Home » වත්තේගම මාළු ව්‍යාපාරිකයා ඝාතන සැකකරු අල්ලන්න පොලීසිය කළ මෙහෙයුම

වත්තේගම මාළු ව්‍යාපාරිකයා ඝාතන සැකකරු අල්ලන්න පොලීසිය කළ මෙහෙයුම

by thanushika
January 11, 2025 12:30 am 0 comment

පසුගියදා වත්තේගම පොලිස් වසමෙන් ආන්දෝලනාත්මක ඝාතනයක් වාර්තා විය. ඒ, වසර ගණනාවක සිට වත්තේගම පොදු වෙළෙඳපොළේ මාළු වෙළෙඳාමේ නිරතව සිටි 39 හැවිරිදි අවිවාහක පුද්ගලයකු වන සංජීව වසන්ත කුමාර හෙවත් අමිල අමානුෂික අන්දමින් කපාකොටා ඝාතනය කිරීමයි. එම ඝාතනය සිදු වූයේ පසුගිය 03 වැනිදා රාත්‍රී 11.30ට පමණය. වත්තේගම, අටලහාගොඩ අංක 21/16 නිවෙසේ පදිංචිව සිටි සංජීව ප්‍රදේශයේ කාගෙත් හොඳ හිත දිනාගෙන සිටි පුද්ගලයෙකි. ඉකුත් 06 වැනිදා ඔහුගේ අවසන් කටයුතු සිදු කළ අවස්ථාවට අතිවිශාල පිරිසක් සහභාගි වූහ.

කලෙක පටන් තම ජීවිතයට තර්ජන එල්ල වෙමින් පවතින බවට ඔහු වත්තේගම පොලිසියට මෙන්ම තෙල්දෙණිය පොලීසියටද පැමිණිලි කර තිබුණු බව ඔහුගේ ඥාතිහු අප සමඟ පැවසූහ. කෙසේ වෙතත් මේ වන විට සංජීව වසන්තගේ ඝාතනයට සම්බන්ධ බව පැවසෙන ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට පැමිණි පිරිස ගමන් කළ මෝටර් රථයද තලංගම ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයාගත් බව වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර පැවසීය.

කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක තම පුතු කුරිරු අන්දමින් ඝාතනය කිරීම පිළිබඳව දැඩි සේ කම්පාවට පත්ව සිටින සංජීවගේ මව වන 72 හැවිරිදි ඩී. එම්. බිසෝ මැණිකේ මෙසේ පැවසුවාය.

“මගේ පුතාට මේ අපරාධය සිද්ධ වුණු දවසේ හවස මට බෙහෙත් වගයකුයි පලතුරු ටිකකුයි අරගෙන ඇවිත් දීලා මම මාර්කට් එකට ගිහින් එන්නම් අම්මා කියල ගෙදරින් ගියා… එහෙම ගිය පුතාට තමයි මේ අපරාධය සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි මගේ පුතාට මෙහෙම දෙයක් කළේ…? එදා තුන්වැනිදා රෑ එකොළහහමාරට විතර පුතා ‘අම්මා’ කියලා හයියෙන් කෑ ගහගෙන බයිසිකලෙන් ගේ මිදුලට ආවා. පස්සේ ගේ මිදුලෙදී කවුරුහරි පුතාට මිරිස් කුඩු ගහලා තියෙනවා. පුතා එයාව මරන්න ආපු අයත් එක්ක පොර බදලා තියෙනවා. පස්සේ පුතා ගෙට පහළින් තියෙන අඩි දහයක් විතර උස ඇල්ලකින් පහළටත් වැටිලා තියෙනවා. පුතාව බලන්න මට එළියට එන්න තරම් හයියක් තිබුණේ නැහැ. දින කිහිපයකට ඉස්සර මට ශල්‍යකර්මයක් කළා. ඒ වගේම මම ඇදුම රෝගියෙක්.

මට ඉන්නේ දරුවෝ දෙන්නයි. මෙයා පොඩි පුතා. ළමයි දෙන්නා කුඩා කාලේම දරුවන්ගේ තාත්තා මියගියා. එදා පටන් දරුවෝ දෙන්නා මාව බලාගත්තා. පුතා අවුරුදු 15ක් විතරම මාළු වෙළෙඳාම කරගෙන ගියේ. මේ මෑතකදී තමයි අලුත් තැනක වෙළෙඳාම පටන් ගත්තේ. පුතාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් තිබුණා. අපි ඉන්න පරණ ගෙදර කඩලා අලුත් ගෙයක් හදනවා කියලත් කිව්වා. එයා ළඟදි විවාහ වෙන්න හිටියේ. කසාද බඳින්න හිටපු දුව පිටරට ඉන්නේ. මගේ ඇස් දෙක වගේ හිටපු මගේ රත්තරන් පුතාට මොනවා වුණාද කියල අපිට හිතාගන්නවත් බැහැ.“

