Home » පින් අතේ වැඩ කරන ගේම් කාරයෝ

පින් අතේ වැඩ කරන ගේම් කාරයෝ

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment
මනිත වීඩියෝ ගේම් කර­මින් ලයිව් පැමිණි අව­ස්ථාව

න්තර්ජාලය හරහා වීඩියෝ ක්‍රීඩා කරන ( Video Game) ළමුන් හා තරුණ තරුණයන් ගැන අප ඕනෑ තරම් අසා තිබෙනවා. ඒ වගේම අද වෙද්දී වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම නිසාම මානසික සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වුණු කුඩා දරුවන් ගැනත් අහන්නට ලැබෙනවා.

ඉතාමත් දරුණු ඛේදවාචක බවට පත්වෙමින් යන සංසිද්ධි ගැනත් ඉඳහිට වාර්තා වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අප සමාජයේ වැඩිහිටි බොහෝ දෙනෙකු වීඩියෝ ගේම් ගහන කොල්ලො කෙල්ලො දිහා බලන්නෙ වපරැහින්. ඒත් අප මේ කතා කරන්නට යන්නෙ එකී සාම්ප්‍රදායික සමාජ තත්ත්වය ගැන නම් නෙවෙයි. අන්තර්ජාලය හරහාම සල්ලි උපයන්නත්, වීඩියෝ ගේම් ගැසීමම ජීවිතය කරගෙන එයින් ගොඩගිය තරුණයෙක් ගැනයි. ඊටත් වඩා වීඩියෝ ගේම් හරහා උපයා ගත් මුදල් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නටත් ඉදිරිපත් වුණු කෙනෙක්. තවත් විදිහකට කියනවා නම් ‘පින්අතේ වැඩ කරන ගේම් කාරයෙක්’. ඔහුගේ නම මනිත අබේසිරිවර්ධන. ගෙවල් කළුබෝවිල.

බර්ත්ඩේඑක වෙනුවෙන් වෙනම වැඩක්

“මොකක්ද මේ ගේම?” අපි ඇහුවා.

“මං කොහොමත් රස්සාවක් හැටියට ඔන්ලයින් ගේම් ගහන එක තමයි කරන්නෙ. ඒත් මේ වැඩේ කෙරුවෙ මගෙ බර්ත්ඩේ එක වෙනුවෙන්. සාමාන්‍යයෙන් මං බර්ත්ඩේ එකට මොනව හරි චැරිටි වැඩක් කරනවා. සමහරවිට පුංචි දෙයක්. සමහර විට ටිකක් වෙනස් වැඩක්. ඉතින් මේකත් එහෙම ටිකක් වෙනස් වැඩක්.

ඖෂධ හා වෛද්‍ය උප­ක­රණ

ඖෂධ හා වෛද්‍ය උප­ක­රණ

2021දි මං මේ වගේම වැඩක් කළා. ඒකෙදි කළේ ළමා නිවාසවලට වියළි ආහාර ලබාදීම. රුපියල් 80,000ක වගේ මුදලක් එකතු කරන එක තමා එදා ඉලක්කය වෙලා තිබුණේ. ඒත් ලක්ෂ දෙකයි ගාණක් හම්බ වුණා. මේ වගේම ලයිව් වැඩක් තමා කළේ. මේ අවුරුද්දෙත් බර්ත්ඩේ එකට මොනව හරි කරන්න ඕන කියලා හිත හිතා ඉදිද්දී අපේක්ෂා රෝහලට මොකක් හරි උදව්වක් කරමු කියලා මගේ ලයිව් බලන ෆෑන්ස්ලා ගොඩක් කියලා තිබුණා. අනෙක් අතට එතැන හිටපු මගේ ෆෑන් කෙනෙක් පිළිකා රෝගයෙන් මිය ගියා දැනට මාස 3කට විතර ඉස්සර. එයා මිය යන්න කලින් මගේ ලයිව් එකක චැට් එකේ ඉල්ලීමක් කරලා තිබුණා; මොනව හරි චැරිටි වැඩක් කරනවා නම් මහරගම අපේක්ෂා රෝහලට උදව්වක් කරන්න කියලා. බේත් ටිකක් හරි අරන් දෙන්න කියලා තමයි එයා රික්වෙස්ට් කරලා තිබ්බෙ. ඒකත් මේකට හේතුවක්”

කොහොමද මේක කරන්නේ

අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමේ ක්‍රම බොහෝ තිබේ. ඇතැම් විට විදෙස්ගත මහා පරිමාණ සමාගම්වලට දත්ත කැවීම (Data entering), වෙබ්, යූ ටියුබ් මඟින් ගූගල් ඇඩ් හරහා ආදායම් ඉපයීම, සමාජ මාධ්‍ය පිටුවලට අනුග්‍රාහක දැන්වීම් සෙවීම ආදී බොහෝ ක්‍රම ඇතත්, වීඩියෝ ගේම් මඟින් මුදල් ඉපයීම ඒ තරම් ජනප්‍රිය දෙයක් නෙවෙයි. වීඩියෝ ගේම් තුළින් එහෙම දේවල් කරන්න පුළුවන්ද කියලත් සමහරු සැකෙන් අහන්නේ ඒකයි.

