Home » මිහිපිට දෙව්ලොව බඳු ඇන්ටන් චෙකොෆ් දුටු පාරාදීසය

මිහිපිට දෙව්ලොව බඳු ඇන්ටන් චෙකොෆ් දුටු පාරාදීසය

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment
චෙකොෆ් මුගටියකු සුරතල් කරන අයුරු දැක්වෙන සිතුවමක් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය එදා

ත සරතැසින් දැවී, දහදියෙන් තෙත්ව හිස රුදා දෙන්නට විය. සෙවණක් සොයා ගත නිවා ගැනීමට වටපිට බැලුවද හැම අතම කොන්ක්‍රීට් වෘක්ෂයෝ යක්ෂයන් මෙන් දත් විලිස්සා බලා සිටිති. තෙතමනයක් සිසිලසක් ඇති ගහකොළක් මේ ගෙන්දගම් පොළොවේ පෙනෙනතෙක් මානයේ නැත. සියලු පීඩා සමසිතින් දරාගෙන කොන්ක්‍රීට් වෘක්ෂයන්ගෙන් ගැවසීගත් යෝර්ක් විදිය දිගේ ඇවිද යන අතරතුර මම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසලට පැමිණියෙමි. එහි සිය දියණිය හා බිරිය සමඟ පියසිරි කුලරත්න සහෝදරයා සිටිනු දුටු මම විනිවිද පෙනෙන වීදුරු සවි කළ දොර පියන විවර කරමින් හෝටලයට ඇතුළු වුණෙමි.

ඔර්යන්ටල් හෝටලයේ තබා ඇති චෙකොෆ්ගේ මූර්තිය

ඔර්යන්ටල් හෝටලයේ තබා ඇති චෙකොෆ්ගේ මූර්තිය

“කොහොමද පියසිරි සහෝදරයා, මොකද මේ පැත්තේ කරන්නේ.” යැයි අසමින් මම ඔහු අසලට ගියෙමි. “කොළඹ ආපු ගමන් මේ පැත්තට ආවා; බැරිද මල්ලි අපි තුන්දෙනාගෙ පින්තූරයක් අරන් දෙන්න.” ඇන්ටන් චෙකොෆ්ගේ මූර්තිය අසල හිඳිමින් ඔහු ඇසුවේය. ඔහුගේ ජංගම දුරකතනය අතට ගත් මම නොයෙක් ඉරියව්වලින් ඔවුන් ඡායාරූපගත කළෙමි. මට ස්තූතිය පුද කළ ඔවුහු හෝටලයෙන් පිටව ගියහ. එහෙත් හෝටලයේ තිබූ චෙකොෆ් පිළිරුව අසල අනිමිස වූ මගේ මතකය දිව ගියේ ඇන්ටන් චෙකොෆ්ගේ ලංකා ගමන ගැනය. රුසියානු සාහිත්‍යයට ලොබ බැඳී ශ්‍රී ලාංකිකයන්ට චෙකොෆ් යනු අලුතින් හඳුන්වාදීමට තරම් අටුවා ටීකා අවශ්‍ය අයකු නොවේ.

චෙකොෆ් ග්‍රෑන්ඩ් ඔරියන්ටල්හි නවාතැන් ගැනීම ගැන වැඩිමනත් තොරතුරු දැන ගනු රිසියෙන් මම හෝටලයෙහි කළමනාකාරවරයකු සමඟ පිළිසඳරේ යෙදුණෙමි. අනතුරුව ඔහු, මා චෙකොෆ් නවාතැන් ගෙන සිටි කාමරය නැරඹීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නේය. කාමරයට ඇතුළුවත්ම චෙකොෆ්ගේ නොයෙක් ඡයාරූප එහි එල්ලා තිබෙනු දැකිය හැකි විය. ඔහු සයනය කළ වියන් ඇඳ, අල්මාරිය, කණ්ණාඩි මේසය, සෝපාව හා කැටයම් කළ පෙට්ටගම එහි විය.

කාමරයේ වූ ජනෙල් කවුළුවෙන් හාත්පස චෙකොෆ්ට දර්ශනය වූයේ කෙසේදැයි බැලීමි. ඔහු නෙත ගැටුණ වරාය පරිශ්‍රය අචට මොනතරම් චමත්කාරජනක වන්නට ඇතිද?

ඇන්ටන් චෙකොෆ්

ඇන්ටන් චෙකොෆ්

චෙකොෆ් පරිහරණය කළ මේසය හා පුටුව දුටු මා ඔහු වාඩිගත් පුටුව මත මහත් අභිරුචියෙන් වාඩිවී දෙඅත් මේසය මත තබා ගතිමි. කෙනකුට ජීවිතයේ ලෙහෙසියෙන් නොලැබිය හැකි අපූර්ව අවස්ථාවක් සේ එය මට හැඟිණි.

ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යකරුවකු වූ ඇන්ටන් චොකොෆ් සිය ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කරමින් 1890 පිටර්ස්බර්ග් නම් කොප්පරා ප්‍රවාහනය කළ දුම් නැවක නැඟී සක්හලීන් බලා යාත්‍රා කළේය. මෙම දූපත ඉතා භයානක අපරාධකාරයන් රඳවා දඬුවම් කිරීමට රුසියාව විසින් යොදාගත් සිරකඳවුරකි. වෙනත් කිසිදු ප්‍රවාහන සේවයක් නොවූ එකල ඒ තුළට ගමන් කළ යුතු වූයේ බොහෝ දුෂ්කර තත්ත්යන් මධ්‍යයේ ය. සිරකරුවන්ට ලෙහෙසියෙන් පැනයාමට නොහැකි හෙයින් මෙම දූපත තෝරා ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මාස තුනක් පමණ දුෂ්කර ගමනක යෙදුණු චෙකොෆ්, එය හැඳින්වූයේ ලොව ඇති භයානකම අපාය ලෙසය.

මෙවන් දුෂ්කර ගමනකට ඔහු පෙලඹවූයේ සිය උදාසීන ලේඛන දිවිය හා සාර් පාලනයට විරුද්ධව සටන් කිරීමට ඔහු තුළ වූ නොහැකියාව වන්නට ඇතැයි මහ­ාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් “චැකොෆ් හා ලංකාව“ කෘතියෙහි සඳහන් කර ඇත.

චෙකොෆ්ගේ ජීවිත පුවත ලියන ඔහුගේ සොහොයුරු මිඛායෙන් පවසන ආකාරය චෙකොෆ් ලංකාව ගැන නිතර ස්මරණය කරමින් කතා කරයි. චෙකොෆ් ලංකාව ගැන ලියා ඇති ඇතැම් කාරණා ශෘංගාරත්මකය. “මම ලංකාවේදී දුඹුරු පැහැ ඇස් ඇති ස්ත්‍රීන් සමඟ සඳ එළියෙන් බැබළෙන පොල් රුප්පාවක් යට ප්‍රේමයෙන් වෙළුණෙමි.” හේ ලියා තිබේ.

ලංකාවේ නැවතී සිටි කෙටි කාලය තුළ ඔහු විසින් කරන විස්තරවල ලංකවේ සිත්ගන්නා සුලු කාලගුණය ඇළ, දොළ, කඳුවැටි හා පොල්රුප්පා ඒ අතරින් පෙරී එන සඳරැස් ගැන ඉතා මනරම්ව විස්තර කරයි. පාරාදීසයක අනිවාර්යයෙන් දැකිය යුතුම වූ කාන්තාවන් ලංකාවේ නොඅඩුව සිටින බවත් සඳරැසින් නැහැ වුණු නග්න කාන්තා ශරීරය රන්වන් පාටින් බැබළුණු බවත් හේ මහත් අභිරුචියෙන් වර්ණනා කරයි.

“මට අපායට යන මාර්ගයත් දිව්‍ය ලෝකයට යන මාර්ගයත් එකම කාලයක අත්විඳීමට හැකිවිය. සක්හලීන් මට අපායකි. අනතුරුව මා ගිය ලංකාව යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පාරාදීසයකි. මේ පාරාදීසය ගැන මා කියන ප්‍රකාශ ඇතැම්විට ආදම්ගේ ප්‍රකාශ හා සමාන විය හැකිය. ලංකාවේ තාල වර්ගයේ ගස් අතරින් පෙරී එන මළ හිරුගේ දර්ශනයෙන් අත්‍යන්තයෙන්ම මම මහත් සේ සතුටට පත්වීමි. පොල්රුප්පා අතරින් සඳ එළිය වැටී තිබූ වෙරළ තීරයේ සඳ එළියේ නැහැවෙමින් කාලවර්ණ ලියන් හා සමහන් සුව විඳි ආකාරය මට කිසිදා අමතක නොවන්නකි. ඇත්තෙන්ම එය දිව්‍යමය ස්වප්නයකි.” යැයි මේ අපූර්ව ලේඛකයා ලියා ඇත. ඔහු සමඟ සමහන් සුව විඳි එක් ස්ත්‍රියකට හෝ දරුවකු ලැබුණහොත් ඇය ඉන් ආඩම්බර විය යුතු බව ද ලියා තිබේ.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ නතර වී කොළඹ හා නුවර සංචාරය කළ කාලය තුළ ලැබූ අත්දැකීම් පිළිබඳව චෙකොෆ් ලියුම් දොළහක පමණ ලියා ඇත. ඔහු ඒවා ලියා ඇත්තේ ලංකාව පිළිබඳව අමන්දානන්දයෙන් යුතුව වීම එහි තිබෙන විශේෂත්වයයි.

