ලෝක සාහිත්‍යයේ ‘මහා නවකතාකරු ’ලෙස විරුදාවලිය ලැබූ ලියෝ ටෝල්ස්ටෝයි ලොව පතළ රුසියානු ලේඛකයෙකි; දාර්ශනිකයෙකි. පසුකලෙක හේ ආධ්‍යාත්මික නායකයකු ද විය.
ඔහු රුසියාවේ යස්නායා පොල්යානා නම් මහා වතුකරයේ ප්‍රභූ පවුලක 1828 සැප්තැම්බර් 9 වැනි දින උපත ලැබීය. ඔහු වයස අවුරුදු 82ක් ජීවත් ව සිටි අතර මෙලොවින් සමු ගත්තේ 1910 නොවැම්බර් 20 වැනි දා ය.
ලියෝ ටෝල්ස්ටෝයි ළමයින් වෙනුවෙන් බොහෝ දේ කළ අයෙකි. විශේෂයෙන්ම ඔහු ළමා සාහිත්‍යය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වී ය. ඔහු විසින් ජනකතා ආකෘතියෙන් රචනා කරනු ලැබූ උපමා කතා හා ළමා කතා දහස් ගණනකි.
අක්කර හාරදහසක් පුරා පැතිරුණු තම වත්තේ “ඔබ කැමැති විට එන්න, ඔබ කැමැති විට යන්න” යන ආදර්ශ පාඨය සමඟ ඔහු විසින් විශේෂ පාසලක් ආරම්භ කරනු ලැබී ය. එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වූයේ දුප්පත් ගොවි පවුල්වල අකුරු නොදත් මවුපියන්ගේ දරු දැරියන් ය. එයට සහභාගි වන ළමයින්ට තමා කැමැති විටෙක පාසලට පැමිණීමට ද කැමැති විටෙක ඉන් ඉවත් ව ගෙදර යෑමට ද අවසර තිබිණි. එහිදී ඔවුන්ට කියවීමට, ලිවීමට සහ ඇඳීමට ඉගෙන ගැනීමට හැකි විය.
ළමයින්ට කියවීමට ජනකතා සහ ප්‍රබන්ධ නොවූ නිසා ඉගැන්වීම සිදු කෙරුණේ ඔහු විසින්ම ගෙතූ කතන්දර සහ විවිධ ක්‍රියාකාරකම් ඇසුරිනි. දරුවන් මත කිසිවක් බලෙන් පැටවීම නුසුදුසු බවත්, දරුවන් ඉගෙනගත යුත්තේ තමන්ගේ කැමැත්ත ඇති ව සතුටින් හා ආශාවෙන් බවත් ඔහු විසින් පෙන්වා දෙන ලදි. මේ කතන්දරවල සරල චමත්කාරය හා නැවුම් අහිංසකත්වයට ළමයි වශී වූහ. දරුවන් වෙනුවෙන් රසවත්ව සරලව ඉදිරිපත් කෙරුණ ද ඒවායෙහි ගැඹුරු දාර්ශනික අදහසක් ගැබ් ව තිබිණි. අද ද විවිධ භාෂාවලට පරිවර්තනය වෙමින් ලොව පුරා දරුවෝ ඒ කතා රස විඳිති. ‘ඔබ සාමයෙන් ජීවත් වන්නේ නම්, කිසිවකු ඔබව ජය නොගනු ඇත; එහෙත් ඔබ රණ්ඩු වී බෙදී ගියහොත් ඕනෑම කෙනකු පහසුවෙන් ඔබ විනාශ කරයි’යන්න ඔහුගේ බොහෝ කතාවලට තේමා විය.
මේ ඔහු විසින් රචිත ළමා කතාවකි:
දිනක් වන්යාගේ මව පොළෙන් මිදි පොකුරක් ගෙන ආවා ය. ඇය ඒවා සෝදා, කෑමමේසය මැද විශාල පිඟානක තැබුවා ය. රාත්‍රී ආහාරයෙන් පසු දරුවන්ට මිදි දීමට අම්මාට අවශ්‍ය විය. ඔවුන්ට නිතර මිදි ගැනීමට වත්කමක් නොතිබිණි.
වන්යා ඔහුගේ ජීවිත කාලය පුරාම මිදි රස බලා නොතිබුණෙන් තවත් බලා සිටීමට තරම් ඉවසීමක් තිබුණේ නැත. ‘මම එකක් ගත්තොත් කාටවත් තේරෙන්නේ නැහැ,’ යැයි සිතූ වන්යා කාමරයේ තනි වූ වහාම ලොකුම ගෙඩියක් ඉක්මනින් කටේ දා ගත්තේය. වන්යා කෑගැසුණේ ය: “හ්ම්ම්… ඇත්තෙන්ම ඉතා රසවත්!”
රාත්‍රී ආහාරය සඳහා වේලාව පැමිණි විට, ඔහුගේ මව විසින් ගෙඩි ගණන් කර බැලූ විට එකක් අතුරුදන් වී ඇති බව දැන, ඒ බව තම සැමියාට දැනුම් දුන්නාය.
මුළු පවුලම කෑමට මේසය වටේ හිඳ ගත් විට “හොඳයි දරුවනේ, ඔයාලා කවුරුහරි අම්මට හොරෙන් මිදි ගෙඩියක් කෑවා ද?” තාත්තා ඇසී ය.
සෑම දරුවෙක්ම “නැහැ” යනුවෙන් පිළිතුරු දුන්හ. වන්යාගේ හදවත ඉතා වේගයෙන් ගැහෙන්නට විය.
“ගෙඩිය ඇතුළේ ගලක් තියෙනවා. ඒක ගිල්ලොත් අසනීප වෙයි. ඒකයි මට බය!” තාත්තා කීවේ ය.
හොඳටම කලබල වූ වන්යා “මම ගල කෑවේ නැහැ, මම ඒක ජනේලයෙන් එළියට විසි කළා” කියා පැවසුවේ ය.
මුළු පවුලම සිනාවෙන් පිරී ගිය අතර, හොරකම එළි වූ බව දැනගත් වාන්යාගේ මුහුණ රතු විය.
ලංකා සිරිවර්ධන