– එදා මට හිතුණා එයා දැන් ජනප්‍රිය කෙනෙක් නිසා මේක කෙරෙන්නත් පුළුවන් නොකෙරෙන්නත් පුළුවන් මොනදේ වුණත් මං එයාට හදවතින්ම සුබ පතනවා කියලා
– වෙඩින් එක සාමාන්‍ය විදිහට ගන්නයි අපි ප්ලෑන් කරගෙන හිටියේ
– ඉස්කෝලෙදි අම්මට මාව පෙන්නලා කිව්වලු මේ මං බඳින්න ඉන්න ගෑනු ළමයා කියලා
– මට ආදරේ කරන ගොඩක් දෙනෙක් සුබ පැතුම් එක්කරලා තිබුණා ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ආදරය ගොඩක් වටිනවා
– සුනීර අයියාගේ ඩ්‍රීම්ස්ටාර් ෆයිනල් එක දවසේ තමයි මං ෆෝන් එකක් ගත්තේ
සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැළිති නඟවා
ගංගාව ඔහේ ගැලුවා.. //
සුනීර සුමංගගේ මියුරු හඬින් ගැයෙන මේ අපූරු ගීතය මේ වනවිට අසා නැති කෙනෙක් නොමැති තරම්ය. ලොකු, පොඩි භේදයකින් තොරව සැමගේ ආදරය ලබන සුනීරට ඇත්තේ ද ඕනෑම කෙනෙකුගේ හද නිවාලන අපූරු හඬකි. ඒ හඬට පෙම් නොකරන්නෙක් වේදැයි සිතීම පවා නිෂ්ඵලය. දහසක් සිත් ඔහුට පෙම් බැන්දද ඔහු සිත ඇය ළඟ නතර වී තිබුණේ පාසල් වියේදීය. දහසක් සුබ පැතුම් මධ්‍යයේ පසුගිය දා ඔවුන්ගේ ප්‍රේමය මල්පල ගැන්විණි. ඔහු අත ගත් ඇය තරුෂිකා දෙව්දුනීය.
පසුගිය දෙසැම්බර් 14 වැනිදා රාගම පේදුරු පාවුළු දේවස්ථානයේ දී අතිනත ගත් ඔවුන් පසුදින දෙපස මාපිය නෑ හිතමිතුරන් පිරිවරා අතිඋත්කර්ෂවත් අයුරින් තම සතුට බෙදා ගත් අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වන්නට විය. ඔවුන් වෙනුවෙන් සුබ පැතුම් එක් කළ පිරිස ද අතිමහත්ය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ආශීර්වාදය සුබ පැතුම් ඔස්සේ ගලා ආවා පමණක් නොව මෙරටට පැමිණ සුබ පැතූ විදේශයන් හි පදිංචි සුනීරට ආදරය කරන්නෝද මේ අතර වූහ. ජනයා අතර ප්‍රියවීමට ඔහු සතු ගුණාංගයන් බොහෝය. විවාහ උත්සවය අවසන්වීමත් සමඟින් අප හා කතාබහට එක්වූ සුනීර තම ජීවිතයේ සුන්දරම දවස මෙතරම් අතිඋත්කර්ෂවත් අන්දමින් සැමරීමට හැකිවීම ගැන පැවැසුවේ මෙලෙසිනි.
“පසුගිය 14 වැනිදා රාගම පේදුරු පාවුළු දේවස්ථානයේ පූජාව තියලා අපේ විවාහය සිදුවුණා. එදා තිබුණේ පූජාව විතරයි. 15 වැනිදා කිරිල්ලවල පබාවී රීජන්සි එකේ තමයි දෙපැත්තෙම නෑ හිතමිතුරන් එක්වෙලා ලොකුවට උත්සවය ගත්තේ. මට ආදරේ කරන ගොඩක්දෙනෙක් සුබ පැතුම් එක්කරලා තිබුණා. බොහෝ අය කතාකරලත් සුබ පැතුවා. ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ආදරය ගොඩක් වටිනවා. බොහෝදෙනෙක් විවාහ උත්සවයට ඇවිත් එළිවෙනකල්ම වගේ හිටියා. මට මේ තරම් දුරක් එන්න, මේ තරම් රසික ආදරයක් ලබන්න දෙව්දුනීගෙන් ලොකු සහායක් ලැබුණා. ඇය මට දෙන නිදහස තමයි මගේ වැඩ කටයුතු කරගන්න ලොකුම සහනය. ඒ වගේම ඇගේ සරලබව මගේ හිත ඇය ළඟ නතර කරගන්න ලොකුම හේතුවක් වුණා. ”
රැය පහන්වනතුරු මිතුරන් හා ගී ගැයූ සුනීරගේ අපහසුව තේරුම් ගත් දෙව්දුනී තම මංගල දිනයේ අත්දැකීම් අප හා පැවැසුවාය.
