ආගමක් යනු දියුණු මනසකින් යුත් හෝමෝසේපියන්ස් මානවයින් විසින් ගොඩනඟා ගන්නා ලද ප්‍රබන්ධ යථාර්ථකරණයේම කොටසකැයි මානව චින්තන දෙස මධ්‍යස්ථ සිතකින් බලන විට පෙනේ. එහෙත් ආගමික ඉගැන්වීම්වලින් මනස බලහත්කාරයෙන් පුරවනු ලැබූ අය සැම දෙයක් දෙසම ආගමික දාර්ශනික අනුපිළිවෙලට සාපේක්ෂ දෘෂ්ටිකෝණ ආශ්රයෙන් බලන්නට අනුහුරු වී තිබේ.
එය වූ කලී ආගමික දාර්ශනික දැනුමේ අනුමිතීන් හා උපකල්පන කෙරෙහි තබන ලද දැඩි විශ්වාස පෙරටු කොට, අප විසින්ම අප තුළ මුල් බස්සවාගන්නා ලද සත්‍යම යැයි අදහන්නට කරනු ලබන බලහත්කාරය විසින් සිදුකරන ලද්දකැයි ද පෙනේ. එය සෘජු ආගමික මතවාදී බලහත්කාරකම් ලෙස ද, වඩාත් සුමටව සහ සියුමැලිව කරන ලද ආගමික සොඳුරු උත්තේජන ලෙස ද පවතී.
මම කියන නිසාවත්, වෙන කවරකු හෝ කියන නිසාවත්, හෝ තමන්ට නිවැරදි යැයි සිතන නිසාවත් හෝ යමක් සත්‍ය යැයි පිළි නොගන්නැයි කියූ දාර්ශනික නිර්දේශයමත් සමහර විට පුද්ගලයන් සිය ආගමික මතවාදය සත්‍ය යැයි අදහන්නට අවියක් කරගෙන තිබේ. එනම්, අපේ ආගමේ හෝ දර්ශනයේ විතරමයි එහෙම දෙයක් කිව්වෙ, ඒ නිසාම එහි ඇති සියලු දේ සත්‍යය යන බැඳීමට අසුවී, අන් කිසිදු මතවාදයක්, දර්ශනයක්, අදහසක් දොරකඩටවත් නොගෙන ගැඹුරු සංවාදයකට පාත්‍ර නොකොට බැහැර කර දමයි. එයම ලෝකය මධ්‍යස්ථව දැකීමට සහ විඳීමට කෙරෙන බලවත් කඩතුරාවකි.
සිංහල බෞද්ධ මතවාද ගත්ත ද, ක්‍රිස්තියානි, මුස්ලිම් හෝ හින්දු ආගමික මතවාද ගත්ත ද ඒ සියල්ලකම පෙරකී ලක්ෂණය අඩුවැඩි වශයෙන් ඇත. එහෙත් ආගමික තත්ත්වයට ඔබ්බෙන් ඇති ඒ ඒ ආගම් සතු සමහර දාර්ශනික කාරණා පරෙස්සමෙන් වෙන්කර සුදු පසුබිමක අතුරා, ඒ ඒ කාරණාවන්ට සාපේක්ෂව මනුෂ්‍යත්වයට අදාළව පවතින ගුණාංග විශ්ලේෂණය කිරීම සුන්දර කර්තව්‍යයකි. ඒ ඒ කාරණා සතු සමාන අසමානකම්, ගුණ නුගුණ, අවස්ථා සහ තර්ජන, ශක්තීන් සහ දුර්වලතා පක්ෂග්රාහී නොවී විමසා බලන්නට හැකිනම් හෝමෝසේපියන්ස් දිවියේ අපූරු දොරටුවක් විවරකරගත හැකිය.
කෙසේ වෙතත්, ඒ සෑම ආගමික ඉගැන්වීම්වලට ඔබ්බෙන් පවතින දාර්ශනික කාරණා බහුතරය තුළ කිසියම් ප්රශස්ත සමානතා දැකිය හැකි බව නම් ඉඳුරාම කිව යුතුය. එහෙත්, මහලුවීම, ලෙඩවීම, මරණය, ජීවිත අවදානම්වලට මුහුණ දීම, ආදී මානව ජීවිතයේ අවදානම ගැන වූ ස්වභාවික අභියෝගය ජයගන්නට ආගමික නිෂ්ඨාවක් විශ්වාස කරමින් තරයේ ඒ තුළට කිමිදෙන උදවියට පෙරකී හෝමෝසේපියන්ස් ජීවිතයේ මැදිහත් විමසුම හරහා අවංකවම විවිධ ආගමිකත්වයට ඔබ්බෙන් වූ දාර්ශනික සංවාද තුළ කිමිදී නිරාමිස ආශ්වාදයක් ලැබීම උගහටයැයි සිතේ.
