Home » ඒක තමයි මගේ ජීවිතේ මට ලැබුණු හොඳම අවස්ථාව

ඒක තමයි මගේ ජීවිතේ මට ලැබුණු හොඳම අවස්ථාව

නවීශා සූරියආරච්චි

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

– සුනිල් එදිරිසිංහයන් වගේ ප්‍රවීණයෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනව කියන්නෙම වාසනාවක්
– වොයිස් ශ්‍රී ලංකා වැඩසටහන නැත්නම් මං සංගීත ක්ෂේත්‍රයේ නැතිවෙන්නත් තිබුණා

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ගායන කරනු ලබන ‘කවුරුන් ද ඔබ මගේ‘ ගීතය මෙන්ම සංගීත් නිපුන් සනත් නන්දසිරි ගායනා කරන ‘විකසිත වත කමලේ‘ ගීතය පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අපට අහන්න දකින්න ලැබුණේ තරුණියකගේ මියුරු හඬිනි. ඉතාම හොඳ ප්‍රතිචාර ලබමින් ශෙයාර් වුණු මෙම ගීත ද්විත්වය ගායනා කර තිබුණේ නවීශා සූරියආරච්චි විසිනි. නවීශා යනු කවුද? දැන් ඔබේ සිතට නැඟෙන ගැටලුව එය බව දන්නා නිසාම අපි ඇය ගැන සොයා බලන්නට වෙහෙසුනෙමු. ඇය සිරස නාළිකාවේ විකාශය වෙන ද වොයිස් ශ්‍රී ලංකා රියැලිටි වැඩසටහනේ පළමු අදියරේ තරගකාරියකි.

මේ දිනවල නවීශාගේ හඬින් ගැයෙන ප්‍රවීණයන් දෙදෙනකුගේ අතිශයින් ජනප්‍රිය ගීත දෙකක් සමාජ මාධ්‍යවල වයිරල් වෙනවා. කොහොමද ඒ දේ සිදුවෙන්නේ?

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ‘කවුරුන්ද ඔබ මගේ‘ ගීතය වගේම සනත් නන්දසිරි මහත්මයා ගායනා කළ ‘විකසිත වතකමලේ‘ ගීතය මං ගායනා කළේ සජ්ඣායනා වැඩසටහනට. ඒක ගොඩක් වයිරල් වුණා. ගොඩක් අයගෙන් හොඳ කමෙන්ට්ස් ලැබුණා.

නවීශා ක්ෂේත්‍රයට ආවේ කොහොමද කියල ඇහුවොත්?

පුංචි කාලෙ ඉඳන්ම මං ගීත ගායනා කරන්න ගොඩක් ආසයි. ඒත් ඉගෙනීම පැත්තට තමයි ගොඩක්ම යොමු වුණේ. පාසල් සංගීත කණ්ඩායමේ හිටියා. පාසල් ප්‍රසංගවල ගීත ගායනා කළා. ඒත් ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ නැහැ. ඥාති අක්කා කෙනෙක් අපේ ගෙදර ආපු වෙලාවේ එයා මගෙයි, පොඩි අක්කගෙයි දෙන්නගෙම ඇප්ලිකේෂන් දෙකක් ද වොයිස් ශ්‍රී ලංකා රියැලිටි වැඩසටහනට දැම්මා. අපි දෙන්නටම ඔඩිෂන් කෝල් කළා. වොයිස් ශ්‍රී ලංකා පළමු අදියරට සම්බන්ධ වෙලා සෙමි ෆයිනල් දක්වා එන්න මට අවස්ථාව ලැබුණා. එතකොට මට අවුරුදු 18යි. ඒ වගේම පොඩි අක්කටත් ගොඩක් දුර එන්න හැකියාව ලැබුණා. එදා වොයිස් ශ්‍රී ලංකා වැඩසටහන නැත්නම් සමහරවිට මං සංගීත ක්ෂේත්‍රයේ නැතිවෙන්නත් තිබුණා.

වොයිස් ශ්‍රී ලංකා පළමු වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනව කියන්නෙම විශේෂත්වයක්? ඒ අත්දැකීම ගැන කතා කළොත්?

