අසූව දශකයේ මැද භාගයේදී ලෝක පොප් සංගීත ක්ෂේත්රයට එකතු වූ ‘Last Christmas‘ ගීතය අදටත් බටහිර ගීතලෝලීන්ගේ මුවග රැව් දෙන ගීතයකි. නත්තල ගැන කියැවෙන ගීතයක් නොවූවත් එය වැඩිපුරම ඇසෙන්නේද නත්තල් සමයේදීය. එහෙත් මේ ගීතයේ හිමිකාරයා ජෝර්ජ් මයිකල් නම් අද මෙලොව නැත. නත්තල් දිනයේ ප්‍රේමයක විරහව ගැන කියා ලොවක් වසඟ කළ මේ ගායකයා ජීවිතය හැර ගියෙත් නත්තල් දිනකදීමය.
හරියටම 2016 වසරේ නත්තල් උදාවත් සමඟ ඒ ගී හඬ සදහටම වියැකී ගියේ පරපුරෙන් පරපුරට අලුත් වන Last Christmas ගීතය පමණක් නොව තාරුණ්‍යය උන්මාදයට පත් කළ තවත් ගීත ගොන්නක්ම ලොව පුරා සංගීතලෝලීන්ගේ මතක ගබඩාවේ තැන්පත් කර තබමිනි. ආකර්ෂණීය හඬකටත් කඩවසම් රුවකටත් හිමිකම් කියන බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් මයිකල් අසූව දශකයේදී බටහිර ගීතයට ළැදි ලොව පුරා තරුණියන්ගේ සිහින කුමරා බවටත් පත්වී සිටි අතර, 53 හැවිරිදි වියේදී ඔහු හදිසියේ මියයෑම බටහිර ගීත ක්ෂේත්රයම තැති ගැන්මට ලක් කළ එකකි. මෙවර නත්තල් දිනයට ඔහු මෙලොවින් සමුගෙන වසර අටකි.
පොප් ගීත ක්ෂේත්රයේ තුන් ඉරියව් දස්කම්
ගායනයට අමතරව ගී පද රචකයකු සහ ගීත පටිගත කිරීමේ ශිල්පියකු ලෙසත් තුන්ඉරියව් දස්කම් පෑ මේ අපූරු ගායකයා පොප් ගීත ක්ෂේත්රයට පිවිසියේ ‘වෑම්‘ සංගීත කණ්ඩායමේ සාර්ථකත්වය තුළිනි. ජෝර්ජ් මයිකල් ලොව පුරා රසික රසිකාවියන් අතරට ගියේ ඇන්ඩෘ රිජ්ලේ සමඟ එක්ව බිහි කළ වෑම් සංගීත කණ්ඩායම එවකට ගැයූ ‘Wake me up before you go go‘ ගීතයෙනි. ලක්ෂ සංඛ්‍යාත ගීතලෝලීන් ඇද බැඳ තබා ගැනීමට සමත්වූ ‘Last Christmas‘ ගීතය මුදා හැරියේ ඉන් අනතුරුවය. 1984 දී නිකුත් කළ ඔහුගේ පළමු තනි ගීතය ‘Careless Whisper‘ බ්‍රිතාන්‍ය හා අමෙරිකාව ඇතුළු රටවල් 20කට වැඩි සංඛ්‍යාවක ගීත දර්ශක අතර අංක එකට පත්වූ අතර, 1987දී නිකුත් කළ ‘Faith‘ ගීතය ලෝක ප්‍රකට ගීත දර්ශකයේ සති 12ක්ම පෙරමුණ ගත්තේය. අනතුරුව එක පෙළට නිකුත් වූ Father Figure, One More Try සහ ‘Monkey‘ ගීත ද ඊට දෙවැනි නොවීය. වසර 1988දී ලොව වැඩිම අලෙවිය ඇති ගීත ඇල්බමයේ හිමිකරු බවට පත්වූ ජෝර්ජ් මයිකල්ගේ ‘Faith‘ ගීය ඇතුළත් ඇල්බමය ඊළඟ වසරේදී වසරේ ගීත ඇල්බමයට හිමි ග්‍රැමී සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
ඕනෑම ක්ෂේත්රයකින් ලොවක් දිනූ බොහෝ පුද්ගලයන් සේම ජෝර්ජ් මයිකල්ගේ පෞද්ගලික ජීවිතයත් හැලහැප්පීම් කන්දරාවකින් පිරුණු එකකි. එහෙත් බොහෝ ගායක ගායිකාවන් මෙන්ම ජෝර්ජ් මයිකල් ද වේදිකාවේ ගී ගයමින් නර්තනයේ නිරත වූයේ ඒවා සඟවා තබා ගනිමිනි. අසූව දශකයේදී ලන්ඩන් නුවර ඇතුළු ලොව පුරා ප්‍රසංග වේදිකාවේ අතිශය ජනප්‍රිය පොප් ගී තරුවක් බවට පත්වූ ජෝර්ජ් මයිකල්ගේ ජීවිතයේ අඳුරු යුගය ආරම්භ වූයේ අනූව දශකයේදීය. ඔහු කාලයක් සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බ්‍රසීල ජාතික මෝස්තර නිර්මාණ ශිල්පි ඇන්සෙල්මෝ ෆෙලෙප්පා රෝගාතූර වී මියයෑමත් ඊට වසර 4කට පසු ඔහුගේ මව ලෙස්ලි ඇන්ගෝල්ඩ් පිළිකා රෝගයෙන් මියයෑමත් ජෝර්ජ් මයිකල්ගේ පෞද්ගලික ජීවිතය පමණක් නොව ගායන ජීවිතයත් එහෙම පිටින්ම ව්‍යාකූලත්වයට පත් කර තිබිණි. ඔහුගේ ජීවිතයට වඩාත්ම සමීප වූ එකම කාන්තාව ඔහුගේ මව පමණකි.
