Home » කප්පරතොට ආකාෂ්ගේ ඝාතනය වැරදුණු කුරුමානමක්ද?

කප්පරතොට ආකාෂ්ගේ ඝාතනය වැරදුණු කුරුමානමක්ද?

by thanushika
January 11, 2025 12:30 am 0 comment

වැලිගම ප්‍රදේශයට අපරාධවලින් නම් අඩුවක් නැත. මෑතකදී ද වෙඩි තැබීමේ සිද්ධින් ගණනාවක්ම වැලිගම සහ අවට ප්‍රදේශවලින් වාර්තා වූයේය. පාතාලය, මත්කුඩු මෙන්ම විවිධ අපරාධවලට නම් දරා ඇති ප්‍රදේශයක් බවට වැලිගම පත්ව ඇත. මේ නිසාම වැලිගම, මිදිගම, කනංකේ, කොටවිල, කොක්මාදූව ප්‍රදේශවල ද පොලිස් මුරපොළක් හෝ ක්‍රියාත්මක වන්නේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දිවාරාත්‍රී මුර සංචාරයේ නිරත වන්නේ පවතින තත්ත්වය වෙනස් කරන්නටය. මෙලෙස දැඩිව ආරක්ෂක ක්‍රියාන්විතයන් ක්‍රියාත්මක වුවද අපරාධකරුවන්ගේ ‘ඉලක්ක’ නිමාවක් නැති තරම්ය. බොහොමයක් සිද්ධිවලට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය ද දැඩි වෙහෙසක් ගන්නේය.

වැලිගම කප්පරතොට ප්‍රදේශය යළිත් උණුසුම් කරමින් වෙඩි හඬ පත්තු වූයේ ඉකුත් තුන්වැනිදාය.

එදින මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලැබීය. මෙසේ මිය ගියේ 26 හැවිරිදි ආකාෂ් නමැති තරුණයෙකි. ඔහු ඉකුත් 03 වැනි දින රාත්‍රී තම නි‍ෙවසින් පිටව ගොස් ඇත්තේ මාතර බන්ධනාගාරයට ගසක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයාගේ මළගෙදරට සහාභාගි වීමටය. නිෙවසේ අය දුරකතන ඇමතුම් ගණනාවක් ආකාෂ්ට ලබා දුන්නද ප්‍රතිචාර නොලැබී ඇත. එහෙත් රාත්‍රී 11.00ට පමණ ඔහු මවට දුරකතන ඇමතුමක් ගෙන තමා මළගෙදර සිටින බවත්, ඉතා ඉක්මණින් නිෙවසට එන බවත් පවසා ඇත්තේය. රාත්‍රී දොළහ පසු වන තුරු ඔහු එම මළගෙදර ගතකර නැවතත් තම යහළුවන් සිව්දෙනකු සමඟ තම නිෙවස දෙසට පැමිණියේය. ඔහුට වැඩි දුරක් යෑමට ලැබුණේ නැත. යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක් ඔහුට වෙඩි තබන්නේ ටී56 අවියකිනි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ කප්පරතොට, බණ්ඩරවත්ත ප්‍රදේශයේ වල්ලිවළ අතුරු මාර්ගය අසලදීය. වෙඩි පහර කාගෙනම ආකාශ් මීටර් 50ක් පමණ දිව ගියේය. වෙඩික්කරුවෙක් ද ඔහු පසුපසම දුවගොස් නිෙවසක් අසලදී නැවතත් ආකාෂ්ට වෙඩි තබා පලා ගියේය. නිෙවසක් අසල වැටුණු ආකාෂ් ජීවිතයෙන් සමුගත්තේය.

 

ආකාෂ් සමඟ මළගෙදරට ගිය ඔහුගේ යහළුවකුගේද කලවා ප්‍රදේශයට වෙඩි වැදිණි. ඔහු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ආකාෂ් වෘත්තියෙන් ධීවරයෙකි. අපරාධ සම්බන්ධයෙන් පොලිස් පොතේ ඔහු ගැන සඳහන් නොවේ. එසේ නම් ඔහු වැරදුණු කුරුමානමක් විය හැකිය. ආකාෂ්ගේ පියා කප්පරතොට ධීවර සමිතියේ නිලයක් ද දරයි. මව ජේ. ශර්මි දිනූෂාය. වෙඩි උණ්ඩ හඬට වඩා මවගේ වේදනාත්මක හඬ කප්පරතොට දෝංකාර දෙමින් නැඟුණාය. තම පුතුගේ ඝාතනය දරාගත නොහැකිව වැලපෙන ඇය මෙසේ පැවැසුවාය.

