උඩරට කඳුකරයේ සිරි නරඹන්නට බොහෝ දෙනා ඇලුම් කරති. රාත්‍රිය ගත කරන්නට (Camping) සුදුසු ස්ථාන මෙන්ම නැරඹුම් ස්ථාන රාශියක් මේ වන විට කඳුකරය මුල් කරගෙන බිහිව තිබේ. අතීතයේ බිම දිගා වී නැරඹූ බව කියන මහා ප්‍රපාතයක් ලෙස සැලකුණු ලෝකාන්තය වෙනුවට මේ වන විට පුංචි ලෝකාන්ත රැසක්ම ජනප්‍රියව ඇත.
අප මේ කියන්නට යන්නේ උඩරට සිරිය ගැන නොව ඒ සොබාසිරිය හා සබැඳිව ජීවත් වුවද කිසිවකුගේ පිළිසරණක් නොමැතිව දිවි ගෙවන පිරිසක් ගැනය.
උඩරට හුදෙකලා තත්ත්වයේ පවතින බොහෝ ගම්මානවල තත්ත්වය එසේය. බොහෝ දෙනාට කිසිවකුගෙන් පිළිසරණක් නැත. වගකිව යුතු බලධාරින්ගේ දෑස් ද ඔවුහු වෙත නොගැටෙන නිසා රාජ්‍ය මට්ටමින් ලබා දෙන සහන මෙන්ම සමාජ ප්‍රතිලාභ ද මේ බොහෝ අයට අහිමිය. ගමන් කිරීමට පවා අසීරු එවැනි ගමක් සොයා අපි පිය නැඟුවෙමු. මේ ගම කනවැරැල්ලය. පස්සර හා නමුණුකුළ අතර පිහිටි මේ ගම්මානයට යෑම අතිදුෂ්කරය. බස් රථයකින් යා හැකි දුර සීමිතය. බදුල්ල සිට පස්සර මාර්ගයේ බස් රථයෙන් ගමන් කර ගමන් කර 10 කණුවෙන් බැස එතැනින් (බල්ලකෙටුව බණ්ඩාරවෙල මාර්ගයේ) දකුණට ගමන් කර (පස්සර – බණ්ඩාරවෙල බස් රථයකින්) පොරපෙ හන්දියෙන් බැස එතැන් සිට කිලෝමීටර් 2කටත් අධික දුරක් පා ගමනින් යා යුතුය. කෙටි දුරක් කඳු තරණයේ යෙදී එතැන් සිට පා ගමනින් යා යුත්තේ මහගිරිදඔ නඟින්නාක් මෙන් වූ පඩි පේළියක් ඔස්සේය. දුර කිලෝමීටර් 2ක් පමණක් වුවත් ඒ ගමන අතිදුෂ්කර වන්නේ පඩි පේළි නැඟ ඉහළට ගමන් කිරීමේ දුෂ්කර ගමන නිසාවෙනි.
පඩි 747ක් පමණ වූ ඒ ගමන නුහුරු අපට නම් ඉහළට ගමන් කළහොත් යළිත් පහළට බසින්නට පෙර පැය ගණනාවක්වත් විවේක ගත යුතුය. එහෙත් දිනපතාම මේ පඩි තරණය කරමින් ගමන් ගන්නා වයෝවෘද්ධ පුද්ගලයන්, පාසල් සිසුන් හා වැඩිහිටියෝද වෙති. එමෙන්ම රෝගීන් කැටුව රෝහල් කරා යන්නෝද වෙති.
මේ ගමන සඳහා පැය තුනක පමණ කාලයක් ආගන්තුකයකුට නම් වැය වේ. ඒ අතරමඟ හති අරින්නට වන නිසාය. එහෙත් ගමේ පුරුදුකරුවන් නම් එක හුස්මට මේ පඩි පේළිය තරණය කරති. එසේ වුවද වැඩිහිටියන්ට සහ රෝගීන්ට නම් මේ ගමන මහත් දුෂ්කර වන්නේය. ඔවුන්ට ද ඇතැම් විට මහාමාර්ගයේ සිට ගම්මානයට යන්නට පැය 3ක් පමණ ගතවනු ඇත.
කනවරැල්ල යනු ගම්මාන කිහිපයකින් සමන්විත ප්‍රදේශයකි. ඉහළින්ම ඇති ගම්මානයේ පවුල් 230ක් පමණ දිවි ගෙවති. කුඩා පාසලක් තිබුණද අධ්‍යාපනික කටයුතු නිසියාකාරව කරගන්නට එම පාසල ප්‍රමාණවත් නොවේ. එම නිසා පහළින් පිහිටි ‘13 කණුව ඉස්කෝලය‘ නමින් හැඳින්වෙන පාසල වෙත යාමට ඉගෙනුමෙන් ඉහළට යාමට අපේක්ෂා කරන දූ දරුවෝ කටයුතු කරති.
