අඛණ්ඩව 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා විවෘත හා පාසල් දැල් පන්දු තරගාවලිය 2025 වසරේ ජනවාරි 11 සහ 12 වැනි දිනයන්හිදී කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපාර්ශ්වයම නියෝජනය කරන අතර, තරගකරුවන්ගෙන් සියයට 95ක්ම කාන්තා ක්‍රීඩිකාවන් වීම මෙහිදී කැපී පෙනෙන සුවිශේෂත්වයකි.
සමස්ත ලංකා Eva විවෘත දැල්පන්දු තරගාවලිය, ක්‍රීඩා සමාජ, වෙළෙඳ සමාගම්, රාජ්‍ය ආයතන, බැංකු, විශ්වවිද්‍යාල සහ පාසල් (දේශීය සහ ජාත්‍යන්තර) යන ආයතනයන්ට අදාළ සියලු අනුබද්ධිත ක්‍රීඩා සංගම් සඳහා විවෘත වේ. මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට බස්නාහිර පළාතේ සියලුම පාසල්වලට අවසර ලබාදී තිබේ.
ක්‍රීඩකයන් 12 දෙනෙකු සහ නිලධාරීන් 3 දෙනෙකු දක්වා වූ ඕනෑම කණ්ඩායමකට ජනවාරි 06 වැනි දිනට හෝ ඊට පෙර ඔවුනගේ ඇතුළත් කිරීම් ඉදිරිපත් කිරීමෙන් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදාකර ඇත. වැඩි විස්තර 076 1 717 286 ඔස්සේ දැනගත හැකිය.
වජිර ලියනගේ