“කොහොමද මේක කරන්නේ?” අපි මනිතගෙන් ඇහුවා.

“ මේක ගේම් ස්ක්‍රීන් කරන යූ ටියුබ් එකේ කන්ටෙන්ට් හදනවා වගේම තමයි. ක්‍රම කිහියක්ම තියෙනවා. පළමුවැන්න තමා තමන් ඔන්ලයින් ඉඳිද්දී තමන්ගෙ ෆෑන්ස්ලටම මුදල් පරිත්‍යාග කරන්න කියලා රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒකට ලින්ක් එකක් දෙන්න පුළුවන්. එ්ක ක්‍රවුඩ් ෆන්ඩින්. නෙට්ෆිලික්ස් එකට සබ්ස්ක්‍රිප්ෂන් ගන්නව වගේ කරන්නත් පුළුවන්. මං කරන්ගේ යූ ටියුබ් එකේ ගේම් ප්ලේ කරන එක. ඒක ප්ලේ කරන ගමන් ඒවා ලයිව් ස්ක්‍රීන් කරන එක. පරණ පරම්පරාව ටීවී බලනවා වගේම අලුත්ම පරම්පරාව කවුරු හරි ලයිව් ස්ට්‍රීම් කරන කොට ඒවා බලන්න ප්‍රවණතාවක් තියෙනවා. ලංකාවෙ ඒක ඒ තරම්ම ජනප්‍රිය නැතිවුණාට ජාත්‍යන්තර වශයෙන් ඒකට ලොකු ඉඩක් තියෙනවා. ඒක ලොකු විනෝදායන කර්මාන්තයක්. යූ ටියුබ් එකේ මේ ලයිව් යද්දී ගූගල් ඇඩ් මැදින් මැදින් දානවා. ඒවට ගූගල් එකෙන් මට ගෙවනවා. ඒක ලොකු ගෙවීමක් නෙවෙයි. පොඩි ගාණක් හම්බ වෙනවා. වැඩිම ගාණක් හම්බ වෙන්නේ ෆෑන්ස්ලාගෙන්. මොකද ඒ අයගෙන් පරිත්‍යාග හැටියට ගාණක් එකතු වෙනවා.

මගේ රස්සාව ගේම් ගහන එක

ගේම් එකකදී වගේම ඕන නම් ගමනක් බිමනක් යද්දි වුණත් ලයිව් එකක් දාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ගේම් එක ගහන එකටත් වඩා ලයිව් එකේදි මං කරන කියන දේ එක්ක තමා ෆෑන්ස්ලා සතුටු වෙන්නෙ. ආතල් එකක් දෙන එක තමා කරන්නෙ. ඇත්තම කියනවා නම් ගේම් එක මොකක්ද කියලවත් මෙතෙන්ට එච්චර අදාළ නෑ. මං ලයිව් එකේදි විහිළු කතා කියමින් දෙන ආතල් එකට තමා ෆෑන්ස්ලා කැමති. දැනට ෆුල් ටයිම් රස්සාවක් විදිහට මං කරන්නෙත් මේ විදිහට ගේම් ගහන එක තමයි. මගේ අධ්‍යාපනික පසුබිම තියෙන්නේ ඩිජිටල් මාර්කටිං ඉන්ඩස්ට්‍රි එකේ. ඒ වගේම මගෙ ලයිව් ස්ක්‍රීන්වලට ඇඩ්වටීස්මන්ට් තියෙනවා. ඒවාට ස්පොන්සර්ස්ලත් ඉන්නවා. ඒ නිසා ඒ අයගෙ ඇඩ් මං ලයිව් ස්ට්‍රීම් කරන වෙලාවට ප්ලේ කරනවා. සතියකට තුන් පාරක් විතර තමා ස්ක්‍රීන් කරන්නෙ. පැය තුනක් හතරක් කාලයක් තමයි මං ලයිව් එන්නෙ. වන් ටයිම් කැම්පේන්. මාස 3ට එහෙම නැත්නම් මාස 6ට වගේ කන්ට්‍රෑක්ට් එකක් එක්ක යන කැම්පේන් තියෙනවා. ටීවී එකේ ලයිව් ෂෝ එකක් කරනවා වගේම දෙයක් තමා යූ ටියුබ් එකේ මං කරන්නෙ. ඒකෙ ලොකු වෙනක් නෑ. තිරයේ ලොකු පොඩිකම විතරයි ඇත්තටම තියෙන්නෙ. ස්ක්‍රීන් එකේ එයාලගෙ ලෝගෝ වැටෙනවා. බැනර් වැටෙනවා. මගෙ පසුබිමෙන් එයාලගෙ ප්‍රොඩක්ට් පේන්න තියෙනවා. මං වචනයෙන් කියනවා. ලයිව් ප්‍රෝග්‍රෑම් එකක බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන් කැම්පේන් එකක කරන ඔක්කොම මං ලයිව් එකේදි කරනවා. ලයිව් නැති වෙලාවට මගේ පේජ් එකෙන් පෝස්ට් දානවා. ඒ ෆුල් පැකේජ් එකට තමා මං මාර්කට් කරන්නෙ. Maniya Streams තමා මගේ චැනල් එක”