සුන්දරත්වය පිටුපස ඇති ශෝකාන්තය
කනවරැල්ල ගම්මානය අවට පරිසරය සුන්දරය. ගම්මානයට යාමට ඇති දුෂ්කර ගමන් මාර්ගය හැරුණුවිට එම ගමන යාමේදී දැනෙන සිසිලස විඩාව දුරලනු ඇත. නාගරික ගිනි රශ්මිය කනුවැරැල්ලේ දක්නට නැත. එසේම අවටින් දක්නට ලැබෙන බඹරගල කඳුවැටිය හා තාච්චි මගේ කඳු පන්තිය එකට යාවී ඇත්තා සේ පෙනේ. බඹරගල පුංචි ලෝකාන්තයද මේ ගම්මානයට පැහැදිලිවම පෙනේ. තවත් පසෙකින් නමුණුකුල කඳු පන්තියද දර්ශනය වේ. නිතරම සිසිලසින් ඇති සුවදායි කාලගුණයක් සහිත නිසා ආගන්තුකයකුට වුවද කඩිනමික් ආපසු එන්නට සිතක් නොදෙනු ඇත. එහෙත් අපට මතුපිටින් පෙනෙනා ඒ සුන්දර ලෝකය මේ ගම්වාසීන්ගේ ජීවිත තුළ තිබේද? අපි ඒ ගැන සොයන්නට ගම්වාසීන්ගේ ජීවන රටාවට එබී බැලුවෙමු.
අප පෙර සඳහන් කළ පොරපෙ සිට කනවරැල්ල දක්වා යන ගමන් මාර්ගය තැන් තැන්වලින් කැඩී ඇත. පාරේ හැම තැනින්ම මතුවන්නේ කූඩැල්ලන්ය. කිලෝමීටරකට ආසන්න දුරක් ගමන් කරද්දී හමුවෙන්නේ ඇළ මාර්ගයක් සහිත දිය ඇල්ලකි. එය තරණය කරමින් ගම්මානයට යා යුතුය. දිය ඇල්ල සහිත ඇළ පාර තරණය කරන්නට වන්නේ ගලින් ගලට පනිමිනි. ජල පහර වේගයෙන් පතිත වුවහොත් මේ ගමන මාරාන්තික ගමනක් වන්නටද ඉඩ ඇත. එමෙන්ම මේ දිය ඇල්ලට වම් පසින් දැවැන්ත වෘක්ෂවලින් දිස්වන්නේ බඹරුන් සහිත කූඩු රැසකි. ඒවා ඇවිස්සුණොත් තවත් විනාශයකි.
දිය ඇල්ල අසීරුවෙන් තරණය කර ගම්මානය කරා යන අපට දකින්නට ලැබුණේ තම පුතා කර තබාගෙන පඩි පේළිය ඔස්සේ පල්ලම් බසින පියෙකි. ඔහුගේ ආරක්ෂකයා වන ‘චූටි‘ ද ඒ සමඟින් පල්ලම් බසිනු අපගේ නෙත ගැටිණි.
“අපේ නෑයෙකුට අසනීපයි. ඒ එන ගමන් පුතාගෙ කකුලෙ අමාරුවක් වුණා. මේ ගමන් ඉතින් අපට සාමාන්‍යයයි.” ඒ, එම්. රමේෂ්ය. 6 වසරේ ඉගෙනුම ලබන සිය පුතු එම්. දවිසෙන් ද කරේ තබාගෙන ඔහු පල්ලම් බසියි.
“අපි උපන්දා ඉඳලා මේ ගමේ ඉන්නෙ. ග්‍රාමසේවක මහත්තයවත් අප ගැන සොයන්නෙ බලන්නෙ නැහැ. මේ කන්දේ පිහිටෙන් අපට වතුර ටික නම් තියෙනවා. නැත්නම් ඒකත් නැහැ. කනවරැල්ලෙ ගම් 7ක් තියෙනවා. අපි ඉන්නෙ එයින් ප්‍රධානම ගමේ. මේ ගමේ ඉන්න අයට කිසිම රැකියාවක් නැහැ. තමන්ගෙ දෑතෙන් කරන රස්සාවක් විතරයි. මට කිරි හරක් කීප දෙනෙක් ඉන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නෙ. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේ පඩි පේළි බැහැගෙන එන්න ගිහින් වැටිල කී දෙනෙක් ඔත්පල වෙලා තියෙනවද? ඒත් ඒ ගැන සොයන්න බලන්න කිසි කෙනෙක් නැහැ. අපේ මේ දුක කාට කියන්නද?