චෙකොෆ්, රදළයකු වන බ්‍රොනෝස් හා ඔහුගේ පුතා ද සමඟ 1890 නොවැම්බර් මස 12 වැනිදා කොළඹ වරායට ගොඩ බැස ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ නවාතැන් ගෙන ඇත. චෙකොෆ් කොළඹ වීථි දිගේ ඇවිදින්නට යන්නේ ඒ අතරතුරය. නගරයේ තොරතුරු සොයා දැන ගැනීම ඔහුගේ අභිප්‍රාය වී තිබූ බව පෙනීයයි. ඒ ගමනේදී චෙකොෆ්ට නයි නටවන්නකු හමු විය. නයි නටවන්නා නළාව පිඹිමින් නයා සිටි පෙට්ටියේ පියන ඉවත් කර නයා එළියට ගත්තේය. අනතුරුව නයා, මුගටියකු හා පොරයට දැම්මේය. මේ නයි – මුගටි පොරයෙන් නයා මෙල්ල කළ මුගටියා ඔහුගේ සිත් ගත්තේය. මුගටියකු සොයා එකල කුඩා සත්ත්වෝද්‍යානයක් වූ දෙහිවල සත්ත්වෝද්‍යානයට හෙතෙම ගමන් කර තිබුණි. එහෙත් ඔහුට මුගටියකු හමු වී නැත. අනතුරුව ඔහු එහි සිටි පශු වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් මුගටියන් දෙදෙනකු සොයාගෙන තිබුණි

ලේඛන කටයුතු සඳහා පාවිච්චි කළ මේසය

ලේඛන කටයුතු සඳහා පාවිච්චි කළ මේසය

චෙකොෆ්, අරාබිය මධ්‍යධරණී මුහුද හරහා රුසියාව බලා පිටව යද්දී මේ මුගටියන් දෙදෙනා ද රැගෙන යැමට අමතක කර නැත. මේ මුගටි පැටවුන් දෙදෙනාට සමකාලීන සාහිත්‍යකරුවන්ගේ නාමයන් යෙදීමට චෙකොෆ් සිතා සිටිය ද නැවේ ගමන්ගත් සේවකයන් ඒ වනවිටත් උන්ට නම් තබා තිබූ බැවින් චෙකොෆ්ගේ උත්සාහය ව්‍යර්ථ වී ඇත.

මුගටියන් සැමවිටම තමාට විනෝදය සැපයූ බව චෙකොෆ් සිය මිත්‍රයන් සමඟ පවසා තිබුණි. මුගටියන් දෙදෙනා සිය අමුත්තන් පුදුමයට පත් කළ හරි අපූරු සත්ත්ව වර්ගයකැයි ද හේ ලියා ඇත. චොකොෆ්ගේ සොහොයුරු මිඛායෙන් කියන පරිදි මේ මුගටියන් හැම දෙයක්ම විනාශ කරන්ට, බිඳින්නට සියලු දේ නැති කරන්නට උපන් හපන් සතුන් ය. ඔහුගේ ගම්බද නිවෙසට ගිය මිතුරන්ගෙන් මේ තොරතුරු විමසා දැනගත් රුසියානු මහා සංගීතඥ චයිකොව්ස්කි(Tchaikovsky) ද උන් නැරඹීම පිණිස මොස්කව් සිට චෙකොෆ්ගේ ගම්බද නිවෙස බලා පැමිණ ඇත. වරක් එක් මුගටියකුට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී මරණාසන්න විය. ඌ සුවපත් කළ චෙ‍කොෆ් ඉන් මහත් සතුටට පත් විය. එහෙත් වූ සුවපත් වූ විගස සුපුරුදු ලෙසම පිඟන්, කෝප්ප බිඳින්නටත් කලබල කරන්නටත් පටන් ගත්තේය. කෙසේ නමුත් වසර තුනකට පමණ පසුව මෙම මුගටියන් දෙදෙනා මොස්කව් සත්ත්වෝද්‍යානයට බාර දීමට අවශ්‍ය කටයුතු සලසා ඇතිමුත් මොස්කව් සත්වෝද්‍යානයේ ඔවුන් සිටි බවට පැහැදිලි සටහනක් නොමැත.

