Home » අරාබිය හොල්ලන සෞදි රජ පවුලේ මෝස්තර රැජන

අරාබිය හොල්ලන සෞදි රජ පවුලේ මෝස්තර රැජන

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

මැදපෙරදිග කාන්තාව යනු බුර්කාවෙන් හෝ හිජාබයෙන් වැසුණු සිරුරැති දහසක් ඉස්ලාමීය නීතිවලට කොටුවූ පිරිසක් ලෙස කවුරුත් දැන සිටියත් මැදපෙරදිග රජ පවුලේ කුමාරිකාවන්ට නම් එවැනි නීති අදාළ නැති බව දන්නේ අතළොස්සක් පමණි.

ඩීනා අල්ජුහානි අබ්දුලාසිස් එවැනි කාන්තාවකි. සෞදි අරාබිය වැනි දැඩි ෂරියා නීතියට යටත් කළ රාජධානියේ කාන්තාවන්ට වසන්තය උදා වූයේ ඇය නිසා ය. බටහිර කාන්තාවන්ට තරම් නොවුණත් යම් ප්‍රමාණයක නිදහසක් සෞදි රජයෙන් ලබා දීමට මුල් වූයේ ඩීනා ය. ඇය රියාද් නුවර ආණ්ඩුකාරයා ලෙස කලක් රාජකාරි කළ සෞදි රජ පවුලේ සාමාජිකයකු වන අබ්දුලාසිස් බින් නසීර්ගේ බිරියයි. දැන් දැන් දිගු කළු කබායේ නිල ඇඳුම උනා දමා නව පන්නයේ විලාසිතා අනුගමනය කරන තත්ත්වයට සෞදි කාන්තාවන් පත් වූයේ වැලි කතරට බටහිර විලාසිතා ගෙන ආ මේ රජ කුමරිය නිසාය.

48 හැවිරිදි ඩීනා යනු කිසිදිනෙක බුර්කාව හෝ හිජාබය පැලඳි කුමාරිකාවක නොවූ අතර, දකින ඕනෑම කෙනකු ඇය බටහිර කාන්තාවක් ලෙස සිතන තරමට ඇගේ බාහිර ස්වරූපයත් වෙනස් ය. කොටට කැපු හිසකෙස්, කෙටි සායකින් නිරාවරණය වූ සිහින් දෙපා ඇගේ දඟකාර ගතිය තවත් ඔපමට්ටම් කර ඇත්තේ දරුවන් සිටින මවක් යැයි කිසිවකු විශ්වාස නොකරන තරමටය.

1975දී ඩීනා උපන්නේ කැලිෆෝනියාවේදීය. ඇගේ පියා සෞදි අරාබියේ හිටපු සන්නිවේදන ඇමැතිවරයෙකි. විශ්ව විද්‍යාලයීය කථිකාචාර්යවරයකු වූ ඇගේ පියා අමෙරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයකම සේවය කළ නිසා ළමා වියේ සිටම ඩීනාගේ ජීවිතයත් වරින් වර අමෙරිකාවේ සහ සෞදියේ දෝලනය විය. ඩීනාට සෞදි අරාබියේ කාන්තාවන්ගේ අවධානය සහ පිරිමින්ගේ ඇල්ම බැල්ම වැටෙන්නට වූයේ 1998 දී ඇය සෞදි රජ පවුලේ ලේළියක බවට පත්වීම නිසාය. හිජබාය හෝ බුර්කාව ඇයට අදාළ වූයේම නැත. ඇය හිජාබය ප්‍රතික්ෂේප කළ අතර, ඒවා නොපැලඳ පොදු ස්ථානවල කිසිදු බියකින් තොරව සැරි සැරූවාය. බටහිර තාලයේ විවිධාකාර මෝස්තර සෞදි අරාබියට හඳුන්වා දුන් ඩීනා එවකට බටහිර පන්නයට සැරසී රියාද් නුවර වීදි පුරා ඇවිද ගිය එකම සෞදි කත බවට පත්වූවාය. විලාසිතා ලෝකයේ හිතේ හැටියට සැරි සරන, සැලෝන් ගානේ රස්තියාදු වෙන සෞදි කතුන් දැන් නම් කෙළවරක් නැත.

