Home » සහල් අර්බුදය විසඳෙයිද?

සහල් අර්බුදය විසඳෙයිද?

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

පේ රටේ ජනතාවගේ බත්පතට වසරකට වරක් වැලි දමන්නට සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බව නොහරසකි. ගැටලුව මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන්නට පැවති කිසිදු රජයකට මේ දක්වා නොහැකි වීමයි.

එයට ප්‍රධාන හේතුව මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කෘත්‍රිම ලෙස මිල ඉහළ දැමීම බව බොහෝ විචාරකයන්ගේ මතය වී තිබේ.

මේ තත්ත්වය නිසාම සහල් මිල ඉහළ යත්ම සති කිහිපයකට පෙර ජනාධිපති කාර්යාලයේදී මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් ලෙස සැලකෙන ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුණතිලක, මේනක ගම්ලත් යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් රැස්වී සාකච්ඡා කළහ.

එහිදී පාලන මිලට අනිවාර්යෙන්ම සහල් සැපයිය යුතු බව දන්වා තිබුණි.

ඊට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වුවද වෙළෙඳ පොළට සහල් නිකුත් කිරීමේදී ඒ තත්ත්වය වෙනස්ව ගොසිනි.

සිල්ලර වෙළෙඳුන්ට සහල් ලැබෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් හා අතරමැදි වෙළෙඳුන් හරහාය. ඇතැම් විට රජරටින් ගෙන්වන සහල් තවත් අයෙක් හරහා ලැබෙන්නටද ඉඩ ඇත.

මේ තත්ත්වය මත අතරමැදියන් අතරින් සහල් වෙළෙඳාමේ මිල ඉහළ දැමීමක්ද විය හැකිය.

යදා දක්නට තිබූ අතර අවශ්‍ය තරමට

නාඩු සහල් හා කැකුළු සහල්වල විශාල හිඟයක් පසුගියදා දක්නට තිබූ අතර, සම්බා සහල් හා කීරි සම්බා සහල් වෙළෙඳපොළේ අවශ්‍ය තරමට තිබුණි. ඊට ප්‍රධාන හේතුව ලෙස මහා පරිමාණ වී මෝල් හිමියන් දන්වා තිබුණේ පසුගිය වසරේ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 400 ක්ද ඉක්මවා ඉහළ යාම හේතුවෙන් පසුගිය යල කන්නයේදී ගොවීන් වැඩි වශයෙන් කීරි සම්බා වී වගා කළ බවයි. නාඩු වී අඩුවෙන් වගා කිරීම නිසා රට තුළ නාඩු සහල් හිඟයක් පවතින බවත් සහල් තොග ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන ලදි.

මේ කතාබහ කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය විසින් කාලාන්තරයක් තිස්සේ සහල් ඒකාධිකාරයට ඉඩ සලසා මුනිවත රැකීම නිසා සහල් අතිරික්ත මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව මිස වී අලෙවි මණ්ඩලය සතු නොවීය. මේ කතන්දරය එදා සිට අද දක්වාම පිළිතුරක් නොමැතිව තවමත් ඇදී යන්නකි.

බොහෝ අතරමැදි වෙළෙන්දන් සහල් මිලට ගන්නේ මේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ නියෝජිතයන් හරහාය. වෙනත් අයට මේ ව්‍යාපාරයට ඇඟිලි ගහන්නට නොහැකිය. මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර ඇත්තේ එකම ස්ථාවර මිලකි.

වර්තමානයේ පවතින සහල් පාලන මිලට ලබාගෙන විකිණීමෙන් සිල්ලර වෙළෙඳුන්ට සිදුවන ලාභයක් නැත. සේවක වියදම්, ප්‍රවාහන වියදම්, ගොඩනැඟිලි වියදම් ආදිය ද මෙයට එකතු වූ විට ඔවුන්ට අතින් පාඩුය. එම නිසා පාලන මිල දැමූ විට සිල්ලර වෙළෙන්දෝ සහල් ව්‍යාපාර අතහැර දමති. මේ තත්ත්වය එදා සිටම පාලන මිල හා පවත්නා සිදුවීම් දාමයයි.

එහෙත් මෙවර ඊට වඩා වෙනත් ක්‍රමවේදයක් සකස් කරන්නට ජනාධිපතිවරයා විසින් දැනුම් දෙන ලදි.

ඒ අනුව සහල් නිෂ්පාදකයන් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත, පාරිභෝගික සේවා අධිකාරිය විසින් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරික්ෂාවක් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ කරන ලදි.

කෙසේ වෙතත් පවත්නා තත්ත්වයට කඩිනම් විසඳුමක් ලෙස හාල් ආනයනය කරන්නට රජය තීරණය කරන ලදි.