මිහිතලය මතුපිට වෙසෙන ලක්ෂ්‍ය සංඛ්‍යාත ජීව විශේෂ අතුරෙන්, ඒ සියලු ජීව විශේෂ අබිබවා මානවයා ප්රමුඛ ස්ථානයට පැමිණ ඇත්තේ, සෙස්සන්ට වඩා පරිණාමිකව දියුණු වූ ශාරීරික මෙන්ම මනසේ වූ විශේෂ ප්‍රකට දියුණු ලක්ෂණත්, සාර්ථකව තරගයට මුහුණ දීමත් නිසාය. නූතන මානව විද්‍යාඥයකු වන මහාචාර්ය යුවල් හරාරෙ පවසන පරිදි,මිනිස් මොළයේ පරිණාමික දියුණුව සමඟ ඔවුන් සමූහය තුළ වූ සුවිශේෂී ශක්‍යතා දෙකක් වන, ප්‍රබන්ධ යථාර්ථකරණ හැකියාවත්, එලෙස යථාර්ථකරණය කරන ලද ප්‍රබන්ධය සත්‍යයක් ලෙස විශ්වාස කරමින් ඒ වටා හැසිරෙන මිලියන සංඛ්‍යාත මානව ප්‍රජාවේ කුසලතාවත් නිසාය. නිදසුනක් ලෙස ගතහොත්, මානව සමාජයේ ඇති සියලුම දේ මානව මනස තුළ ප්‍රබන්ධ ලෙස ගොඩනඟාගත් අනුමිතීන් වන අතර ආගම, දෙවියන්, රාජ්‍ය, ව්‍යවස්ථා, නීතිය, ප්රජාතන්ත්රවාද්ය, මූල්‍ය ආදී සියල්ලම එවැනි දේය. එවැනි සංකල්ප සත්‍යයක් යැයි විශ්වාසකරන සිය වර්ගයා එය අරමුණු කරගනිමින් අතිශය ශක්තිමත් සංවිධාන ජාලයක් වටා ගොනුවෙයි. මෙය මිහිමත වෙසෙන වෙනත් කිසිදු ජීව විශේෂයකට නොමැති සුවිශේෂී ලක්ෂණයකි.
මෙම තාක්ෂණික ස්වරූපය තුළ, මානවයන් ලෙස අද අප ස්පර්ශ කරන සියලු දැනුම්, දාර්ශනික විෂය, ආගමික ඉගැන්වීම් සියල්ල අඩංගුය. එය වරදක් හෝ අඩුපාඩුවක් ලෙස නොව කරුණක් (දත්තයක්), විෂය සම්මුතියක් ලෙස දැකීම ඔස්සේ ලෝකය කියැවීම දියුණු මානවයන් ලෙස ලද හැකි නිරාමිස සතුටකි.
ලාංකිකයින් බහුතරය කියවන්නේ බුදුරජාණන් වහන්සේය. වසර දහස් ගණනක බෞද්ධ සංස්කෘතිය තුළ විවිධාකර ආගමික හැඩහුරුකම්වලින් උපයුක්තව එම කියැවීම ද සිදුවේ. ජේසුස් ක්‍රිස්තූන් ගැන කියවන්නේ, බුදුරජාණන් වහන්සේ ගැන කියවා ඇතිකරගත් අදහස් මත සිට ඊට එපිටිණි. ඒ නිසා හැම විටම බුදුරජාණන් වහන්සේට හෝ බෞද්ධ සංස්කෘතික කාරණාවලට සාපේක්ෂ කියැවීමකින් ඔබ්බට ක්‍රිස්තුන් වහන්සේ කියවන්නට නොයයි. එලෙස කියැවීම බෞද්ධත්වයට අන්තරාවක් විය හැකි බවක් යටි සිත තුළ පැළපදියම් කර තිබේ.