“14 වැනිදා මංගල දිනය විදිහට දේවස්ථානයේ තිබුණේ පූජාව විතරයි. ලස්සන මනාලියක් විදිහට එදා මාව සැරසුවේ ඉන්දුමාලා. ශලින්ද්රිනී, ශෙහානි වගේම සෙනුරි දෙවැනි මනාලියන් විදිහට මගේ ළඟින් හිටියා. සුනීරව හැඩ කළේ අවුරාල් හෙයාර් ඇන්ඩ් බියුටිහි ධනුෂ්ක. සුනීරගේ යහළුවන් විදිහට නිසල්, රුමාල් සහ ගීත්ම ඔහු ළඟ හිටියා. ගොයින් අ වේ හැඩගැන්වීම ධනුෂ්ක අයියාගේ. මංගල දිනයේ දේවස්ථානයේ චාරිත්‍ර වාරිත්‍රවලට විතරක් සීමා වුණත් දේවස්ථානය ලස්සනට සරසලා තිබුණේ මෙත්මා ෆ්ලවර් ඩෙකෝස්. ඒ වගේම මංගල දිනයේ අපේ සුන්දර මතකයන් සොඳුරු ජායාරූප පෙළක් බවට පත් කළේ ඇෆිනිටි ප්‍රොමිස් වෙඩින්හි සාරංග දිසානායක මල්ලි.
15 වැනිදා කිරිල්ලවල පබාවී රීජන්සිහිදී දෙපැත්තේම නෑ හිතමිතුරන් එකතු වෙලා ලොකු උත්සවයක් ගත්තා. එදා තමයි අපි හැමෝටම ආරාධනා කළේ. අපි ඒක ඇරේන්ජ් කළේ හෝම්කමින් එක විදිහට නිසා රතු පැහැති කලර් තීම් එකකට ගියා. එදා දවසේ මාව හැඩ කළේ සුරංග ආකාශ්. සුනීරව හැඩගැන්නුවේ ලියෝ ධනුෂ්ක අයියා. ඒ වගේම පබාවී රීජන්සිහි ලස්සනට සරසලා ඩෙකරේෂන් ඇරේන්ජ්මන්ට් එක කළේ ෆ්ලවර් වෙඩින් වෙතින් බුද්ධික ඉඩම්ගෙදර අයියා. දෙවැනි දවසේ සුන්දරත්වය ආකර්ෂණීය විදිහට මතකයක් අතරට එක්කිරීමේ කාර්ය භාරගත්තේ ඩාර්ක් රූම් වෙතින් ධනුක කුමාරසිංහ අයියා. වීඩියෝ දායකත්වයත් ඔවුන්ගේ. අපි ගොඩක් කාර්යබහුල වෙද්දි මේ හැමදේම හරිම ලස්සනට ප්ලෑන් කළේ අශාන් ද සිල්වා. ඒ වගේම වෙඩින් එකට කලින් අපි ප්‍රී ෂූට් දෙකක් කළා. එකක් කැලණිය ඩයමන්ට් ක්‍රවුන් එකේ කළේ ඩාර්ක් රූම් ධනුක අයියා. අනිත් එක සාරංග දිසානායක මල්ලි ආකේඩ් එකේ කළා.