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදී ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් පවසන ලදි.

ආනයනික බදු සංශෝධනය

ඒ අනුව සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් විශේෂ ගැසට් නිවේදනයක් ද රජය විසින් නිකුත් කරනු ලැබීය.

සතොස සහ ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා මෙරටට නාඩු සහල් මෙසේ ආනයනය කිරීමට රජය එසේ තීරණය කරන ලදි. පාරිභෝගික අධිකාරිය විසින් සාමාන්‍ය සිල්ලර වෙළෙඳසල් වටලා දඩ ගැසූවද මහා පරිමාණ මෝල් හිමියන්ට දඩ ගැසීමේ ක්‍රමවේදයක් ඔවුන්ට නැත.

එසේ වුවත් ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225ක් හා සිල්ලර මිල රුපියල් 230ක් ලෙස නියම කරන ලදි. එසේම සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215ක් ලෙසින් හා සිල්ලර මිල රුපියල් 220ක් ලෙස නියම කරන ලදි.

එලෙසින්ම ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220ක්ද සම්බා කිලෝවක තොග මිල රුපියල් 235ක් ලෙසින් හා සිල්ලර මිල රුපියල් 240ක් ලෙසින් නියම කරන ලදි. කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 ක් ලෙසින් හා සිල්ලර මිල රුපියල් 260ක් ලෙසින් නියම කෙරිණි.

එහෙත් මේ තත්ත්වය අනුව මහා පරිමාණ මෝල්වලින් පසුගිය දෙසැම්බර් 09 වන දින වන විට සහල් නිකුත් කරන බවක් නොපෙනුණි. මේ තත්ත්වයට විසඳුමක් ලෙස රජය විසින් නිලධාරීන් දෙදෙනකු බැගින් මෝල්වලට යොදවන්නට තීරණය කරන ලදි.

සහල් ප්‍රශ්නය මේ ලෙසින් ඔඩු දුවන්නේ ඇයි? අපිද සැමදාම මාධ්‍ය මඟින් මේ ගැන කතා කරමු. එහෙත් ඊට තාවකාලික පැලැස්තර මිස ස්ථාවර විසඳුම් නොලැබුණි. ඒ අතුරින් සහල් පිළිබඳ සැබෑ දත්ත ලබා ගැනීමට ජනාධිපතිවරයා නියම කිරීම නම් අගය කළ යුතුය. අස්වැන්නෙන් ලබාගත් වී හෝ නිෂ්පාදිත හාල්වලට වූයේ කුමක්ද යන්න ගැන සොයා බැලිය යුතුය.

විශේෂයෙන්ම මෙරට සාම්ප්‍රදායික වී වර්ග වගා කිරීම සිදුවන්නේ ඉතා සොච්චම් ප්‍රමාණයකි. එය ප්‍රතිශතාත්මකව ගත් කල 0.5%ටත් අඩුවෙනි. සුවඳැල්, කළු හීනැටි, සුදු හීනැටි, පොක්කාලි, පච්චපෙරුමාල්, මඩතවාලු, සුඳුරු සම්බා, හේරත් බණ්ඩා, බෙහෙත් හීනැටි, කුරුළු තුඩ සහ සත්දැල් වැනි ප්‍රභේද ඊට අයත්ය.

සාමාන්‍ය වැඩිදියුණු කරන ලද වී ප්‍රභේද වුවද වගා කරන්නේ 0.8%කටත් අඩු ප්‍රමාණයකි. ගොවියන් 98%කටත් වැඩි පිරිසක් වගා කරන්නේ බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් වැඩිදියුණු කරන ලද වී ප්‍රභේදයන්ය.

ඒ හරහා මෙරට වැඩිම වී අස්වැන්නක් ලැබෙන දිස්ත්‍රික්ක වන්නේ අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කයන්ය. එමෙන්ම මහවැලි උඩවලව කලාපයෙන් සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන්ද සැලකිය යුතු අස්වැන්නක් ලැබේ.

සහල් මිල පාලනය හා සඟවා ඇති සහල් එළියට ගැනීමට රජය විසින් විවිධාකාර පියවර ගැනීම අගය කළ යුතු අතර, මීට පෙර මෙවන් අකටයුතුකම් වැළැක්වීමට පසුගිය යහපාලන රජය සමයේ ගත් පියවරක්ද සිහිගැන්විය යුතුය. ඒ එම ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට නොව එවන් කුමන හෝ ක්‍රමවේදයක් බලගැන්විය යුතු නිසාය.

‘ශක්ති‘ සහල් නමින් එම විශේෂ ව්‍යාපෘතිය නම් කරන ලදි. ඒ මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් පවත්වාගෙන යන සහල් වෙළඳපොළේ ඒකාධිකාරයට එරෙහිවය.