කිතුණුවකුට බුදුරජාණන් වහන්සේ කියැවීම ද එයාකාරමය. ඔවුහු ක්‍රිස්තූන් වහන්සේ හා දෙවියන්වහන්සේ ගැන වූ ඉගැන්වීම්වලට ඔබ්බට ගොස් බුදුරජාණන් වහන්සේ හදාරන්නේ නැත. මක්නිසාද, එලෙස කියැවීම කිතුණුත්වයට එය අන්තරාවක් යැයි ඔවුනගේ යටි සිතෙහි පැළකර ඇති සමාන අදහසය. ඉස්ලාම් හෝ හින්දු ගැන ද වෙන වෙනම කීමට ඇත්තේ ද එයමය.
මේ කියන්නේ, ඒ අයගේ වරදක් යැයි මොහොතකටවත් සිතිය යුතු නැත. මේ මානව සමාජයේ මතවාද, දාර්ශනික කියැවීම් ස්පර්ශ කරන්නා වූ ස්වභාවික ආකාරයයි. එහෙත්, දියුණු මානවයකු ලෙස විවිධ මානව දාර්ශනික යථාර්ථ ස්පර්ශ කරමින් ලැබිය හැකි නිරාමිස සුව විනිවිද දැකීමට නම්, ආගමික වහන්තරා ගලවා කිසිවක් ඇඟේ ගා නොගෙන පිහිනා බැලීමේ හැකියාවකින් සන්නද්ධ විය යුතුය.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු ලොව දෙපැත්තක පහළ වුණා වූ ද, මානවයා දුකින් ගලවා ගැනීම පිණිස දෙවිදියක දාර්ශනික ප්රවේශයකින් සටන් කළ සුන්දර දෙනමකි. ඒ දෙන්නාගෙන් වඩා හොඳ කවුද? වඩා සාර්ථක කවුද යන්නට වඩා ඒ උත්සාහ දෙකේම වූ සාධනීය කාරණා ආඝ්‍රාණය කර බැලීම මෙම ලිපියේ අරමුණ වේ.
භාරතය මූලික ආසියාවේ බොහෝ මානව නිෂ්ඨාවන් සිදු කරන්නේ එක්කෝ රජකු විසින්ය. නැතිනම් රජ කුමාරයකු විසින්ය. එසේත් නැතිනම් රජකමට උරුමකම් කියන රාජකීය පවුලක කෙනෙක්ය. එකල් හී බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකු රජකම් කරණ සමයෙහි යන්න ඓතිහාසිකවම අපේ රුධිරයට කවා ඇති දෝයි සිතේ. ලොව යමක් නිවැරදි කරන්නේ ද රජෙකි. නැතිනම් වනසන්නේ ද රජෙකි. ධනය බලය කුලයට ඔබ්බෙන් වූ සෙස්සන් කුලවතාගේ, බලවතාගේ, ධනවතාගේ බලය, පෞරුෂය, අඪ්යත්වය සහ ශරීර ශක්තිය, සංවිධාන ශක්තිය, සිය රජකුමරියට කරන ආදරය ආදිය ගැන මනස්සෘටික සොම්නසකින් මුසපත්ව ඔවුනගේ ආදර්ශ සංකල්ප දාර්ශනික සිද්ධාන්ත කර තියාගෙන යති.
ඊට හේතුවක් ද තිබේ. එනම් දුබලයකුට, සමාජ පවුරු පදනම් බිඳ දමමින් ඉහළම ධූරාවලියේ බලවතාට කුලවතාට අභියෝග කරමින් සියල්ල වෙනස් කිරීමේ හැකියාව අතිශයින්ම විරල වීමය. ඒ නිසා ආසියාවේ මෙන්ම බටහිර ද බොහෝ මානව ආකල්ප ඔස්සේ ජනසමාජය වෙනස් කිරීමේ වැඩි විභවය හිමිවන්නේ ධනපති පාර්ශ්වය හෙවත් බලය, නිලය කුලය තිබෙන වංශවතුන්ටය.
