චීනයේ පැතිර යන ශ්වසන රෝගයෙන් බලපෑමක් නෑ
– ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය බලධාරීහු කියති
කලින් කල පැතිර යන විවිධ රෝග සම්බන්ධයෙන් ජනතාව අතර විවිධ බිය, සැක සංකා ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. මේ දිනවල ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනකු අතරේ බියක් මතුව ඇත්තේ උතුරු චීනයේ පැතිර යමින් තිබෙන ශ්වසන රෝගයෙන් අප රටට බලපෑමක් සිදු වේද යන්න ගැනය. එහෙත් ශ්‍රී ලාංකිකයන් විසින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. ඒ, ඉකුත් ජනවාරි මස 7 වැනිදා එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මඟිනි.
එමඟින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මෙවැනි ශ්වසන රෝග පැතිර යෑම අනපේක්ෂිත තත්ත්වයක් හෝ එය අලුත් රෝග තත්ත්වයක් නොවන බවයි. පෙර වසරවලට සාපේක්ෂව චීනයේ වත්මන් ශ්වසන රෝග රැල්ල අඩු මට්ටමක පවතින බවත්, එරට රෝහල් බලධාරීන් රෝගීන් ඵලදායි ලෙස කළමනාකරණය කරන බවට චීන බලධාරීන් සහතික වී ඇති බවත් ඒ නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එසේ වුවද සමාජ මාධ්‍ය මඟින් ගෙන යනු ලබන ඇතැම් ප්‍රචාර හමුවේ මේ ශ්වසන රෝග අවදානම පිළිබඳ ජනතාව තුළ අනියත බියක් ඇති වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉකුත් දිනවල ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබිණි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඒ පිළිබඳ දැක්වූ අදහස් මෙසේය:
හියුමන් මෙටානියුමො වයිරසය
(Human Metanemo virus- HMPV) පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉකුත් ජනවාරි 7 දා නිකුත් කළ නවතම නිවේදනයට අනුව මෙය ලෝකයේත් ශ්‍රී ලංකාවේත් කලක සිට වාර්තා වන රෝගයක් මිස, අලුතින් හඳුනාගත් රෝගයක් නොවන බවත් කිව යුතුය. මේ දිනවල වැඩිපුර වාර්තා වන ශ්වසන රෝග අතර, ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වයිරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වයිරසය (Human Metapneumovirus – HMPV) ඇතුළු හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග තිබෙනවා. මේවා ලෝකයේ කවදාවත් වාර්තා නොවූ රෝග හෝ අසාමාන්‍ය වයිරස නොවෙයි. ඒ අතුරින් චීනයේ වැඩි වශයෙන් පැතිර යන ශ්වසන රෝගය ශ්‍රී ලංකාවෙත් කාලයක සිට වාර්තා වන රෝගයක්. එම නිසා මේ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. අපගේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසු වන අතර, මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවත් අප අඛණ්ඩ අධීක්ෂණයක පසු වනවා.
මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්තවලින් පැහැදිලි වන්නේ මේ දිනවල ශ්වසන රෝගීන්ගේ යම් වැඩි වීමක් ඇති බවයි. එය මේ වසරේ පමණක් සිදු වන්නක් නොවෙයි. සෑම වසරකදීම උතුරු අර්ධද්වීපයේ රටවල ශීත ඍතුවේදී ශ්වසන රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත මඟින් පැහැදිලි වනවා. ඒ අනුව ඉකුත් දෙසැම්බරයේදී ශ්වසන රෝගීන්ගේ වැඩි වීමක් සිදු වී තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට සමගාමීව ශ්‍රී ලංකාවේ වසංගත රෝග අංශය මඟින් ආවේක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යනවා. රට තුළ වාර්තා වන ශ්වසන රෝගීන්ගේ වර්ධන ප්‍රවණතාව එනම්: ශ්වසන රෝගීන් වැඩි වන්නේ කුමන මාසවලද, රෝගීන් අඩු වන්නේ කුමන මාසවලද යන්න නීරීක්ෂණය එහි අරමුණයි. ඒ තොරතුරු අධ්‍යයනයෙන් රෝගීන් වැඩි වුණොත් ප්‍රතිකාර සහ ඖෂධ සැපයීම කාර්යක්ෂම කිරීමට රෝහල් පද්ධතිය සූදානම් කිරීමට පහසුවක් සැලසෙනවා.
ඒ අනුව අප රෝගය පැතිර යා හැකි අවදානම් ප්‍රදේශ හඳුනාගෙන, මුළු රටේම සියලු පළාත් ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් 20ක ආවේක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යනවා. ඒ වගේම රෝහල්ගත වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශ්වසන රෝග සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ප්‍රධාන රෝහල් 4ක ආවේක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යනවා.
ඒ මඟින් රට තුළ ශ්වසන රෝගීන් වාර්තා වන ආකාරය නිරීක්ෂණය වනවා. සාමාන්‍යයෙන් සෑම වසරකම නොවැම්බර්, දෙසැම්බර් හා ජනවාරි මාසවල ශ්‍රී ලංකාවේ ශ්වසන රෝගීන්ගේ, විශේෂයෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් සිදු වනවා. මේ තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති දත්ත සමඟත් හොඳින් ගැළපෙනවා. මෙය අපි හඳුන්වන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීම බලාපොරොත්තු වන වසරේ දෙවැනි අවස්ථාව විදිහටයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් හඳුනා ගන්නා ආකාරය
ආවේක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණෙන යම් රෝගියකු උණ, කැස්ස තත්ත්වයෙන් පෙළෙනවා නම්, ඒ තත්ත්වය ආරම්භ වී ඇත්තේ ඉකුත් දින 10 ඇතුළත නම් අප ඒ රෝගියා හඳුනා ගන්නේ ඉන්ෆ්ලුවෙන්සා යැයි සැක කළ හැකි රෝගියකු ලෙසටයි.