එහිදී වැසීයාමේ තර්ජනයට මුහුණ දී තිබූ කුඩා පරිමාණ මෝල් 200කට අධික සංඛ්‍යාවක් එහිදී යළි ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන පොලොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට, මහනුවර, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක 08 ක ක්‍රියාත්මක කළ අතර මේ සඳහා රජය අයවැය මඟින් රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන්කර තිබුණි. එය ඉතා සාර්ථක ව්‍යාපෘතියක් වූ හෙයින් මහා පරිමාණ මෝල් හිමියන්ට ඒකාධිකාරය පවත්වා ගැනීමට නොහැකි විය.

පාරිභෝගික අධිකාරියෙන් පසුගියදා මහා පරිමාණ වී මෝල් හිමියන් සතු සහල් සංචිත මෙන්ම වැඩි මිලට සහල් අලෙවි කරනු ලබන වෙළෙඳුන් සොයා දිගින් දිගටම වැටලීම් සිදු කරනු පෙනේ. කෙසේ වෙතත් මේ ගැටලුවට ස්ථාවර විසඳුමක් ලබා දිය හැක්කේ වී අලෙවි මණ්ඩලය විසින් වී හා සහල් ගබඩා යළි ස්ථාපිත කළහොත් පමණි.

සුදු කැකුළු මෙට්‍රික් ටොන් 100ක් මෙරටට

පසුගියදා ඇඹිලිපිටිය බරවකුඹුක ප්‍රදේශයේ තොග වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරික මහතකු මාධ්‍යයට කරුණු අනාවරණය කරමින් පවසා තිබුණේ තමන් රතු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 207 ගණනේ ලබා දුන් බවකි. එහෙත් වෙළෙඳ පොළේ ඒවා රුපියල් 240ක්ද ඉක්මාව අලෙවි කරනු ලබන බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව අතරමැදියන් මෙන්ම ඇතැම් සිල්ලර වෙළෙන්දන්ද මෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා බව අපට පෙනේ.

මරදගහමුල සහල් ව්‍යාපාරිකයන් විසින් පවසන්නේද මේ වෙනුවෙන් ස්ථාවර ක්‍රමවේදයක් අවශ්‍ය බවයි. සහල් ආනයනය කිසිසේත්ම විසඳුමක් නොවන බව ඔවුහු කියති. රජය පවසන්නේද සහල් ආනයනය මේ අර්බුදයට තාවකාලික පියවරක් බවයි.

ඒ අතර ආනයනකරුවකු විසින් ගෙන්වන ලද සුදු කැකුළු මෙට්‍රික් ටොන් 100ක් නෞකාවක් පසුගිය 11 වැනිදා කොළඹ වරායට පැමිණ තිබුණි.

එසේම ලංකා සතොසද නාඩු මෙට්‍රික් ටොන් 5200ක් ආනයනයට සැලසුම් කර ඇත.

රජයේ පාලන මිල වන්නේ කැකුළු රුපියල් 210ක් නාඩු රුපියල් 220ක් හා සම්බා රුපියල් 230ක් ලෙසයි. මේ පාලන මිලට සහල් ලබා දෙන්නට නම් මහා පරිමාණ මෝල් හිමියන් විසින් ඊට අදාළ ලෙසින් අඩු මිලකට සහල් තොග වෙළෙන්දන්ට ලබා දීමට කටයුතු කළ යුතුය. එසේ නොකරන්නේ නම් ඒ වෙනුවෙන් රජය මැදිහත්වී කටයුතු කළ යුතුය. පාරිභෝගික අධිකාරිය සහල් අලෙවිසල් වටලනවාට වඩා කළ යුත්තේ සිල්ලර වෙළෙන්දාට පාලන මිලට ලබා දිය හැකි පරිදි මහා පරිමාණ මෝල් හිමියන් සහල් ලබා දෙන්නේදැයි නිරතුරුවම සොයා බැලීමය. එයට නිසි විසඳුමක් ලැබෙන තුරු සහල් අර්බුදයට විසඳුමක් ලබා ගැනීම අසීරුය.

දිනපතාම පාරිභෝගික අධිකාරිය විසින් මේ වැටලීම් සිදු කරනු අපට පෙනේ. එය අගය කළ යුතු වුවත් වැටලීමෙන් පමණක් මේ ගැටලුව කිසිසේත්ම විසඳිය නොහැකිය.

සහල් තොග ගබ­ඩා­වක විම­ර්ශන සිදු කළ අව­ස්ථා­වක්

සහල් තොග ගබ­ඩා­වක විම­ර්ශන සිදු කළ අව­ස්ථා­වක්

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division