“ඊයේ රෑ මගේ පුතා ගෙදරින් ගියා මළගෙදර යනවා කියල. ඒ ගිහිල්ලා රෑ දොළහට විතර එනකොට තමයි මගේ පුතාට වෙඩි තියලා තියෙන්නේ. මගේ පුතා කුරා කූඹියෙකුටවත් කරදරයක් කරන කෙනෙක් නෙවෙයි. අනේ මේ වෙඩි තියල මරන්න තරම් මොකක්ද හේතුව කියල මම දන්නෙ නැහැ. මුහුදු ගිහිල්ල ඇවිත් දවස් තුනයි වෙන්නෙ. වෙනදත් මේ වගේ මළගෙවල්වලට ගිහිල්ල එනවා යාළුවො එක්ක. අනේ! මොකක්ද මගේ කොල්ලට වුණේ කියල මම දන්නෙ නෑ. මගෙ කොල්ලගෙ දරු පැටියට තාමත් අවුරුදු දෙකයි. තාත්තා කෝ කියලා අහනකොට මම මොකක්ද කියන්නෙ මගෙ පුතේ? මගේ කොල්ලට වෙඩි තිබ්බේ කවුද කියලා මට දැනගන්න ඕන. රෑ දොළහට විතර පුතා මට කතා කළා. ඇහුවාම කිව්වා මම යාළුවෙක් එක්ක ඉන්නෙ කියලා. ඒත් මමයි එයාගෙ නෝනයි සැරින් සැරේ කෝල් කළා සිය වතාවක් විතර. පස්සෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබුණා. පස්සෙ රෑ දොළහමාරට විතර තමයි එයාට වෙඩි තියල කියල ආරංචි වුණේ” යැයි ආකාෂ්ගේ මව පැවසුවාය.

සිය පුතුට මෙලෙස වෙඩි තැබීමට කිසිම හේතුවක් තමන් නොදන්නා බව ඔහුගේ නැන්දණිය ද පවසා සිටින්නීය. මෙම වෙඩි තැබීම තුළ සැඟවී ඇත්තේ පාතාලයේ ක්‍රියාකාරකමක් ද එසේ නොමැතිනම් පෞද්ගලික ආරවුලක් ද යන්න තවමත් සනාථ වී නොමැත. ආකාෂ්ට වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු වෙඩි පහර කාගෙන දිවි බේරා ගැනීමට මීටර් 50කට වඩා දිව යද්දී වෙඩික්කරුවන් ඔහු පසුපසින් දිව ගොස් නැවතත් ආකාෂ්ගේ දිවි අහිමි වනතුරුම වෙඩි තැබීම සිදුකළේ කුමන වෛරයක් පිරිමැසීමට ද යන්න ඔහුගේ මවුපියන්, පවුලේ අය ඇතුළු ගම්මුන්ට ද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර ඇත.

දැනට සොයාගෙන තිබෙන කරුණු වන්නේ යතුරුපැදි තුනකින් මෙම ඝාතනය සිදුකිරීමට ඝාතකයන් පැමිණ ඇති බවයි. වෙඩි තැබීමට භාවිත කරන ලදැයි සැකකරන ෆල්සර් වර්ගයේ යතුරුපැදියක් සිද්ධිය වූ ස්ථානයෙන් කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි ‘මූණමල්පේ’ වැවේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. ඉකුත් දා ආකාෂ් තාරුකගේ අවසන් කටයුතු සිදු කැරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

වැලිගම දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ ඔහුගේ මෘත ශරීරය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු මාතර වැඩබලන මහේස්ත්‍රාත් පාලිත හෙට්ටිආරච්චි විසින් සිදුකළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ, සහකාර පොලිස් අධිකාරි චන්දන විජේසේකර යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි, වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාරගේ මූලිකත්වයෙන් හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා ඇත.

ටී.කේ. මහින්ද - වැලිගම සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division