සාර්ථකත්වය පිටුපස අඳුරු ජීවිත අත්දැකීම්
ජෝර්ජ් මයිකල් සමලිංගිකයකු බව මුලින් දැන සිටියේ ඔහුගේ සමීපතමයන් පමණි. බ්‍රසීල ජාතික මෝස්තර නිර්මාණ ශිල්පියා සමඟ ඔහු එකට ජීවත්වූ බව දැන සිටියෙත් අතළොස්සක් පමණි. ජෝර්ජ් මයිකල් සමලිංගිකයකු බව ලොව පුරා ප්‍රසිද්ධ වූයේ 1998 අප්‍රේල් මාසයේ දිනයක ඔහු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එක්තරා ප්‍රසිද්ධ ස්ථානයක අනාචාරයේ හැසිරීමේ වරදට පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඒ වනවිට ඔහුගේ පෙම්වතා බවට පත්වී සිටියේ අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයකු වූ කෙනී ග්‍රොස් ය. ජෝර්ජ් මයිකල් ඔහු හඳුන්වා දුන්නේ ඔහුගේ කළමනාකරු හැටියටය. ප්‍රසිද්ධ ස්ථානයේ අනාචාරයේ හැසිරීමේ සිද්ධියත් සමඟ තමා සමලිංගිකයකු බව ජෝර්ජ් මයිකල් ප්‍රසිද්ධියේ පිළිගත්තේය. ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීමේ චෝදනාවට ඔහු පසුව ලන්ඩන් නුවරදීත් අත්අඩංගුවට පත්වූ අතර, මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා තහවුරුවීම නිසා අවස්ථා කිහිපයකදීම සිරදඬුවම් විඳින්නට ද සිදු විය. ඊළඟ වසර කිහිපයේ කවුරුත් වැඩිපුර ඔහු දුටුවේ උසාවි ගානේ රස්තියාදු වෙමින් සිටියදීය.
අවසන් කාලයේ ඔහු ගත කරමින් සිටියේ හුදෙකලා ජීවිතයකි. ඒ වෙද්දී කෙනී ග්‍රොස් ඔහුගෙන් ඈත් වී සිටි අතර, ලෙබනන් සහ ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති ෆාඩි ෆවාස් ජෝර්ජ් මයිකල්ගේ තුන්වැනි පෙම්වතා බව කවුරුත් දැන සිටි අතර, ඒ ගැන වැඩිපුර කතාබහට ලක්වූයේ ද නැත.
අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගයෙන් කාලයක් පීඩා විඳිමින් සිටි ජෝර්ජ් මයිකල් තවත් රෝග ගණනාවක ‘පැකේජයකි.‘ ඔහු මියගියේ 2016 දෙසැම්බරයේ 25 වැනිදා අලුයමේදීය. ෆාඩි ෆවාස්ට අනුව ඊට පෙර දින රාත්‍රියේ සිට ජෝර්ජ් මයිකල් එංගලන්තයේ දකුණු ඔක්ස්ෆර්ඩ්ෂයර් පිහිටි ඔහුගේ මන්දිරයේ සිටියේ තනිවමය. එදින රාත්‍රී ෆවාස් එහි නොසිටියේය. ජෝර්ජ් මයිකල් සදහටම නිහඬ වී ඇති බව ෆවාස් දැනගත්තේ නත්තල් දිනයේ අලුයම ඔහු මුණගැසීමට ගිය මොහොතේදී බව පසුව වාර්තා විය.
Last Christmas, I gave you my heart
But the very next day you gave it away
This year, to save me from tears
I’ll give it to someone special…!
සෑම නත්තලකදී මෙන් මෙවරත් මේ අපූරු ගීතය බටහිර ගීතලෝලීන් අතර යළි යළිත් ජීවමාන වනු ඇත.