Home » බංග්ලා ටයිගර්ස් ලංකා T10 සුපර් ලීග් කිරුළ දිනාගනියි

බංග්ලා ටයිගර්ස් ලංකා T10 සුපර් ලීග් කිරුළ දිනාගනියි

by chanaka
December 20, 2024 9:05 am 0 comment

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවති ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල සමත් වෙයි.

තරගාවලිය පුරා අණසක පතුරවමින් අපරාජිතව සිටි ජැෆ්නා ටයිටන්ස් පිලට අවසන් පන්දු හයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 42ක් ලබා ගැනීම දක්වා හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල තරගය උච්චතම අවස්ථාවකට පත්කළ අතර, ඉසුරු උදාන යැවූ අවසන් ඕවරය ලකුණු 14කට සීමා වීමත් සමඟ බංග්ලා ටයිගර්ස් ක්‍රීඩකයෝ ලකුණු 26කින් ජය වාර්තා කර ගත්හ.

බංග්ලා ටයිගර්ස් පිල මේ තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ පළමු තරගයේදී ජැෆ්නා ටයිටන්ස් වෙතින් පරාජය වුවද ශූරතාව දිනා ගන්නා තෙක් වැටි වැටී නැඟී සිටි කණ්ඩායම බවට පත් වූවේය.

අවසන් මහා තරගයේ කිරුළ හිමිකරගත් බංග්ලා ටයිගර්ස් පිලට අමෙරිකානු ඩොලර් 75000ක් (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයක්) හා අනුශූර ජැෆ්නා ටයිටන්ස් පිලට අමෙරිකානු ඩොලර් 40000ක් (ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්) පිරිනැමිණි.

දින 10ක් පුරා පැවති ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා ටයිටන්ස් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල ඕවර 10 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් ලබාගත් අතර, ජයග්‍රහණයේ පිපාසයෙන් සිටි ජැෆ්නා ටයිටන්ස් ඕවර 10 තුළදී ලකුණු 133කට සීමාවී බලාපොරොත්තු සුන්වී ගියේය.

නායක දසුන් ශානක යැවූ 5 වැනි ඕවරය තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වූ අතර, ලකුණු 4කට කඩුලු 2ක් බිඳ හෙළා ගැනීමෙන් තරගයේ සියලු වාසි බංග්ලා ටයිගර්ස් පිලට යොමු විය. එවිට ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 54ක් වූවේය.

එංගලන්ත ජාතික වේග පන්දු යවන රිචඩ් ග්ලේෂන් යැවූ දෙවැනි ඕවරයේදී කෝලර්-කැඩ්මෝර්ගේ හා කුසල් මෙන්ඩිස්ගේ කඩුලු දෙක බිඳ වැටීමෙන් ජැෆ්නා ටයිටන්ස් පිලේ පීඩනය ආරම්භ විය. අනතුරුව ඉසුරු උදාන යැවූ තෙවැනි ඕවරයේදී චරිත් අසලංක දවා ගැනීමත් සමඟ ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 28ක් විය.

ඉනිම නිමාවන තුරු පහරදුන් එංගලන්ත ජාතික ටොම් අබෙල් පමණක් පන්දු 27කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ නොදැවී ලකුණු 54ක් ලබා සටන්කාමී ඉනිමක් දියත් කළේය.

ජයග්‍රාහී බංග්ලා ටයිගර්ස් ඉනිම ආරම්භයේදී ප්‍රතිවාදී නුවන් තුෂාරගේ පළමු ඕවරයේදීම හයේ දෙකක් සමඟ ලකුණු 15ක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් සාෂාඩ් හා කුසල් ජනිත් සමත් වූහ. ප්‍රමෝද් මධුෂාන් යැවූ දෙවැනි ඕවරයේදී ලකුණු 14ක් ලබා ගත්තද, ට්‍රෙවීන් මැතිව්ස් හා ජෝජ් ගාර්ටන් යැවූ 3 වැනි හා 4 වැනි ඕවර් පාලනයකට යටත්ව ලකුණු 10කට සීමා විය. මල්ෂ තරුපති හා ඩ්වේන් ප්‍රිටෝරියස් යැවූ ඊළඟ ඕවර දෙකේදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 48ක් ලබා ගැනීමට දසුන් හා ෂෙවෝන් සමත්වීමෙන් ලකුණු පුවරුව වේගයෙන් ඉහළ ගියේය.

දසුන් ශානක පන්දු 10කදී හයේ 2ක් හා හතරේ 2ක්සමඟ ලකුණු 21ක් හා ෂෙවෝන් ඩැනියෙල් පන්දු 15කදී හයේ පහරක් හා හතරේ 3ක් සමඟ ලකුණු 26ක් ලබා ගත්හ.

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 133 (ඕවර 10) කුසල් ජනිත් පෙරේරා 9, මොහොමඩ් සාෂාඩ් 26, ෂබීර් රහ්මාන් 16, දසුන් ශානක 21, ෂෙවෝන් ඩැනියෙල් 26, කෙනෙර් ලෙවිස් 10, ධනංජය ලක්ෂාන් 10 (ප්‍රමෝද් මධුෂාන් 18/1, ට්‍රෙවීන් මැතිව්ස් 18/2, මල්ෂ තරුපති 22/1, ඩ්වේන් ප්‍රිටෝරියස් 39/1)

ජැෆ්නා ටයිටන්ස් පිල කඩුලු 6කට ලකුණු 107 (ඕවර 10) ටොම් කෝලර්-කැඩ්මෝර් 10, කුසල් මෙන්ඩිස් 11, ටොම් අබෙල් නොදැවී 54, පවන් රත්නායක 10 (රිචඩ් ග්ලේෂන් 21/3, ඉසුරු උදාන 22/1, දසුන් ශානක 4/2)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division