පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
පසුගිය වසරේ මාර්තු මස පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවූ නමුත් මේ වන විට එම අවස්ථාවේ තිබූ ඇතැම් පක්ෂ ද නොමැති බවත් මේ නිසා නාම යෝජනා අවලංගු කර නැවත නාමයෝජනා කැඳවීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා පස්වරුවේය.·
කැබිනට් මණ්ඩල තීරණයකට අනුව නාමයෝජනා අවලංගු කිරීම සඳහා වන පනත මේ වන විට සකස් කර තිබෙන බවත් එය ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
ඒ පනත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත නාමයෝජනා කැඳවා අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
පළාත් සභා මැතිවරණය ද ලබන වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ද ජනපතිවරයා මෙහිදී පැවසුවේය.
අසේල කුරුළුවංශ