දූ දරුවන් අතර ඇතිවන සුළු සුළු රණ්ඩු දබර ටික දිනකින් අමතක කර ඔවුන් මිතුරු වන අවස්ථා බොහෝය. ඒ ඔවුන්ගේ හිත්වල වෛරය පැලපදියම් වී නොමැති නිසාය. එහෙත් එවැනි සිදුවීම්වලට වැඩිහිටියන් මැදිහත් වන අවස්ථා ද එමටය. ඒ නිසා සිදුවන විනාශය ද සුළුපටු නොවන බව පැහැදිලිය. දරුවන් දෙදෙනෙකුගේ රණ්ඩුවකට මැදිහත් වීමට ගිය වැඩිහිටියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ පුවතක් වාර්තා වූයේ කළුතර ප්‍රදේශයෙනි. ඒ පසුගියදාය. කළුතර දකුණ පොලිස් පොතේ ලියැවී ඇති ආකාරයට මෙම සිද්ධිය පෙළ ගැසෙන්නේ මේ අයුරිනි.
ඔහු නමින් සුදත්ය. හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන සුදත් දෙදරු පියෙකි. ඔහුගේ දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතර පුතු මේ වන විට සිටින්නේ විදේශගතවය. නාගොඩ දකුණ, වෙනිවැල්කැටිය, වෙන්දේසි වත්තේ නිවෙසේ සිට බිම්මල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන සුදත් කිසිවකුටත් කරදරයක් හිරිහැරයක් නොකරන අහිංසක චරිතයක් ලෙස කා අතරත් ප්‍රසිද්ධය. අසාධාරණයේදී නැඟී සිටින ඔහු තරමක් උස් හඬින් කතා කරන කෙනෙකු ද වේ.
සුදත්ගේ නිවෙසට පහළින් ඇති නිවෙසේ පදිංචිව සිටින පුද්ගලයා ඔහුගේ මිතුරෙකි. අවුරුදු 16ක් 17ක් පමණ වයස ඇති “සසික” මිතුරාගේ පුතාය. මෙම නිවෙසට නිවෙස් කීපයකට ඈතින් පදිංචිව සිටින “ශමල්” ද සම වයස් මිතුරන්ය. තරමක් දඟකාර ගති ඇති ශමල් බයිසිකලය වේගයෙන් ධාවනය කරමින් සසිකගේ නිවෙස ඉදිරිපිටින් කීප වරක් එහා මෙහා ගමන් කිරීම විනෝදාංශයක් ලෙස කරගෙන යෑමට පටන් ගත්තේ කොලුකමට වුවත් කාටත් හිරිහැරයක් වන පරිදය. කුඩා දරුවන් නිතරම මාර්ගයට යන එන බැවින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව අවබෝධ කරගත් වැඩිහිටියන්ට ද මෙම සෙල්ලම විශාල හිසරදයක් වී තිබිණ. මේ නිසා සසික, ශමල්ට පැවසුවේ මේ ආකාරයට බයිසිකලය සිය නිවෙස ඉදිරිපිටින් ධාවනය නොකරන ලෙසය. මෙයින් කෝපයට පත් ශමල් හිස්වැසුමෙන් සසිකගේ මුහුණට ගැසුවේ ඔහු අවවාදය නොරිස්සූ බැවිනි. සසිකගේ වැඩිහිටියන් කටයුතු කළේ සසිකව රෝහල්ගත කිරීමටය.
දරුවන් අතර හටගත් ආරවුල පිළිබඳව සසිකගේ පියා අසල්වැසි මිතුරා වන සුදත් සමඟ පවසා සිටියේ සසිකට පහර දීම පිළිබඳව හිත් වේදනාව සමනය කර ගැනීමට විය යුතුය.
අසල්වැසියාගේ දරුවාට සිදුකළ අකටයුත්ත පිළිබඳව කල්පනා කළ සුදත් ඔහු සමඟ ශමල් සොයා ගියේ සසිකට පහර දීම පිළිබඳ විමසා සිටීමටය. මෙහිදී සුදත් විසින් ශමල්ගේ කට මිරිකා පහරක් ගසා ඇත්තේ සිදුවූ කතාබහක ප්‍රතිඵලයක් ලෙසය.
විවාහකයෙකු වන ශමල්ගේ අයියා 27 හැවිරිදිය. වැවිලිකරුවකු වන ඔහු පදිංචිව සිටියේ නාගොඩ ගුණතිලක වත්තේ වුවත් මේ වන විට ඔහු සිටින්නේ පියාට අයත් අගලවත්ත, කිතුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ‘දොස්තරවත්තේ’ පිහිටි නිවෙසකය. එහි නැවතී වත්තේ වැඩ කටයුතු කරගෙන සිටින ඔහුට මෙම සිද්ධිය ගැන දැනගැනීමට ලැබෙන්නේ පිටස්තර පුද්ගලයෙකු මාර්ගයෙනි. ගමේ අසල්වැසි වැඩිහිටියන් දෙදෙනෙකු පැමිණ බාල සහෝදරයාට සිදු කළ මෙම ක්‍රියාව පිළිබඳ ඔහුට ඇති වූයේ විශාල කෝපයකි. වත්තේ වැඩ කරන කම්කරුවන් දෙදෙනෙකු ද එකතු කරගත් ඔහු මත්පැන් පානය කර යතුරුපැදියකින් වෙනිවැල්කැටියට එන්නේ මේ අනුවය. ඒ තියුණු ආයුධ ද අතැතිවය. ඔවුන්ගේ ආගමනයත් සමඟ වෙනිවැල්කැටිය ගම්මානය යුධපිටියක් බවට පත්වීමට වැඩි වේලාවක්ගත වූයේ නැත.
නිවෙසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට සුදත් බිරිය සමඟ යතුරුපැදියෙන් නිවෙස අසල වෙළෙඳසැලකට පැමිණ සිටි අතර වාග් ප්‍රහාරවලින් ආරම්භ වූ සටන් ප්‍රතිවාදින් විසින් සුදත්ගේ යතුරුපැදියට පහරදී අලාභ හානිකර පලා යාමට තරම් උද්වේගකර එකක් විය.
සිදුවීමට යන විපත පිළිබඳ සුසුම් හෙළු සුදත්ගේ බිරිය මේ පිළිබඳව පැමිණිලි කිරීමට පොලිසිය සොයා දිව ගිය අතර විරුද්ධවාදින් තිදෙනා නැවතත් සුදත් සොයාගෙන පැමිණියේ එම නිවෙස පිටුපස ප්‍රදේශයෙන් හොර රහසේය.
මෙයින් තැති ගත් සුදත් කඩුවක් ද සොයා ගත්තේ තමන්ට සිදුකළ අලාභ හානිය පිළිබඳ දැවෙන කෝපයෙන් යුතුවය.
දමිළ චිත්‍රපටියක් තරමටම මෙම සටන තීව්ර වූ අතර සුදත්ගේ අතින් කඩුව බිම වැටුණේ ඔහු බලාපොරොත්තු නොවූ ආකාරයටය.
ඔහුගේ මරුවා සිටින්නේ ඔහු රැගෙන ආ කඩුවේම බව ඔහුට වැටහෙන විට බොහෝ ප්‍රමාද වී වැඩිය.
එය අතට ගත් ප්‍රතිවාදීන්ගෙන් එකෙක් මරු පහර එල්ල කරන්නේ ඔහුගේ හිස ප්‍රදේශයටය.
කළුතර නාගොඩ රෝහලට රැගෙන ගිය සුදත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම අවසන් ගමන් යන්නේ අසල්වැසියාගේ දරුවාට සාධාරණය ඉෂ්ට කිරීම වෙනුවෙන් පෙනී සිටීමට යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.
කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් නාගොඩ දකුණ, වෙනිවැල්කැටිය, වෙන්දේසි වත්ත ප්‍රදේශයට යන්නේ මේ අනුවය.
මියගොස් ඇත්තේ ජයකොඩි ආරච්චිගේ සුදත් නමැති හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනා ගන්නේ එවිටය.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරට සිද්ධිය පිළිබඳ දැනුම් දෙන පොලිස් නිලධාරීන් කළුතර අධිකරණයට ද අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්ට ද මේ පිළිබඳ දැනුම් දී විමර්ශන කටයුතු යුහුසුලුව ආරම්භ කළේ අපරාධකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සඳහාය.
කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි එදිනම අගලවත්ත, කිතුල්ගොඩ වත්තට ගොස් සැකකරුවන් තිදෙනා සමඟ ඔවුන් රැගෙන ගිය මන්නා තුන සහ අපරාධයට යොදා ගත් කඩුව ද සිය භාරයට ගත්තේ අපරාධයක් සිදුකර කිසි දිනක නීතියෙන් ගැලවීමක් නොමැති බව සනාථ කරමිනි.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ නාගොඩ, ගුණතිලකවත්ත, නොම්මර 25 පදිංචි සසිකගේ සොහොයුරා සමඟ 29 හැවිරිදි කම්කරුවකු වන යක්කලමුල්ල, බඹරදොළ, මයිස්ලාන්වත්ත පැරණි ලිපිනයේ වන පුංචිහේන කන්ද පාර, උඩදෙනිය, කිතුල් ගොඩ, අගලවත්ත පදිංචිකරුවෙකු හා 26 හැවිරිදි කම්කරුවකු වන ගීකියන කන්දවත්ත, කුඩලිගම පදිංචිකරුවෙකි.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ අධීක්ෂණයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිශාන්ත, උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි, සැරයන්වරුන් වන 7859 ප්‍රියදර්ශන, 60024 සම්පත්, කොස්තාපල්වරුන් වන 66784 ශ්‍රීමාල්, 77864 චමින්ද, 98534 යග්ගහවිට, 104938 පෙරේරා,106007 රණසිංහ, 32112 සුභාෂ් යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශනය සිදු කළහ.
සසික සහ ශමල් යන නම් මනඃකල්පිතය
විනීතා මානෙල් ගමගේ- හල්තොට සමූහ