කැරලි කොණ්ඩයක් තියෙන ලස්සන හුරුබුහුටි දඟකාරයෙක් මෙවර රසඳුනට හමුවිණි. ඔහු වයස අවුරුදු තුනෙන් 2024 සිරස සිඟිති අවුරුදු කුමරා තරගයේ තෙවැනි තැන ලබා ගත් කුමාරයයි. අභිෂේක් ප්‍රභාෂ්වර වන්නිආරච්චි වන මේ සිඟිති රංගන ශිල්පියා කා අතරත් ජනප්‍රිය වී තිබෙන්නේ අභී ලෙසයි.
අභී බබා තවම පුංචි දරුවෙක් නිසා ඔහුගේ කලා ක්ෂේත්රය ගැන තොරතුරු බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණේ ඔහුගේ මවයි.
මේ අපේ එකම දරුවා. දැන් පුතාට වයස අවුරුදු 4 යි. එයා නිට්ටඹුවේ නිගම්බෝ සවුත් ඉන්ටනැෂනල් ස්කූල් එකේ පෙර පාසල් යනවා.
අභී කොහොමද මේ තරම් පුංචි වයසකින් කලාවට සම්බන්ධ වෙන්නේ ?
පුතා මුලින්ම කලා ක්ෂේත්රයට එන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ධනුෂ්ක රත්නායක සර්ගේ මන්දාරම් කතාව ටෙලි නාට්‍යයෙන්. එතකොට පුතාට වයස අවුරුදු තුනයි. ගොඩක් පොඩි දරුවෙක් වුණත් එයාට හොඳට දෙබස් කියන්න හැකියාවක් තිබුණා. ඒ නාට්‍යයට අවස්ථාව පුතාට ලැබුණේ එයාගේ කර්ලි කොණ්ඩේ නිසා. නාට්‍යයේ රඟපාන පබෝදා සංදීපනී, ගයාන් සඳරුවන් දෙපළගේ හැඩහුරුවට සමාන කර්ලි කොන්ඩේ තියෙන පුතෙක් හොයලා තියෙනවා. ඒ අවස්ථාවේ මන්දාරම් කතාවේ කැමරා කටයුතු කරපු චානක සංජීව අයියා තමයි පුතාගේ ඡායාරූප ධනුෂ්ක සර්ට පෙන්නලා තිර පරීක්ෂණයට යොමු කළේ. මට මතකයි ඒ පරීක්ෂණයෙදි පුතාට දිග කතාවක් රඟපාලා පෙන්නන්න තිබුණේ. එයා ඒක හොඳටම කළා. ධනුෂ්ක සර් ඒක බලලා ඇහුවේ කලින් රඟපාලා තියෙනවද කියලා. පුතාට එයාගේ පළමු රංගනය කරන්න ලැබුණේ මොරින් චාරුණී, පබෝදා සංදීපනී, ගයාන් සඳරුවන් වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක. ඒ වගේම ධනුෂ්ක රත්නායක වගේ දක්ෂ අධ්යක්ෂවරයෙකුගේ නිර්මාණයකට. ඒ ගැන අපි නිහතමානීව සතුටු වෙනවා.
ඊට අමතරව අභී දායක වුණු නිර්මාණ මොනවද ?
චාමින්ද අරඹේගෙදර අධ්‍යක්ෂණය කළ මාතෘ, බුද්ධික ලොකුකැටියගේ හපන්නු අපි ගමේ රාජ්‍යයේ ටෙලි නාට්‍යවලට පුතා සම්බන්ධ වුණා. සුප්‍රිම් නාළිකාවේ නත්තල් වැඩසටහනකට වගේම ගොඩක් වෙළඳ දැන්වීම්වලට, ෆොටෝ ෂූට්වලට පුතා එක් වෙලා තියෙනවා. පුතා රඟපාන්න හරිම ආසයි. අනිවාර්යෙන්ම එයාව හැමවෙලේම මේකප් කරන්න ඕන. ඒ දේවල්වලට එයා හරිම කැමතියි. මේකප් කළාට පස්සේ කවුරු හරි මූණ අතගෑවොත් ආයේ දුවලා ගිහින් මේකප් ටච් කරන්න කියනවා. මේ කැමැත්ත නිසාම රංගන කටයුතුවලදී එයාව හසුරුවා ගන්න එක අපිට අභියෝගයක් වුණේ නෑ.
පුතාගේ මේ කලා හැකියා එක්ක වැඩ කරනකොට ඔබට මවක් විදියට ලැබෙන සොඳුරු අත්දැකීම් එහෙමත් ඇති නේද ?