සම්ප්‍රදායික මූලධර්මවලට එරෙහිවූ ඇය

ඇය සාම්ප්‍රදායික මූලධර්මවලට හා දැඩි නීතිරීතිවලට යට වූ සෞදි අරාබිය වැනි රටක පිරිමි ආධිපත්‍ය කුඩුපට්ටම් කළාය. මෝස්තර නිර්මාණ අනුගමනය කළා පමණක් නොව මෝස්තර නිර්මාණ ප්‍රදර්ශන පවා සෞදියේ පැවැත්වීමට පියවර ගත්තාය. ඇගේ ගතිපැවතුම්, හැසිරිම් සහ අනුගමනය කරන බටහිර මෝස්තර ගැන පමණක් නොව හිස නිරාවරණය කරගෙන ප්‍රසිද්ධ ස්ථානවල සැරිසැරීම ගැනත් රජ පවුලට අභියෝග කිරීමට සෞදියේ කිසිදු ආගමික සභාවක් සමත්වූයේ ද නැත. කොහොමටත් සෞදියේ කාන්තාවනට පනවන නීතිරීති එරට රජ පවුලේ කුමාරිකාවන් පිළිපදින්නේම නැත. ඒවා පිළිපදින්නේ එරට සාමාන්‍ය කතුන් සහ ගෘහ සේවිකා රැකියාවට විදෙස් රටවලින් එන කාන්තාවන් පමණි.

“ඇත්තම කියනවා නම් මුස්ලිම් ජාතික කාන්තාවනුත් අනෙක් ජාතික කාන්තාවනුත් අතර කිසිම වෙනසක් නෑ. නූතන මුස්ලිම් ගැහැනු අනිත් හැමෝම වගේ විලාසිතාවලට කැමතියි. සෞදියේ කියා වෙනසක් නෑ. කාන්තාව කාන්තාවමයි. හැම කාන්තාවක්ම ලස්සනයි. ඒත් ඒ ලස්සන පිටට පෙනෙන විදිහට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැ. විලාසිතා කරන්න අවස්ථාව නැතුව ළතවෙන කාන්තාවන් සෞදියේ ඇතිතරම් ඉන්නවා. පව්.. එගොල්ලන්ට තහංචි දැමීම මහ අපරාධයක්.”ඩීනාගේ ඒ ප්‍රකාශය එක අතකින් සෞදිය පාලනය කරන ඇගේම රජ පවුලට එල්ල කළ සරදමකි.

සෞදි අරාබියේ කාන්තාවන් ඩීනාට කියන්නේ මැදපෙරදිග විලාසිතා රැජන කියා ය. සෞදි අරාබියේ විසිඑක් වැනි සියවසේ කුමරිය ලෙසත් ඇය ඇතමුන්ගේ ගෞරවයට පාත්‍ර වී සිටින්නීය. කවුරු කෙසේ ආමන්ත්‍රණය කළත් ඩීනා යනු අරාබියම හොල්ලන මෝස්තර රැජනකි. ලිබරල්වාදී ඇගේ සිතුම් පැතුම් සෞදි අරාබිය පමණක් නොව සෙසු මැදපෙරදිග රටවල කාන්තාවන්ටත් කදිම ආදර්ශයකි. රියාද් නුවර සහ දෝහා කටාර් හි D’NA නමින් ඇගේම විලාසිතා ප්‍රදර්ශනාගාර දෙකක් පවත්වාගෙන යන ඩීනා කුමරිය ලොව පුරා පැවැත්වෙන විවිධ බටහිර විලාසිතා සති අතර නැතුවම බැරි මෝස්තර නිර්මාණ ශිල්පිනියකි. ඇය සෞදි අරාබියේ පැවැත්වෙන විවිධ උත්සවවලදී පමණක් අබායා හෝ හිජාබය පැලඳ සිටියත් විලාසිතා ලෝකයේදී නම් ඇය ඒවා පලඳින්නේම නැත. එවැනි විවිධ මෝස්තර නිර්මාණ ප්‍රදර්ශනවලදී ඩීනා පමණක් නොව ඇගේ සැමියා නසීර් කුමරු ද බටහිර පන්නයේ විලාසිතාවෙන් සැරසී සිටිනු දැකිය හැකිය. ගතානුගතික හා සම්ප්‍රදායික තත්ත්වයන් ඩීනා ප්‍රතික්ෂේප කරන අතර, ලෝකය පිරිමින්ට පමණක් නොව ගැහැනුන්ටත් එක හා සමානව නිදහස තිබිය යුතු බව දැඩිව විශ්වාස කරන අරාබි කාන්තාවකි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division