සංජීවගේ ඥාති සොහොයුරියක වන කේ. ඒ. පී. දිල්රුක්ෂි කියා සිටියේ සංජීවට මෙම සිදුවීමට පෙර සිටම තර්ජන තිබුණු බවත් ඒ සම්බන්ධව පොලීසියට අවස්ථා කිහිපයකදී පැමිණිලි කර තිබුණු බවත්ය. මෙම අමානුෂික ඝාතනය සම්බන්ධව තම සහෝදරයාට සාධාරණයක් ඉටුකර දෙන මෙන්ද ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

සංජීවගේ තවත් ඥාති සහෝදරියක වන එස්. කේ. කුමාරි මෙසේ පැවසුවාය.

“මේ අපරාධය සිද්ධ කරලා තියෙන්නේ මගේ නැන්දගේ පුතාට. සංජීව මල්ලි ගුණ යහපත් තරුණයෙක්. නිතරම අම්මා ගැන සොයා බැලුවා. එයාට මුළු වත්තේගම ටවුමම ආදරය කළා. කොහේහරි දානයක් තිබුණොත් මාළු ටික නොමිලේ දෙනවා. නැතිබැරි කවුරුහරි මාළුවල ගණන් අහලා යන්න ගියොත් එයා දන්නවා මෙයා ළඟ සල්ලි නැති නිසා තමයි මාළු ගත්තේ නැත්තේ කියලා. එයාට මාළු නිකම් දෙනවා. දන්සලක් තිබුණොත් ඒකටත් මාළු ටික දුන්නා. අසනීප වෙලා හිටපු අම්මට නිතරම ඇප උපස්ථාන කළා. එතරම් ගුණ යහපත් කෙනෙක් අපේ පවුලට නැතිවුණා කියන්නේ අපි හැමදෙනාම නැතිවුණා වගේ…“

මේ සිදුවීම සම්බන්ධව වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාරගෙන් විමසීමක් කළ අතර, එහිදී ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙම ඝාතනය ව්‍යාපාර ප්‍රශ්නයක් මුල්කරගෙන ඇතිවු අමනාපයක් නිසා සිදු වූ ඝාතනයක් බව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්ථානාධිපතිවරයා, “අපි දැනට ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරල තියෙනවා. එම පුද්ගලයාගේ දුරකතන ඇමතුම් පරීක්ෂාවට ලක්කරලා ඒ ඔස්සේ ලබාගත් ඇමතුම් අනුව සිදු කළ විමර්ශනවලින් පසු එක් සැකකරුවෙක් ඉබ්බාගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මෙම අපරාධය සිදු කිරීමට ඝාතකයන් පැමිණි බවට සැක කරන මෝටර් රථයත් අපි පසුගිය 05 වැනිදා තලංගම ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත්තා. එම මෝටර් රථයේ සවි කර තිබෙන ජී.පී.එස්. උපකරණවලින් සනාථ වෙලා තිබෙනවා ඝාතනය සිදුවූ ප්‍රදේශයට මෙම මෝටර් රථය ඇවිත් තියෙන බව. ඝාතනයට යොදාගත් අවි ආයුධ මිලදී ගත්තු ස්ථානයත් අනාවරණය කරගැනීමට හැකි වුණා. ඝාතනයට සම්බන්ධ ඉතිරි සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශය විසින් තවදුරටත් විමර්ශන සිදු කරගෙන යනවා.“

සංජීව වසන්ත කුමාර සහ වත්තේගම නගරයේ ලෝරන්ස් සුපර් ෆිෂ් හිමිකරුවා අතර පසුගිය කාලයේ ආරවුලක් තිබී ඇත්තේ මාළු වෙළෙඳාම නිසා වූ ආරවුලකි. එම නිසා සංජීවගේ ඝාතනය සැලවීමත් සමඟ කුපිත වූ වත්තේගම ජනයා එම වෙළෙඳසලට ද පහර දෙමින් වත්තේගම නගරයේදී විරෝධතාවක් ද දියත් කර තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහගේ උපදෙස් පරිදි වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරාන් සෙනෙවිරත්න, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් පරීක්ෂක විජේරත්න, කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමිත ඇතුළු පිරිසක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

එස්. ජී. විජේරත්න - කටුගස්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division