ගෝලීය ලෝක පර්යාය අන් කවරදාකටත් වඩා සංකීර්ණ මෙන්ම වියවුල්කාරී වී ඇති අතරම අභ්‍යන්තරික මෙන්ම බාහිර වශයෙන් ද සිදුවන සිදුවීම් පැහැදිලි මානයක් ඔස්සේ විග්රහ කිරීම ද ඒ තරමටම දුෂ්කරය. ජාතික රාජ්‍යයන්ගේ අභිලාෂයන් ජාත්‍යන්තර අභිලාෂයන් තෙක් පුළුල්වීම තුළ රටක් අභ්‍යන්තරයේ සිදු වන අනපේක්ෂිත සිදුවීමක්, සිද්ධි ජාලාවක ප්‍රතිඵලයක් බව ස්ථිරවම ප්‍රකාශ කළ හැකිය. පසුගිය සතියේ ජර්මනිය දෙසින් ඇසුණේද මේ ආකාර පුවතකි.
ජර්මනියේ මැඩිබර්ග් නත්තල් වෙළෙඳ සංකීර්ණයක් ඉලක්ක කොට ගනිමින් දෙසැම්බර් 20 වැනිදා එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් සමස්ත ලෝකයම දැඩි ලෙස කම්පාවට පත් වී ඇත. යුරෝපීය මෙන්ම ගෝලීය දේශපාලනය ද මේ පුවතින් කැලඹී ඇති අතර, පසුගිය 20 වැනිදා මෝටර් රථයක් ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ මෙම අපරාධය පිළිබඳ ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කෙල්ෆ් පවසා ඇත්තේ මෙය කිසිසේත් අදහාගත නොහැක්කක් බවය.
නත්තල් ප්‍රීතිය සොරාගත් අපරාධය
බර්ලින් නගරයෙන් කිලෝමීටර 130ක දුරින් බටහිර දෙසට වන්නට පිහිටි නගරයක් වූ මැඩිබර්ග් නගරයේ සිදු වූ මෙම අනතුර ලොව පුරා විසිරී සිටින කිතුනු බැතිමතුන් මෙන්ම අන්‍ය ආගමිකයන් ද ඉතා ශෝකයට පත් කළේ ඒ වන විට නත්තල උදා වීමට තිබුණේ දින කිහිපයක් වූ නිසාය. ජර්මනියේ සෙසු ස්ථානවල ද සතිඅන්ත නත්තල් දේව මෙහෙයන් මේ තත්ත්වය මත අවලංගු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජර්මනිය ලබන පෙබරවාරියේ මැතිවරණයකට සූදානම් වන අතර, දේශපාලනමය වශයෙන් මේ දිනවල ජර්මනිය පසුවන්නේ විවිධ දෝලනකාරී වටපිටාවකින් හෙබි පරිසරයකය. මෑතකාලීනව ජර්මනිය ප්‍රහාර කිහිපයකටම ලක් වූ රාජ්‍යයකි. පසුගිය සිකුරාදා ප්‍රහාරය මෙන්ම ට්රක්රථයක් උපයෝගී කරගනිමින් මීට වසර 8කට පෙර ද බර්ලිනයේ නත්තල් දේව මෙහෙයකට සිදු කළ අපරාධයක් වාර්තා වී ඇත. එම අවස්ථාවේදී ද පුද්ගලයන් 13ක් මියගොස් ඇත. පසුගිය සිකුරාදා අනතුරින් ද නව හැවිරිදි දරුවකු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇත. පුද්ගලයින් 200ක් පමණ දැඩි තුවාල ලබා රෝහල්ගත කර ඇත. නත්තල් ප්‍රහාරය හුදෙක් අනතුරක් පමණක් නොව මේ තුළ සැඟවුණු සිද්ධිය කුමක් දැයි ජර්මානු ආරක්ෂක අංශ මේ වන විටත් පරික්ෂණ පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුර සිදු කළේ කවුරුන්ද?
දෙසැම්බර් 20 වැනිදා සවස සිදු වූ මෙම අපරාධයේ සැකකරු 50 හැවිරිදි තලේබ් අල් අබ්දුල්මෝසන් නමැති පුද්ගලයෙකි. මොහු සවුදි අරාබියානු ජාතිකයකු වන අතර, දශක දෙකක පමණ කාලයක සිට ජර්මනියේ ජීවත් වන්නෙකි. 2006දී සවුදි අරාබියානු සරණාගතයෙක් ලෙස ජර්මනියට පැමිණ ඇති මොහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් ලෙස විස්තර වේ. තලේබ් අල් අබ්දුල්මෝසන් පිළිබඳ කරනු ලැබූ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, මොහු ඉස්ලාම් විරෝධි අයෙකු බවත් මෙම අනතුර කිරීමට පෙලඹුනේ ඇයිද යන්න තවමත් නිශ්චිතවම පැහැදිලි කරගෙන නොමැති බවය. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසු ජර්මානු ආරක්ෂක අංශ ජනයා ගැවසෙන ප්‍රදේශවල ආරක්ෂාව විශල වශයෙන් තර කර ඇති බව පැවැසේ.