සිද්ධාර්ථ ගෞතමයාණන් ද සංසාරේ හැම විටම පාහේ වංශවතෙකි. රජෙකි, සක්විති රජෙකි. දෙවියකු වී නම් දෙදෙව් ලොවට අධිපති ශක්‍ර තනතුරද තිබේ. කිසියම් අත්වරදකින් ගැරඬියකු, මාපිලකු, කක්කුට්ටකු ලෙස හෝ ඉපදී වූවේ වී නම් ඔවුන් අතර රාජ්‍යත්වයේ උසස් ප්‍රභූ අයෙකි.
සිද්ධාර්ථයන් රජ පුතකු ලෙස ධුරාවලියේ ඉහළ සිට පහළට බැස දුගියන් අතරට විත් සමාජ සටන කරයි. උසස් කුල ගෝත්‍රය නිසාම දුගියෝ ද ඔහුව ඉක්මණින් වැළඳ ගනිති. රජවරු ද ඔහුට සමීපවන්නේ ‘රජ කෑල්ලක්‘ ජීවදත්තයේ ඇති නිසා යැයි ද සිතිය හැකිය. එක්තරා විධියකට බැලුවහොත් ධුරාවලියේ ඉහළ සිට පහළට බැස සටන ඇරඹීම, ධුරාවලියේ පහළ සිට සටන අරඹනවාට වඩා යම් පහසුවක් වී තිබේ. එහෙත්, එමඟින් සිය දාර්ශනික අදහස ගොඬනංවමින් ජීවිත අභ්‍යාසයෙන් එය ප්රායෝගිකවම අත්හදා බලමින් සිදු කළ උත්සාහය සුවපහසු හෝ සුළුපටු නැත. ජේසු තුමා ඉන්ඩ හිටින්ඩවත් තැනක්වත් නොමැති, කුල ගෝත්‍රයෙන් ද නොඋසස්, බලවත් නොවූ සමාජ පසුබිමක සිට පැමිණ කළ සටන අතිශයින්ම දුෂ්කර වූවාට නිසැකය. අවසානයේ කුලවත් බලවත් වංශවතුන්ගේ මර්දනය හරහා ජීවිතය පවා විනාශ වූ බව පෙනෙයි. මරණය පෙනි පෙනී සිය අභිමථාර්ථය, දාර්ශනික අදහස අත්නොහැර සිදුකරන ලද උත්සාහය සුළුපටු ද නැත.
බටහිර ජනසමාජවල වංශවත්බව, ධුරාවලියේ පහළ සිට ඉහළට එන්නට හදන උදවියව නතර කරන්නට අවියක් වුව ද, ජේසුතුමා විසින් සියලු දෙනාම සමාන අයිතිවාසිකම් සමාන මොළයක් සහිත මනුෂ්‍යයන් වන බව සපථ කිරීම ඓතිහාසිකව සමාජ පෙරැළියක් වී තිබේ. එය මනුෂ්‍යත්වය සන්නද්ධ කර කරන ලද ආලෝකයකි.
ගෞතමයන් වහන්සේද ඉහළ සිට පහළට විත් එය කියාදී තිබේ. එහෙත් බොහෝ ආසියාතිකයෝ එය පිළිගනිතත්, එය පිළිගන්නේ ද සිදුහත් ගෞතමයන් වහන්සේ වංශවතකුව සිට පහළට විත් එය කියූ නිසාදැයි ද සිතා බැලිය යුතුය.
ලෝකයේ උත්තරාර්ධ ගෝලය සහ දක්ෂිණාර්ධ ගෝලය අතර ඇලයට පිහිටි අක්ෂය ඔස්සේ උතුරු සහ දකුණු ලෙස පිහිටා ඇති චුම්භක හෙවත් කාන්දම් ආචරණයක් තිබේ. එම චුම්භක ක්ෂේත්‍ර එකිනෙකා හා යාකරමින් පවතියි. එය භෞතිකමය තත්ත්වයකි.
දාර්ශනික අරුතින් සැලකූ විට බටහිර ජේසුස් ක්රිස්තූන්ගේ එක් ජීවන අන්තයක සිට මානවයා ගලවා ගැනීමේ විප්ලවය ද, ආසියාකරයේ සිට තවත් අන්තයක සිට මානවයා ගලවා ගැනීමේ සිදුහත් ගෞතමයන් වහන්සේගේ විප්ලවය ද දාර්ශනික ආචරණයක් සහිත චුම්භක ක්ෂේත්රයක් යැයි ද නිකමට සිතේ.
සමනොළ විජයරත්න – බ්‍රිස්බේන් සිට