වෙඩින් එක සාමාන්‍ය විදිහට ගන්නයි අපි ප්ලෑන් කරගෙන හිටියේ. මේ තරම් දැවැන්ත විදිහට කරන්න වුණෙත් අහම්බෙන්. ඒක වුණේ අශාන් අයියා අපේ ප්‍රී ෂූට් එක කරන්න ධනුක අයියට භාර දීපු වෙලේ මෙච්චර උදවු කරන්න කට්ටිය ඉද්දි ඇයි වියදම් කරගෙන මෙහෙම කරන්නෙ කියලා ධනුක අයියා බැණ්නා. ඊට පස්සෙ තමයි අපි මේ වගේ ලොකු වැඩකට අතගැහුවේ. අපේ මංගල උත්සවය මේ තරම් ලස්සනට කරගන්න අනුග්‍රහය දක්වපු බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් නිසාම තමයි මේ තරම් ආකර්ෂණීය විදිහට කරගන්න පුළුවන් වුණේ. නම් වශයෙන් මතක් කරන්න නොහැකි වුණත් ඒ හැමෝටම ගෞරවපූර්වක ස්තුතිය පළ කරන්නත් අපි මේක අවස්ථාවක් කරගන්නවා.“
මංගල දිනයට නන් අයුරින් උදවු උපකාර කරමින් අනුග්‍රාහකත්වය ලබාදුන් සියලු දෙනාටම සුනීර එසේ ස්තුතිය පළ කරද්දී දෙව්දුනීත් සුනීරට සහාය වුණේ පෙර දින සොඳුරු මතකයන් ගෙන එන්නට මුලපිරූ ඒ ආදරණීය අතීතය සිහිපත් කරමිනි.
“මට ඉන්නෙ අම්මයි, තාත්තයි මල්ලිලා දෙන්නයි. මං ඒකල ඉඳන් කඳානෙ පදිංචියට ඇවිත් ද මැසනෝද් කෝලේජ් එකට ඇතුළත් වෙන්නේ උසස් පෙළ කරන්න. මං කළේ ඩාන්සින්. සුනීර කළේ මියුසික්. සුනීර පොඩි කාලෙ ඉඳන්ම ගිය පාසල. මොකක් හරි උත්සවයක් තියේ නම් සුනීරට අනිවාර්යයෙන්ම සින්දු කියන්නම වෙනවා. ඒ වගේම මටත් නටන්නම වෙනවා. ඒ කාලෙත් ඉස්කෝලේ හැමෝම සුනීරට හරි ආදරෙයි. යාළුවන්ගේ මාර්ගයෙන් විටින් විට එයා මගෙන් කැමැත්ත ඇහුවා. මුලදි මං ලොකුවට ගත්තෙ නෑ. මගේ කැමැත්ත ගන්න එයා නොයෙක් දේවල් කළා. එයාට ස්ටඩී ලීව් දීල තියෙද්දිත් හැමදාම ඉස්කෝලෙ ඇවිත් මියුසික් රූම් එකට වෙලා ඉන්නවා. මම නටද්දි දවසක් එයාට ගයන්න වුණා. එදා එයා දසුන් මධුශංකගේ සුන්දරයි ජීවිතේ- ඔබ ළඟින් සිටී නම් මගේ ආදරේ සින්දුව කිව්වේ මගේ පැත්තට අත දික්කරලා. මගේ යාළුවෝ කිව්වා ඔන්න තරූ ඔයාට තමයි ඒ කියන්නේ කියලා. ඒත් මං නොදැනුණා වගේ හිටියා. හැබැයි එදා මට එයාව දැනුණා. තව දවසක් විභාගයක් දවසේ අපේ පේපර් එකම එයාටත් ලියන්න කිව්වා. විභාගෙ ඉවර වෙලා යද්දි මෙයා මගේ ළඟින් පොඩි කොළ කෑල්ලක් තියලා ගියා. මට බලන්නත් බයයි ටීචර්ලට අහුවුණොත් කියලා. බලද්දි ඒකෙ මාව ඇඳලා. ඊටත් කලින් දවසක තෑගි බෙදා දීමේ උත්සවයකට එයාගෙ අම්මලත් ඇවිත් හිටියා. මං ඩාන්සින් අයිටම් එකකට ඇඳුම් මාරු කරන් එද්දි මෙයා අම්මට මාව පෙන්නලා කිව්වලු මේ මං බඳින්න ඉන්න ගෑනු ළමයා කියලා. අම්මා කියලා කෝ ඉතින් එයා මාත් එක්ක කතා කළේවත් නෑනෙ කියලා. ඒ කාලෙ මං දන්නෙවත් නෑ මෙයාගෙ හිතේ තියෙනවා කියලා. මං වගේම එයත් එයාගේ අම්මට හැමදේම කියනවා.