ඒක තමයි මගේ ජීවිතේ මට ලැබුණු හොඳම අවස්ථාව. එතැනින් තමයි මියුසික් කරන්න මට ආසාව ඇතිවුණේ. ගීත ගායනා කරන විදිහ? ප‍ෆෝම් කරන විදිහ, මයික් එක අල්ලන විදිහ ගැන පවා දැනුම්වත් වුණා. වැඩමුළු තියලා අපිට හොඳ දැනුමක් ලබාදුන්නා. ඒ ලබා ගත්ත අත්දැකීම් නිසා තමයි අදටත් මම සංගීත ක්ෂේත්‍රයේ රැඳෙන්නේ. මට ගොඩක් පුහුණුවීම් කළේ කෝච් උමාරියා. ඇයගෙන් සංගීතය ගැන විතරක් නෙවෙයි ජිවිතය ගැනත් මං ඉගෙන ගත්තා. ඇයට අපිව හොඳින් තේරුම් ගන්න හැකියාව තිබුණා. වැඩමුළු හරහා ගොඩක් දැනුම්වත් කළා. මගේ හඬට ගැළපෙන දේ තෝරගන්න විදිහ මට කියල දුන්නා. මට පෆෝම් කරන්න පුළුවන් කියල දැනගත්තෙත් ඒකෙන්. මං හැම ආරකම ගීත හොඳින්ම ගයනවා කියලා කෝච්ලගෙන් ප්‍රතිචාර ලැබුණා.

එතකොට ඔබ වෘත්තීය වශයෙන් ඉගෙන ගත්තෙ?

මං ඩිග්‍රිය කළේ බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන්. ආර්ථික තත්ත්වය අනුව ඒ පැත්තෙන් ජොබ් එකක් කරන ගමන් සංගීතයත් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. මේ වෙද්දි මං ඔරිජිනල් ගීතයක් කරල තියෙනවා. කසුන් කල්හාර සංගීතය සැපයූ චාමින්ද රත්නසූරිය විසින් පද රචනය කළ මල්දුනු හී කියන ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මේ වෙද්දි කවර් සෝංග්ස් ගොඩක් කරල තියෙනවා. තවත් ගීතයක් කරන්න සැලසුම් කරගෙන යනවා. පළමුවැනි ගීතය සුභාවිත ගීතයක් වුණත් ඊළඟ ගීතය ටිකක් වෙනස් ආරක ගීතයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සුනිල් එදිරිසිංහයන් සමඟ ගිය අවුරුද්දේ සඳකඩ පහණ වැඩසටහනට ගීත ගායනා කරන්න ලැබීම මගේ ජීවිතේ අමතක නොවන දෙයක්. ඔහුගේ පුත් සංඛ එදිරිසිංහයන් සමඟත් ගයන්න අවස්ථාව ලැබුණා. සුනිල් එදිරිසිංහයන් වගේ ප්‍රවීණයෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනව කියන්නෙම වාසනාවක්. ඉදිරියේදිත් ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ඒ අවස්ථාව ලබාදුන්නේ එහි ඉවෙන්ට් මැනේජර් තරිඳු අයියා. ඔහුවත් මං ආදරෙන් සිහිපත් කරනවා.

කසුන් කල්හාරගේ සංගීතයෙන් ඔපවත් වෙනවා කියන්නෙත් දුලබ කරුණක්?

වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනේදී කෝච් කසුන් කල්හාර මං ගැන හොඳින් දැනගෙන හිටියා. මට සින්දුවක් කරගන්න ඕන කියල කියපු ගමන්ම ඔහු කැමැත්තෙන්ම කරලා දුන්නා. ඒක මගේ ලොකු වාසනාවක්. ඔහු හරිම සපෝටිව් කලාකරුවෙක්. ගොඩක්ම ප්‍රතිචාර ලැබුණු ගීතයක්. ඉදිරියේදී ගායනයත් නර්තනයත් යන අංශ දෙකෙන්ම අලුත් දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division