1959 දී මාර්ටින් වික්‍රමසිංහ චෙකොෆ්ගේ ක්‍රිමියාවේ පිහිටි නිවෙස බලන්නට ගිය බවත් ලංකාවෙන් ගෙනගිය ඇත් රූප එහි දී දුටු බවත් හෙතෙම ලියා තිබේ.

චෙකොෆ්, සක්හළින් දූපතේ කළ සංචාරයන් ඇති වූ පීඩාව සිංගප්පූරු ගමනින් පසු තවත් අධික වී තිබුණි. එහෙත් ලංකාවට පැමිණ සංචාරය කිරීමත් සමඟ ඔහුගේ ඒ පීඩාව තුරන් වී තිබුණි. මෙනිසා තමන් “පාරාදීසයකට පැමිණියේය” යන හැඟීම ඔහු තුළ විය. එය ඔහු සුවොරින් නම් පුවත්පත් කතුවරයාට ලියා යැව්වේය.

“මා ඊයේ ලංකාවට පැමිණියා. ඇත්තෙන්ම මෙය පාරාදීසයක්. දකුණු ආසියාවේ පාරාදීසයක් බඳු දූපතක් පිළිබඳව ඇතැම් ග්‍රීක ප්‍රබන්ධ කතාවල සඳහන් වන බවත්, මීට ශත වර්ෂයකට පමණ පෙර මෙහි පැමිණි ඇතැම් සංචාරකයන් පවා එය විශ්වාස කළ බවත් ඔබ දැන සිටියේ ද?” චෙකොෆ් සුවොරින්ගෙන් ප්‍රශ්න කරයි.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ඔහු ලැඟුම් ගත් කාමරයේ මේසය මත හිඳ (අදත් මේ මේසය දැකිය හැකිය) ඔහු ‘ගුසෙෆ්’ නම් කෙටිකතාව ලිවීම ආරම්භ කළේය. ඒ සඳහා පාදක වී තිබුණේ සක්හලීන් දූපතේ කළ සංචාරත්, එහි සිට නැවත එන ගමනේදී නැවේ සිට මියගිය පුද්ගලයන් දෙදෙනකු මුහුදට දැමූ සිද්ධියත්, මෙරට සංචාරය සමඟ ඇති වූ අාහ්ලාදජනක මනෝභාවයත් ය. මෙම කෙටිකතාව ඔහුගේ විශිෂ්ට කෙටිකතාවන්ගෙන් එකකි. එසේම මෙරට සංචාරයෙන් අනතුරුව ඔහුගේ ජීවන දෘෂ්ටිය වෙනස් මඟකට යොමු වී තිබිණි. මෙරට සංචාරයෙන් පසුව ඔහු කළ නිර්මාණ ඊට කදිම සාක්ෂිය.

“චැකොෆ් හා ලංකාව” කෘතියේ මාර්ටින් වික්‍රමසිංහත් චෙකොෆ් මහනුවරට ගිය ගමන ගැන විස්තර කර ඇත.

“නුවර වැව වටේ ඇවිදින්නට ගිය චොකොෆ්ට ගැලවීමේ හමුදාවේ පෙරහරක් හමුවිය. හින්දු සාය හැඳ ගත් ගෑනු බෙරය, ඇකෝඩිනය හා ගිටාරය ගත්තෝ ද, කළු තරුණයෝ හා රතු හැට්ටයක් හැඳ ගත් කාපිරියෙක්ද ඒ පෙරහරෙහි වූහ යැයි” චෙකොෆ් ලියා තැබීය.

එසේම 1891 අගෝස්තු 13 වැනිදා චෙකෝෆ් මිතුරකුට ලියමනක් යවමින් මෙලෙස පවසා තිබුණි.

“ලංකාවේ දී කිසියම් වෙනස් විභූතියක් දැක්කා මිස, රුසියාවේ හෝ වෙනත් රටවල දී එවන් විභූතියක් මා දැක නැත.”

ඇන්ටන් චෙකොෆ් නම් මේ අපූර්ව ගත්කතුවරයා, නාට්‍යවේදියා ලංකා ගමනින් පසු රුසියාවට රැගෙන ගියේ පාරාදීසයක මතකය මිස අන් කුමක් දැයි මහාචාර්ය ලුඩොවයික් ප්‍රශ්න කරන්නේ ඔහුගේ ලංකා ගමන එතරම් සුවිශේෂි එකක් වන නිසාය. අදත් රුසියානුවන් ලංකාවට එන්නේ චෙකොෆ් දුටු පාරාදීසය සොයාගෙන විය හැකිය.

ඇන්ටන් චෙකොෆ් නවාතැන්ගත් කාමරය

ඇන්ටන් චෙකොෆ් නවාතැන්ගත් කාමරය

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division