අප මේ දත්ත ලබා ගන්නේ බාහිර රෝගි අංශයට පැමිණෙන රෝගීන්ගෙන් ඉන්ෆ්ලුවෙන්සා යැයි සැක කළ හැකි රෝගීන් සංඛ්‍යාව සහ මුලින් කී ප්‍රධාන රෝහල් 4 තුළ ප්‍රතිකාර ලබන සියලු ශ්වසන රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සලකා බැලීමෙනුයි.
ඒ අනුව රට තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් අඩු වැඩි වන ආකාරය පිළිබඳ අවබෝධ කරගත හැකියි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය
බාහිර රෝගි අංශයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 5ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා බව සැක කළ හැකි රෝගීන් බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
ඊට අමතරව, රෝහල්ගත වී ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 3.8ක පමණ ඉන්ෆ්ලුවෙන්සා බව සැක කළ හැකි රෝගීන් වාර්තා වනවා. ජනවාරි මාසය තුළ රෝගීන්ගේ වැඩි වීමක් බලාපොරොත්තු වනවා. විශේෂයෙන් වර්ෂාව පවතින අවස්ථාවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වැඩි වීමක් දැකගත හැකියි.
රෝග ලක්ෂණ
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටු දියර ගැලීම, උණ ඇතුළු ඕනෑම ශ්වසන සහ වයිරස් රෝගයකදී ඇති වන ලක්ෂණ මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදීද ඇතිවිය හැකියි. නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවී නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් ද තිබෙනවා. එහෙත් එය කලාතුරකින් ඇති වන තත්ත්වයක් මිස සියලු දෙනාටම පොදු තත්ත්වයක් නෙවෙයි. මේ රෝගය මාරාන්තික වීමේ සම්භාවිතාව ඉතා අඩුයි.
ඉකුත් වසරේදී පුද්ගලයන් 17ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මිය ගොස් තිබෙනවා. නමුත් ඒ මරණවලට මූලික හේතුව ඉන්ෆ්ලුවෙන්සා නොවෙයි. දිගුකාලීන රෝගවලින් පෙළුණු පුද්ගලයන් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයට ගොදුරු වීමෙන් පසු එම රෝග දරුණු භාවයට පත් වීම ඒ මරණවලට හේතුවයි. ඒ කියන්නේ මෙය මාරාන්තික රෝගයක් නෙවෙයි. ඒ නිසාම බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ගෙන් ඉන්ෆ්ලුවෙන්සා බව සැක කළ හැකි රෝගීන් සියලු දෙනාටම අප රසායනාගාර පරීක්ෂණ කරන්නේ නැහැ. එවැනි පරීක්ෂණ කරන්නේ අවදානම් සහ අසාධ්‍ය රෝගීන් සඳහා පමණයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ අවදානම් කාණ්ඩ
ගැබිනි මවුවරුන්, අවුරුදු 5ට අඩු දරුවන්, අවුරුදු 65ට ඉහළ වැඩිහිටියන්, දිගුකාලීනව ප්‍රතිකාර ගන්නා පෙණහලු, හෘදය, දියවැඩියා, වකුගඩු, අක්මා, ස්නායු ආදී කායික රෝගවලින් පෙළෙන්නන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ අවදානම වැඩි කාණ්ඩ ලෙස සලකනු ලබනවා.
විශේෂයෙන් ගැබිනි මවුවරුන්ට රෝගය වැලඳුණොත් දරුණු තත්ත්වයට පත් වීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා ගැබිනි මවකට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතාව ආදි ඉන්ෆ්ලුවෙන්සා යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ තිබෙනවා නම් හැකි ඉක්මනින් විශේෂඥ වෛද්‍යවරයකු සහිත රෝහලකට ගොස් උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
වළක්වා ගැනීමට ගත යුතු පියවර
ඔබට රෝගය වැලඳී ඇත්නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර, ඔබගෙන් තවත් අයකුට රෝගය පැතිර යෑම වළක්වා ගැනීමට ඉතා සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහා පෞද්ගලික පිරිසුදු භාවය, යහපත් සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත්. අපිරිසිදු අත්වලින් ඇස්, මුඛය, නාසය ඇල්ලීම ශ්වසන රෝග පැතිර යෑමට ප්‍රධාන හේතුවක් බැවින් නිරතුරුවම සබන් දමා දෑත් හොඳින් සේදීම ඉතා වැදගත්.
ඒ වගේම කැස්ස, කිවිසුම් මඟින් රෝගය පහසුවෙන් පැතිර යන බැවින් කිවිසුම් සහ කැස්ස යන විට ලේන්සුවක් පාවිච්චි කළ යුතුයි. ලේන්සුවක් නැති අවස්ථාවක කිවිසුම් සහ කැස්ස අවස්ථාවලදී තමන්ගේ අතේ වැලමිටේ ඇතුළු පැත්තෙන් නාසය සහ මුඛය ආවරණය කරගත යුතුයි. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවයේදී සහ පොදු ස්ථානයකදී මේ පුරුදු අනුගමනය කිරීම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අතිශය වැදගත්. යම් පුද්ගලයකු ඉහත සඳහන් කළ රෝග ලක්ෂණවලින් පෙළෙනවා නම් නිවෙසට වී විවේක ගැනීම ඔහුගෙන් තවත් අයකුට රෝගය පැතිරීම වැළකෙනවා. මේ රෝගයේදී මෙන්ම ඕනෑම ශ්වසන රෝගයකදී මුව ආවරණ පැලඳීමෙන් රෝගය බෝ වීම වළක්වාගත හැකියි.