මැඩිබර්ග් නඩුකාරතුමා ප්‍රකාශ කර ඇති පරිදි (Horst Nopens) සවුදි සරණාගතයන් පිළිබඳ ජර්මානු බලධාරීන් අනුගමනය කරනු ලබන ප්රතිපත්තීන්වල නොපැහැදිලිභාවය යම් විටෙක මෙයට හේතු වූවා විය හැකිය. Der Spiegel සඟරාව, ජර්මානු ආරක්ෂක අංශ වෙත දන්වා ඇත්තේ, සවුදි රහස් ආරක්ෂක සේවාව මීට වසරකට පෙර ජර්මානු ස්පයි ඒජන්සිය වෙත යම් ආකාර දැනුම් දීමක් කර ඇති බවය. ඒ තලේබ් අල් අබ්දුල් මෝසන් විසින් ස්වකීය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දන්වා ඇත්තේ, “සවුදි අරාබියානු සරණාගතයන්ට, ජර්මනිය සලකනු ලබන ආකාරය පිළිබඳ ඔවුන්ට යම් මිලක් ගෙවීමට සිදු වනු ඇති බවයි” යන්න විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එමෙන්ම තලේබ් අල් අබ්දුල්මෝසන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ජර්මානු තානාපති කාර්යාලයෙන් මෙන්ම අදාළ නිලධාරින් හරහා සරණාගතයන් පිළිබඳ ගැටලුවට යම් සාධාරණයක් වූවා නම් එය පෙන්වා දෙන මෙන් ප්‍රශ්න කර ඇති බවත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වී ඇත. එබැවින් පසුගිය සිකුරාදා සිදු වූ අනතුර සවුදි සරණාගතයන් පිළිබඳ ගැටලුව මුල්කොට ගනිමින් ඇති වූ යම් ගැටලුකාරී ස්වරූපයක ප්‍රතිබිම්බයක් ලෙස ද සලකා පරීක්ෂණ මෙහෙය විය යුතු බව බොහෝ දේශපාලන විචාරකයෝ පවසන්නේ එබැවිනි. එමෙන්ම තලේබ් අල් අබ්දුල්මෝසන් සමාජ මාධ්‍ය ඔස්සේ විග්රහ වී ඇත්තේ ඔහු මුස්ලිම් විරෝධී හැඟීම් උද්දීපනය කළ අයකු ලෙසය.
නත්තල් ප්‍රහාරයේ විමර්ශන අවසන්ද?
දෙසැම්බර් 20 වැනිදා ජර්මනියේ නත්තල් වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය හමුවේ තලේබ් අල් අබ්දුල් මෝසන් තවමත් සැකකරුවකු පමණි. 2016 පටන් තලේබ් අල් අබ්දුල්මෝසන් ජර්මානියේ රැකවරණය ලැබ ඇති අතරම, ජර්මනිය 2015 පටන් ස්වකීය දේශසීමා විවෘත කිරීමෙන් පසු මැදපෙරදිග සංක්‍රමණිකයන් මිලියනකට වඩා වැඩි ප්‍රමාණයක් සරණාගතයන් ලෙස ජර්මනියට සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මෙම වටපිටාව තුළ 2016 පටන්ම තලේබ් අල් අබ්දුල් මෝසන් ද ජර්මනිය ස්ථිර පදිංචිය කොටගෙන තිබීම හරහා වෛද්‍ය වෘත්තියට අමතරව ඉස්ලාමී විරෝධි අන්තවාදී මතවාද සමාජ මාධ්‍යවලින් ප්‍රචලිත කිරීමට ඔහු කටයුතු කිරීම ගැටලුසහගතය.
මේ අතර ජර්මනියේ ෆෙඩරල් අපරාධ පොලිස් කාර්යාංශයේ ප්‍රධානි වූ හොල්ග මින්ච් ප්‍රකාශ කර ඇත්තේ, සවුදි අරාබියෙන් මේ පිළිබඳ ඔවුන් දැනුම්වත් කර තිබූ බවත් එතැන් පටන් අවශ්‍ය විමර්ශන කටයුතු තමන් ඉදිරියට ගෙන ගිය බවත්ය. මෙම තත්ත්වය හමුවේ සවුදි රජය දැනුම් දී ඇති සුවිශේෂි කරුණක් ලෙස විස්තර වන්නේ මෙම ප්‍රහාරයේ සැකකරු සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතු ඉදිරියට රැගෙන යාම කළ යුතු බවයි යන්න නවතම විදෙස් මාධ්‍ය තොරතුරු ඔස්සේ විග්රහ වේ. ජර්මානු නත්තල් වෙළෙඳ සංකීර්ණයේ ප්‍රහාරය පිළිබඳ සැකකාර ඉස්ලාම් විරෝධි අන්තවාදී අදහස් පැතිරවීමට දරන ප්රයත්නය හමුවේ ඒ පිළිබඳ සවුදි බලධාරින් දක්වන අප්‍රසාදය මේ තුළින් ප්‍රදර්ශනය වන බව විදෙස් මාධ්‍ය දක්වා තිබිණි.
ජර්මනිය මේ වන විට 2025 පෙබරවාරි පැවැත්වීමට නියමිත නව මැතිවරණය හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ මැතිවරණ සැලසුම් හා ප්‍රතිපත්ති දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. මෙම පක්ෂ අතරින් ජර්මනියේ මධ්‍යගත දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරන්නා වූ ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමය (CDU) හා ඔවුන්ගේ බාවේරියන් සහෝදරාත්මක පක්ෂය වූ ක්‍රිස්තියානි සමාජ සංගමය ඒකමතිකවම පොරොන්දු දී ඇත්තේ, බදු අඩු කිරීම හා නීතිවිරෝධී සංක්‍රමණ නැවැත්වීමට කටයුතු කරන බවටය. වර්තමානයේ උද්ගත වී ඇති ප්‍රහාරාත්මක සිද්ධිය ද ජර්මනියේ සංක්‍රමණික ගැටලුවට සම්බන්ධ බැවින්, ජර්මනියේ ඉදිරි දේශපාලන වෙනස්වීමද යම් ආකාර බලපෑමක් මෙවැනි සිද්ධීන් උදෙසා එල්ල කරනු බව නොඅනුමානය.
පී. ආර්. දුෂාන්ති සිල්වා