Home » ‘සෝලෝ ටවුන්’ සමඟ පෙරට එන අනාගත තරුව – රවීන් කනිෂ්ක

‘සෝලෝ ටවුන්’ සමඟ පෙරට එන අනාගත තරුව – රවීන් කනිෂ්ක

by Mahesh Lakehouse
December 21, 2024 12:20 am 0 comment
තුසිත ජයසුන්දර

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ වත්මන් සිනමා භාවිතය එහෙම පිටින්ම වාගේ යොමු වී ඇත්තේ අතීත පුවත් නිරූපණයට හා විවරණයට. ‘උප්පලවන්නා’ සිට මේ දිනවල තිරගත කෙරෙන ‘ගෞතම බුද්ධ මාතා’ දක්වා වූ සිනමාපට සමුච්චයයි ඔහුගේ වත්මන් සිනමා භාවිතය සේ දත හැක්කේ. මේ අතරට ඔහු ගෙන එන ‘ක්ෂීර සාගරය කැලඹින’ හඳුනාගත හැක්කේ ඊට වෙනස් පිවිසුමක් ප්‍රකට කළ අවස්ථාවක් වශයෙන්. සයිමන් නවගත්තේගමගේ නවකතාවක් පාදක කොට ගැනීමත්, ජැක්සන් ඇන්තනි විසින් ලියන ලද තිරනාටකයක් උපයෝගී කොට ගැනීම නිසාත්, කල්පිත අතීත සමයක් මත රැඳී සිටි නිසාත් ‘ක්ෂීර සාගරය කැලඹින’ සිනමා රසිකයා කරා රැගෙන ආවේ නැවුම් අත්දැකීමක්.

එසේම මේ කිසියම් විවාදාත්මක අත්දැකීමක්. ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ හා උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිනමාපටයේ සමස්තයම හසු කර ගනිමින්. මෙතැනට එක්වන නවක නළු රවීන් කණිෂ්ක ඔවුන් හා සමතැන් ගනු පිණිස සිය රූපණ සමත්කම විදහා දක්වන්නේ අතිශය සැහැල්ලු විලාසයක් ඔස්සේ . අදාළ සංකීර්ණ ලකුණු මඟ හැර නොයන්නට ඔහු සැලකිලිමත් වනවා. පෙමින් ආතුර වූවකු සේ වරෙක රසිකයා හමුවට පැමිණෙන මේ චරිතය අනතුරුව වියරු වැටෙන්නේ තමාට තමාවම පාලනය කර ගත නොහැකි අන්දමින්.‘ක්ෂීර සාගරය කැලඹින’ නැරබූ කිසිවකුටත් රවීන්ගේ මේ රූපණය අමතක වන්නේ නැහැ. සහය චරිතයකට පණ දෙමින් මෙවැනි හපන්කමක් සිදු කරනු පිණිස ඉඩක් ලබාගත හැක්කේ කලාතුරකින්.

මෙසේ සිය පළමු සිනමා රූපණයේදීම විචාරක රසික අවධානයට පාත්‍ර වූ රවීන් දැන් තිරගත කෙරෙන ‘සෝලෝ ටවුන්’ සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් පවසන්නේද සිනමාව හා බැඳෙන්නට ඇති කැමැත්තයි. තුලනාත්මකව සසඳා බලන විට ‘ක්ෂීර සාගරය කැලඹින’ ඉක්මවන්නට රවීන් මෙහිදී සමත්ව ඇති බවද පෙනී යනවා. මෙයින් කියැවෙන්නේ සිනමා රූපණයෙන් පෙරට එන්නට ඔහු තුළ බලවත් වුවමනාවක් පවතින බව. එහෙත් මේ සඳහා ලැබෙන අවස්ථා ප්‍රමාණවත් නැහැ.