වේගයෙන් පඩි පේළි බැහැගෙන එන කනවැරැල්ලේ වැඩිහිටියකු අපට හමු විය. ඔහු ගෝවින්දන්ය. වයස අවුරුදු 72කි.
“විනාඩි 45ක් විතර ගියා කන්ද බැහැල එන්න. මේ පඩිපෙළ නඟින බහින එක අපට අලුත් දෙයක් නෙමෙයි. ඒක අපේ ජීවිතේ කොටසක් වෙලා. මහත්තයලට නම් පඩි 50ක් 60ක් නඟිනකොට හති ඇති. “එසේ කී ඔහු සිනාමුසු මුහුණින් අප දෙස බැලුවේය.
මඩොල්සිම ප්ලාන්ටේෂන් එකේ සුපර්වයිසර් කෙනෙක් විදිහට තමයි මම වැඩ කළේ. දැන් නම් ඉතින් පැන්ෂන්. නගරෙ තියෙන ගොඩක් උපකරණ අපේ ගම්මානවල නැහැ. තවමත් දත් මදින්න අඟුරු කෑලි පාවිච්චි කරන අය ඉන්නවා. හැබැයි ගමේ සමගියට බාධා වෙනව නම් වෙන්නෙ ඔය අතේ ගෙනියන ටෙලිපෝන් එක නිසා තමයි.”
ඔහුගේ කතාව සැබෑවකි. බහුතරයක් පිරිස් ඉවුම්පිහුම් කටයුතු සිදු කරන්නේ දර ආධාරයෙනි. බොහෝ දෙනෙකු කුප්පි ලාම්පු එළියෙන් තවමත් අඳුර දුරු කරගන්නා බව පෙනේ. තේ වතු ආශ්‍රිතව විදුලිය ලැබී ඇතත් ඔරලෝසු, රූපවාහිනිය බොහෝ දෙනාට ආගන්තුක භාණ්ඩය. එසේ වුවත් තරුණ පරපුර අතර මේ වන විට ජංගම දුරකතනය හුවමාරු වන නිසා සමාජයේ තවත් කොටසක් බවට මේ ගම්මානවල තරුණ පිරිස පත්ව ඇත.
කිරි හරක් ඇති කිරීම පමණක් ජීවිකාව කරගත්තෝද මෙහි වෙති. මයිකල් එවන් එක් අයෙකි. සිය ගවයන්ට තණකොළ කැපීමට පැමිණි අවස්ථාවේදී ඔහු අපට හමු විය. 1983 වසරේ සිට මේ ජීවිකාව කරන බව පැවසූ ඔහු මීදුම අධික කාලයට මෙන්ම අධික වර්ෂා කාලයටත් ගවයන් නඩත්තු කිරීම දැඩි අපහසු කාර්යයක් බව කීවේය. එවිට ගවයන් එළියට ගෙන යාම අසීරු බවත් ඇතැම් විට දිය ඇල්ල සහිත ඇළ මාර්ගය තරණය කිරීම ගවයන්ට අසීරු බවත් ඔහු පෙන්වා දුන්නේය. පී. සුභාෂිණී මෙහිදී අපට හමු වූ ගෘහිණියකි. සිය දරුවන්ගේ වැඩ කරමින් නිවසේ සිටින ඇයද ගම්වාසී සරල දිවියට හුරු වූ තැනැත්තියකි. කකුලේ එල්ලුණු කූඩැල්ලන් ඉවත් කරමින් ඇය පැවසුවේ කූඩැල්ලන් ගැලවීම දිනපතා ජීවිතයේ සාමාන්‍ය කොටසක් බවයි.
“කකුල් දෙකේම දණහිසෙන් පහළ කූඩැල්ලො කාපු තුවාල තියෙන්නෙ. අපට කිසිම ස්වයං රැකියාවක්වත් කර ගන්න පහසුකමක් නැහැ. හුඟක් අය තේ වත්තෙයි තේ ෆැක්ටරියෙයි වැඩට යනවා. සිංහල , දෙමළ සියලු දෙනාම ගෙවන්නෙ එකම ආකාරයේ ජීවිතයක්. එයාල දෙමළ කතා කරනවා, අපි සිංහල කතා කරනවා. කොයි ආගමත් අපට එකයි. අඩු ගානේ දරුවන්ට හරියට ඉගෙන ගන්න පාසලක් තියෙනව නම් ඒකත් ලොකු දෙයක්. අපට නැති ලෝකය දරුවන්ටවත් ලැබෙන්න ඕන”
සංචාරක ආකර්ෂණය
කනවරැල්ල යනු තවමත් සංචාරකයන්ගේ නෙතට යොමු නොවූ අලංකාර ප්‍රදේශයකි.