ඔහු පැහැදිලි කරමින් යයි.

“එතකොට මේ වැඩේ කොහොම සිද්ධ වුණේ?” “මගේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබ්ර්ස්ලා එක් ලක්ෂ අනූදාහක් ඉන්නවා. මගේ ලයිව් එකක් 1500-2000ක් වගේ බලනවා. අපි ප්ලෑන් කළේ ලක්ෂ 3ක් එකතු කරන්න. මේ කාලෙ මිනිස්සුන්ට සල්ලි අමාරු නිසා. ඒත් පළවෙනි විනාඩි 30 ඇතුළත ලක්ෂ 3ක කවර් කරගන්න පුළුවන් වුණා. ලින්ක් එකක් දාලා ඩොනේට් කරන්න කියලා, පැය 3-4ක් ඉවර වෙද්දි ලක්ෂ දොළහමාරක් වගේ වුණා. ඒත් ඒ සල්ලි රුපියල්වලට හරවලා ගනිද්දී, ටැක්ස් එහෙමත් කැපිලා ලක්ෂ එකොළහ හමාරක් වගේ තමා අතට ආවේ. ඉතුරු භාගෙ අතින් දාලා ලක්ෂ 12ට රවුම් කරලා තමා මේ වැඩේට යෙදෙව්වෙ. ”

මේක සාමූහික වැඩක්

“කොහොමද රෝගීන්ට අවශ්‍ය මොනවද කියලා තීරණය කෙරුවේ?”

“ අපි මුලින්ම එයාලගෙන් ඇහුවා එයාලට මොනවද අවශ්‍ය කරන්නෙ කියලා. එතකොට එයාලා අපට ලිස්ට් එකක් දුන්නා. බෙහෙත් සහ සමහර වෛද්‍ය උපකරණ. Multi Para – Monitor එකකුයි, Double Ja Suction Machine තමා උපකරණ හැටියට තිබුණේ. එකක් ලක්ෂ 3ක්. අනික 80,000ක්. ඉතුරු ඒවායින් ඉල්ලපු බෙහෙත් අරන් දුන්නා. මගෙ ෆෑන් කෙනෙක්ගෙ තාත්තා පිළිකා රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. එයාගෙ තාත්තටත් රු.50,000ක් දුන්නා. ලක්ෂ 12ක් කවර් කළා. කුලිත් මොහොට්ටි කියලා මගෙ යාළුවෙකුත් එදාම මාත් එක්ක එයාගෙ පුද්ගලික මුදලින් රුපියල් 60,000ක ළමයින්ට ඕන බඩු මුට්ටු ටිකක් ළමා වාට්ටුවට පරිත්‍යාග කළා. මේක ඇත්තටම මං විතරක් කරපු දෙයක් නෙවෙයි. මේ ගේමින් කමියුනිටි එකේ 1000කගෙ විතර සාමූහික වැඩක්”

තමන් මූලික වුණත්, තමන් කළ කාර්යය වටා එකතුවී වීඩියෝ ගේම් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ස්තූති කරන්නත් ඔහු අමතක කළේ නෑ.

පරි­ත්‍යාග රෝහ­ලට ලබා­දුන් අව­ස්ථාව

පරි­ත්‍යාග රෝහ­ලට ලබා­දුන් අව­ස්ථාව

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division