ඔව්. එහෙම අවස්ථා නම් ගොඩයි. මුලින්ම එයාව සීන් එකට ගන්න දවසේ අපි පුතාට කීවා ඔයා ඒ මාමලා නැන්දලා කියන දේ ඇහුවොත් චොක්ලට් එකක් දෙනවා කියලා. එහෙම රවට්ටලා තමයි මුල්ම රංගන කටයුත්ත සිද්ධ වුණේ. පුතා ඊට පස්සේ හරි ආසාවෙන් රඟපාන්න යොමු වුණු නිසා අපිට ආයේත් චොක්ලට් පෙන්නන්න ඕන වුණේ නෑ. ෂූටින් යමු කිව්වම හරිම ආසාවෙන් එයා ලෑස්ති වෙන්නේ. ගෙදර ඉන්නකොටත් අහනවා අම්මි අපි ෂූටින් යන්නේ නැද්ද කියලා. ගෙදරදිත් පුතා රඟපානවා. සමහර වෙලාවට අපි රඟපාන්න ඕන එයා තමයි කැමරාමන්. තවත් දවස්වල පුතා තමයි මේකප් ආටිස්. එදාට නම් අපි හැංඟෙනවා. අපිව මේකප් කරලා ඉවරයක් වෙන්නෙ නැති නිසා.
අභීගේ අධ්‍යාපන කටයුතු කොහොමද ?
එයා රඟපාන්න වගේම නර්තනයටත් දක්ෂයි. පුතා බාස්කර් සර්ගේ නර්තන කණ්ඩායමේ සාමාජිකයෙක්. පුතා තමයි කණ්ඩායමේ ඉන්න පුංචිම නර්තන ශිල්පියා. ගෙදරදි සද්දෙට සින්දු දාගෙන නටනවා. ඒ වෙලාවට අපිත් නටන්න ඕන. ගෙදරදි එයා තමයි බාස්කර් සර්. ඒ වගේම තමයි සිංදු කියන්නත් හොඳට පුළුවන්. පෙර පාසල් වැඩ කටයුතු හරි ආසාවෙන් ගොඩක් හොඳින් කරනවා. පුතා වැඩිපුරම කැමති ක්‍රිකට් සෙල්ලම් කරන්න. පීනන්නත් ගොඩක් කැමතියි.
රූගත කිරීම්වලදී අභීට සිද්ධ වුණු අමතක නොවෙන සිදුවීම් ගැන ඔබට මතකද ?
දවසක් පුතාව උදේම ෂූටින් තියෙන ලොකේෂන් එකට එක්ක ගියා. ඒත් එයාගේ සීන් එක තිබුණේ රෑට. වෙලාව එනකන් පුතා සෙල්ලම් කළා. පාන්දරම ගියපු නිසයි, සෙල්ලම් කරපු මහන්සිය නිසයි එයා රෑ සීන් එක වෙලාවේ හිටියේ නිදිමතේ. ඇත්තටම සීන් එකේදී පුතාට කරන්න තිබුණේ අම්මේ මාව ගන්නකෝ කියලා. පුතාව ඇඳෙන් තිබ්බම එයා මාව හොයන්න ගත්තා අම්මේ මාව ගන්නකෝ කියලා. ඒ වෙලාවේ මේක රඟපෑමෙ කොටසක් කියලා එයාට තේරුණේ නෑ. ඒ සිදුවීමට හැමෝටම දුක හිතුණා. ඒත් ඒ සීන් එක තාත්විකව ගන්න පුළුවන් වුණා ඒ සිදුවීම එක්ක.
අභීගේ ලස්සන කර්ලි කොණ්ඩේ ගැනත් කතා නොකරම බෑ නේද?
පුතාට ගොඩක් වෙළඳ දැන්වීම් මඟහැරෙනවා එයාගේ කොණ්ඩේ නිසා. ටිකක් වවපු කොණ්ඩයක්නේ එයාට තියෙන්නේ. පුතා කැමති නෑ කොණ්ඩේ කපන්න. එයා හරිම ආදරෙයි එයාගේ කොණ්ඩෙට.
ඉදිරියේදී පුතාගේ එන්න නියමිත නිර්මාණ මොනවද ?
වෙළඳ දැන්වීම් කීපයක් එන්න තියෙනවා. ඒ වගේම තව ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. පුතා ගොඩක්ම කැමති රංගනයෙන් ඉදිරියට යන්න.
කුමුදිකා ඩී සපුතන්ත්‍රී