කනවරැල්ල ඉහළටම ගිය විට ස්ප්‍රිංවැලි දක්වා දිවයන මාර්ගයක් දැන් ඉදිකර ඇත. ඒ හරහා ත්‍රි රෝද රථයකින් ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි වුවද වෙනත් වාහන ගමනාගමනයක් නැත. ත්‍රිරෝද රථයක් ඇත්තේද එහෙමත් අයෙකුටය. එදිනෙදා දිවි සරිකර ගන්නට ජීවිතය සමඟ පොරබදන අය මෙන්ම වතුයායේ රැකියා කර එදිනෙදා ජීවත්වන මේ ජනතාවට නව මාවත් හරහා වාහනවල යාමට හැකියාවක් නොමැත.
එම නිසා ලෙඩකට බෙහෙතක් ගන්න පවා ඔවුහු මැළි වෙති. බෙහෙතක් ගන්නට ගොස් ඇති වන්නේ තියෙන ලෙඩේට වඩා ලෙඩ ඇති වීමක් යැයි ඔවුහු සිතති.
උඩරට කඳුකරයේ සිරි නැරඹීම සංචාරක ආකර්ෂණය ඇති කිරීම සිදු වන්නාක් මෙන්ම එහි ජනතාවගේ දිවි පෙවෙත ගැන අවධානය යොමු කළ යුතුය. නමුත් එසේ නොකිරීම නිසා සිදු වන්නේ මේ ජනතාව තම සිතැඟි පරිදි කටයුතු කිරීමය. මේ පවුල්වල එකා දෙන්නා වැඩි වෙද්දී ඔවුන් තම අලුත් පවුල් වෙනුවෙන් නව කඳුකර බිම් එළි පෙහෙළි කරනු ලැබේ. එම එළි පෙහෙළි කිරීම රක්ෂිතයක් ද නැත්නම් ඒ හරහා නාය යාමක් ඇති වන්නේ ද යන්න ගැන ඔවුන්ට අවබෝධයක් නැත. ඒ බව ඔවුන් දැන ගන්නේ මහා විපතක් වූ විටය. මේ කාර්යය දශක ගණනාවක් තිස්සේම සිදු වන්නකි.
විපතක් වූ සැණින් රාජ්‍ය නිලධාරීන් ගොස් රක්ෂිතයේ පදිංචිව සිටීම හෝ කඳු නාය යාමට හේතුව අනවසර ඉදිකිරීම් බව දන්වා අත පිසදා ගනිති.
එහෙයින් අප කළ යුතු වන්නේ අවදානමට පෙර සූදානම ය. කනවරැල්ල මේ සිදුවීමට මුහුණ පාන එක් ගම්මානයක් පමණි. එවන් ගම්බිම් රැසක් දිවයිනේ ඇත. ඒ බොහෝ ගම්මානවල තත්ත්වයද මේ හා සමානය.
කනවරැල්ලේ විශේෂත්වය වන්නේ පඩිපෙළ් රැසක් නැඟ යන්නට සිදුවීමය.
මනරම් දිය ඇලි ගැන අප අවධානය යොමු කරන්නේ රටේ අලංකාරය ශ්‍රී විභූතිය රැක ගැන්මටය. එහෙත් ඒ සියල්ලටම පෙර අපේ රටේ ජනතාව නඟා සිටුවීම ඇවැසි වන්නේය. එහි ප්‍රධාන වගකීම ඇත්තේ රාජ්‍ය නිලධාරීන් අතේය.
උදෑසන සිට හවස් වනතුරු කීයක් හෝ යහමින් සොයා ගැනීමට ඔවුන් දරන උත්සාහය අවසානය දිනය නිමා කරන්නේ සිහිල් දිය පිරි ඇල්ලකින් හෝ වතුර පිහිල්ලකින් හෝ දිය නා ගැනීමෙනි. ගෙදර ඇති දෙයක් හෝ කා බී වටෙන් ගොඩෙන් අඳුර වැටෙද්දී නින්දට යාම ඔවුන්ගේ සාමාන්‍ය දින චර්යාවයි. නවීන පන්නයේ රෙදිපිළි, නවීන විලාසිතා, පාවහන්, අන්තර්ජාල, ෆේස්බුක් වැනි බොහෝ දේ කනවරැල්ලේ පැරැණි පරපුරටට නම් කිසිසේත්ම අදාළ නොවේ.
අධික මහ වැසි සමයේදී දිය ඇලි හා ඇළ දොළ පාර නිසා මේ ගමේ මිනිසුන්ට තම ගමටම කොටු වී සිටින්නට සිදුවූ අවස්ථා ද ඇත. ඔවුහු ඒ ගැන දුක් නොවෙති. ඔවුන්ගේ එකම අදිටන ජීවත්ව සිටිනා කාලය කිසිවකුටවත් අත නොපා ජීවත් වීමය.
ඡායාරූප- විමල් කරුණාතිලක
තාරක වික්‍රමසේකර