තරුණ පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මිත ‘සෝලෝ ටවුන්’ හි අන්තර්ගතය තාරුණ්‍යය සමඟිනුයි බැඳී පවතින්නේ. සිනමා රූපණයට අලුතින්ම එක්වූ තරුණ පිරිසක් සමඟ රවීන් ප්‍රධාන චරිතය කරා පිවිසෙන්නේ ‘ක්ෂීර සාගරය කැලඹින’ සිහිගන්වන සැහැල්ලු විලාසයකින්. කෙසේ නමුත් මේ සිනමාපට ද්විත්වය දෙයාකාර ලකුණු ගෙන එන බව අමතක කරන්නට බැහැ. රවීන් මේ වග මූලික වශයෙන්ම වටහාගෙන ඇති බව පැහැදිලියි. සංගීත කණ්ඩායමක නායකත්වය දරමින් එය තරුණ රසිකයන්ගේ පරමාදර්ශයක් බවට පත් කරලනු සඳහා වෙහෙසෙන ජේ නමැති නාගරික තරුණයායි රවීන් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබන්නේ. එක අතකින් රවීන්ට මෙය අසීරු කටයුත්තක් වූ බව පවසන්නට බැහැ.

රවීන් කනිෂ්ක පළමු කොටම හඳුනා ගැනෙන්නේද සංගීත ක්ෂේත්‍රය ඔස්සේ. ඔහු ගැයූ ගී සේම ගායන විලාසයද තරුණ සංගීත රසිකයන් කරා ආනන්දයක් ගෙන එන්නේ බාධා කිරීම් මැඬ පවත්වමින්. ‘සෝලෝ ටවුන්’ හි ජේගේ චරිතය වෙතින් රවීන් නමැති ගායකයාගේ පිළිබිඹුවක්ද නිරීක්ෂණය වනවා. වෙසෙසින්ම රවීන්ගේ හඬ, නර්තන සමත්කම මෙහිලා කැපී පෙනෙන බව කිව යුතුයි.

රූපවාහිනී වෘත්තාන්ත විෂයෙහි දත හැකි රවීන්ගේ දායකත්වය කිසිසේත්ම නොසලකා හරින්නට බැහැ. තවමත් සිරිලක රූපවාහිනී රසිකයන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ මනාපය හිමි කර ගන්නා ‘දෙවෙනි ඉනිම’ හි ප්‍රධාන චරිතයක් රවීන් විසින් නිරූපණය කරනු ලබන්නේ යට කී සිනමා නිදසුන් ද්විත්වයට පරිබාහිරව. ‘දෙවෙනි ඉනිම’ විචාරක පිළිගැනීමට ලක් නොවන මාදිලියේ රූපවාහිනී වෘත්තාන්තයක්. එනමුදු ‘දෙවෙනි ඉනිම’ රූපණය වෙනුවෙන් සම්මාන කිහිපයක්ම ඔහුට හිමිව තිබෙනවා. මෙය සම්මාන හා ඒවායේ සැබෑ වටිනාකම පිළිබඳ කතාබහකට අනගි නිමිත්තක්. රවීන් නිත්‍ය වශයෙන්ම සම්මාන හිමි කර ගත යුතු වන්නේ අන් පෙදෙසකින්ය යන්නයි ඉන් ඉඟි කෙරෙන්නේ.

‘දෙවෙනි ඉනිම’ මාදිලියේ රූපවාහිනී වෘත්තාන්ත වෙතින් සිය රූපණ කුසලතා අභිවර්ධනයට ඇති ඉඩකඩ ඉතා අල්ප බව රවීන් විසින් නොපමාව වටහා ගනු ලැබිය යුතු වනවා. ජනප්‍රියත්වය සේම ප්‍රතිභාසම්පන්න බවද එකම මොහොතක සාක්ෂාත් කර ගැනීම පහසු නැහැ. ‘ක්ෂීර සාගරය කැලඹින’ සේම ‘සෝලෝ ටවුන්’ මේ සඳහා රවීන් වෙත ලැබුණු මාහැඟි අවස්ථා.

වත්මන් තරුණ සංගීත ලෝලීන්ගේ ආදරයට රවීන් පත් වන්නේ ගායනයේදී පළ කරන ජවසම්පන්න බවද නිසා. මෙවැනි ගායක ගායිකාවන් විචාරක අවධානයට යොමු කෙරෙන්නේ තරමක් අඩුවෙන්. වරෙක ඔවුනට හා ඔවුනගේ නිර්මාණ ආදියට පරිභව කරන අවස්ථා වුව දකින්නට පුළුවන්. මෙතැනින් ඔබ්බට යාමේ ප්‍රයත්න කරා එළැඹීමයි මෙතැනදී අවැසි වන්නේ. මෙහිලා සාර්ථක වන්නට රවීන් සතු හැකියාව ලඝු කොට දක්වන්නට බැහැ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division