සුනීර කියන්නේ හරිම සෙන්සිටිව් කෙනෙක්. ඒ නිසා මං හරි බයයි දෙයක් කියන්න. කොහොමහරි උසස් පෙළ අන්තිම කාලෙ තමයි අපි සම්බන්ධයක් විදිහට පටන් ගත්තේ. ඒ කාලේ මට ෆෝන් එකක්වත් තිබුණෙ නැති නිසා ලොකුවට කතාබහක් තිබුණෙ නෑ. සුනීර අයියාගේ ඩ්‍රීම්ස්ටාර් ෆයිනල් එක දවසේ තමයි මං ෆෝන් එකක් ගත්තේ. එයා දිනලා රාගම ග්‍රවුන්ඩ් එකේ තිබුණ සංගීත ප්‍රසංගය බලන්න අපේ ගෙදර හැමෝම ගියා. එදා එද්දි තාත්තා කිව්වා දැන් ඉතින් තව පාර්ටි තියේවි. ඒවට ගෙවල් ගානෙ යන්න එහෙම තියාගන්න එපා කියලා. එදා තමයි දැනගත්තේ තාත්තටත් මොකක් හරි දැනිලා කියලා. අම්මා නම් මුල ඉඳන්ම දැනන් හිටියා. එදා මට හිතුණා එයා දැන් ජනප්‍රිය කෙනෙක් නිසා මේක කෙරෙන්නත් පුළුවන්. නොකෙරෙන්නත් පුළුවන්. මොනදේ වුණත් මං එයාට හදවතින්ම සුබ පතනවා කියලා. සම්බන්ධය පටන් ගන්න කොටම මං සුනීරට කියල තිබුණේ තාත්තා අකමැති වුණොත් මට මේක බ්රේක් කරන්න වෙනවා කියලා. එදා මං ගෙදර ගිහින් එයාට මැසේජ් එකක් දැම්මා. මට ආයෙම එන්න බැරි වේවි මෙහෙම ෂේප් එකේ ඉමු කියලා. ඊට පස්සේ එයා කිව්වා මං ඇවිත් ගෙදරින් අහන්නම් කියලා. කිව්වත් වගේ මගේ යාළුවොත් එක්ක ඇවිත් එයා තාත්තගෙන් ඇහුවා. ඒ නිසාම එදා තාත්තාගෙ කැමැත්ත ලැබුණා. ගෙදරට ඇවිත් හමුවෙන්න එදා අවසර දුන්නා. ඒත් එක්කම කිව්වා ඔයාගෙ සංගීත වැඩ කරගන්න. ඉදිරියටත් මේක තිබුණොත් අපි බලමු කියලා. ඔය අතරේ මට තවත් ප්‍රපෝසල් ආවා. ඒ අයත් අහල තිබුණා මේක කෙරේවිද කියලා. අපේ ගෙදරින් කියල තිබුණේ අපි බලමුකෝ ඒක ඒ දෙන්න හොයාගත්ත දෙයක්නේ. කෙරුණොත් එහෙමයි. නැත්නම් අපි බලමු කියලා. අපි නිතර හමුවෙලා කතාබහ කරන තත්ත්වයක් නොතිබුණත් අපි දෙන්න සම්බන්ධය කන්ටිනිව් කරගෙන ගිය විදිහට මට විශ්වාසයක් තිබුණා ඉදිරියටත් මෙයා විශ්වාසවන්තව මගේ ළඟ ඉඳීවි කියලා.”
සුනීරගේ මවුපියන් බොහෝ සේ ආදරය කළ බව පැවසූ ඇය කොතරම් ඉහළට ගියත් තරුෂිව අමතක නොකරන ලෙස සුනීරගේ මව ඔහුට පවසා ඇති බවත් ඇය අප හා පැවසුවේ ඔහුගේ මවුපියන්ගේ ආදරය නැවත නැවතත් සිහිපත් කරමින්.
ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ‘සුනීර සුමංග ඒකපුද්ගල ගී ප්‍රසංගය‘ ගැන සඳහන් කරමින්ම අපි කතාව නිමා කළෙමු.
සුනීර සුමංගගේ පළමු ඒකපුද්ගල ගී ප්‍රසංගය ලබන ජනවාරි 11 වැනිදා සවස 6.30ට මියුසියස් කොලේජ් ඔඩිටෝරියම්හි පැවැත්වෙන්නේ ‘සන්තාන සුසුම් ලයිව් ඉන් කොන්සට්’ නමිනි. ඔහුගේ ගීත 20ක් සහ අමරදේවයන්ගේ ගීත 2ක් ඇතුළත් මේ සුමියුරු ගී ප්‍රසංගය සුනීර සුමංග ලොව පුරා රසික එකමුතුව මඟින් සංවිධාන කරනු ලබයි.
ඡායාරූප – ඩාර්ක් රූම් ධනුක
ඇෆිනිටි ප්‍රොමිස් සාරංග