතර එහි මුදුනේ එකිනෙකට පිටුපස හරවා සිටින සිංහයන් තිදෙනකු නිර්මාණය කොට ඇත. එය වර්තමාන ඉන්දියානු රාජ්‍ය සංකේතය ද වෙයි. අංක 3 යනුවෙන් හැඳින්වෙන ථූපය වැදගත් වනුයේ සැරියුත් මුගලන් දෙනමගේ ධාතු හමුවූයේ මෙම ථූප ගර්භයෙන් වීමෙනි. එම ධාතු 1853 දී එංගලන්තයට ගෙන ගිය අතර 1953 දී නැවත ඉන්දියාවට පරිත්‍යාග කරන ලදී. ප්‍රධාන ථූපයට දකුණේ ගොඩනැඟිලිවල අවශේෂ කොටස් ලැබෙන අතර ඒවා බෞද්ධ විහාර ලෙස හඳුනාගෙන ඇත. සෝනාරී ගමේ තවත් බොහෝ ස්ථානවල ඉපැරණි බෞද්ධ අවශේෂ දක්නට ලැබේ. මෙම ස්ථානයේ කළ පර්යේෂණවලින් ඇතැම් ථූපයන්ගේ මැටි බඳුන්වල තැන්පත් කළ රහතන් වහන්සේලාගේ ධාතු හමු වී ඇත.
ඉන්දියාවේ දක්නට ලැබෙන අනෙකුත් බොහෝ බෞද්ධාගමිකයන්ගේ පුරා වස්තුන් අතර සාංචිය, ශ්‍රි ලාංකික අපට ඍජු සබඳතාවක් දක්නට ලැබෙන බවට ජීවමාන සාක්ෂි රැසකි. ඒ නිසාම එය දැක පහන් සිත් උපදවා ගැනීමට හැකි වීමද භාග්‍යයක් කොට සලකමු.
සුභද්‍රා දේශප්‍රිය සහ කහවත්ත තුෂාර හෙට්ටිආරච්චි
(ඉන්දියාවේ පැවැති සාංචි මහෝත්සවයට සහභාගි වීමෙන් අනතුරුව)