Home » සිවිල් පුරවැසියන්ට දී ඇති සියලු ගිනි අවි සහ පතරොම් ලඟම ඇති ‍පොලිසියට භාර දෙන්න

සිවිල් පුරවැසියන්ට දී ඇති සියලු ගිනි අවි සහ පතරොම් ලඟම ඇති ‍පොලිසියට භාර දෙන්න

by chanaka
December 20, 2024 9:06 am 0 comment

2025 ජනවාරි 20 දිනට පෙර සිවිල් පුරවැසියන්ට නිකුත්කර ඇති සියලුම ගිනි අවි සහ පතරොම් ලඟම ඇති ‍පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු නොකරන්නේ නම්, එලෙස නියෝගවලට යටත් නොවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්යංශය පවසන්නේ, ජිවිත ආරක්‍ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනි අවියක් පමණක් ලබාදීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ තීරණය වන අතර එය ද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

‘සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් 2024 නොවැම්බර් 21 දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාර දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියළුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුම් දෙන ලදි. අදාල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට 85% ක් පමණ බලපත්‍රලාභීන් විසින් එම ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇත.

තවද, එම පුරවැසියන්ට ගිනි අවි තවදුරටත් ලඟ තබා ගැනීමට අවශ්‍ය නම් එකී අවශ්‍යතාවය පැහැදිලි කරමින් 2024 ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙසද දැනුම් දෙන ලදි. එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනි අවි පරික්‍ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමඟ අදාල ලේඛන ඉදිරිපත් කරන ලෙස ඔවුන් වෙත දැනුම් දී ඇත.

ජිවිත ආරක්‍ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනි අවියක් පමණක් ලබා දීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ තීරණය වන අතර එය ද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදුකරනු ලබයි.

ගිනි අවි ළඟ තබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය හා අදාළ ගිනි අවි පරික්‍ෂාව 2025 ජනවාරි මස 20 වන දින අවසන් කිරීමට නියමිත අතර, බලපත්‍රලාභීන්ට එදිනට පෙර ගිනි අවි විගණනය සඳහා ඉදිරිපත් කරන ලෙස මෙමගින් දැනුම් දී සිටී.

තවද, පසුගිය සමයේදී පුද්ගල ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනි අවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී ඇත. එබැවින් එම ගිනි අවි හා පතරොම් ද 2024 දෙසැම්බර් මස 31 දිනට පෙර නැවත රජයට භාර දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

එබැවින් එම උපදෙස්වලට අනුව මෙම ගිනි අවි හා පතරොම් ලඟම ඇති ‍පොලිස ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලෙසත්, නියමිත දිනට පෙර ගිනි අවි සංගණනය හා විගණනය සඳහා ඉදිරිපත් නොවන ගිනි අවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් මෙම නිවේදනයෙන් දැනුම් දෙනු ලැබේ.

සිවිල් ජන සමාජය තුළ ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුලින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුලින් සුරක්‍ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ගන්නා ලද මෙම තීරණයට අනුගතව මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාරදීමට කටයුතු කරන ලෙස අදාල පාර්ශ්වයන් වෙත අවධාරණය කරනු ලබයි.’

 

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division