විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යනු ජනතා බදු මුදලින් නඩත්තු වන, ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ඔවුන්ට සහන සැලසීම වගකීම කරගත් ආයතනයක් වුවද ජනතාවට සැබෑ සේවයක් සැලසීම සඳහා නවමු ක්‍රියාමාර්ග සඳහා යොමු වූ සෑම අවස්ථාවකදීම ඊට දේශපාලන අධිකාරියෙන් හෝ වෙළෙඳපොළ ඒකාධිකාරියෙන් අනිසි බලපෑම් එල්ල විය.
එහෙත් මෙවර නවමු දේශපාලන හා සංස්කෘතික වෙනසක් වෙනුවෙන් මිනිසුන් තුළ පවත්නා බලාපොරොත්තුවට සමඟාමීව දේශපාලන ඇඟිලි ගැසීම් ද සිදු නොවන බැවින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් ශක්තිමත් ඉදිරි පියවරක් තැබීමට අප සූදානම්ය.
විදුලි සංදේශ ක්ෂේත්රයේ සාධනීය පරිවර්තනයක්
ඒ අනුව අප විසින් විදුලි සංදේශ ක්ෂේත්රයේ සාධනීය පරිවර්තනයක් සිදු කිරීමේ පළමු පියවර ලෙස මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. එහි එක් අංගයක් ලෙස ජංගම දුරකතනවල ඉමි අංක නිවැරැදිව හඳුනා ගැනීම සහ බ්ලොක් කිරීම (IMEI verification & Blocking) සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති බව කිව හැකිය. ඒ අනුව ගෙවී යන මේ වසරේ ජනවාරි 28 වැනිදා වන විට ඊට අදාළ දත්ත පද්ධතිය සකසා නිමා කිරීමට සියලු කටයුතු සකසා අවසන්ය. එබැවින් එය විෂය භාර අමාත්‍යවරයා හෝ රජය විසින් තීරණය කරන දිනක සිට ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නැත. අපගේ අවධානය යොමු විය යුත්තේ මෙමඟින් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටය. ඊට හේතුව දැනටමත් ඇතැමුන් මේ පිළිබඳ හුඹස් බියක් සමාජගත කරමින් සිටින නිසාය.
මෙම නව ක්‍රියාමාර්ග හේතුවෙන් දැනට ජංගම දුරකතනයක් භාවිත කරන කිසිවකුට හෝ ජංගම දුරකතනයකට කිසිදු බාධාවක් එල්ල නොවන බව අවධාරණය කළ යුතුය. මෙයින් ඉදිරියේදී යම් ප්‍රශ්නයක් ඇති වන්නේ නම් ඇතිවන්නේ අනීතික ලෙස හොර පාරෙන් ජංගම දුරකතන ගෙන්වන වෙළෙඳුන්ට සහ ජංගම දුරකතන සොරකමේ යන මත්කුඩු ලෝලීන් ඇතුළු සොරුන්ටය. පොදු ජනතාවට මෙයින් කිසිදු ප්‍රශ්නයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැත.
අනීතික දුරකතන ගෙන්වීමට වැට බැඳෙන හැටි
දැනට වෙළෙඳපොළේ ජංගම දුරකතන වර්ග දෙකක් පවතී. පළමුවැන්න නීත්‍යනුකූලව ගෙන්වන ලද ජංගම දුරකතන වන අතර, දෙවැන්න නීති විරෝධීව හොර මාර්ගයෙන් ගෙන්වන ලද ඒවාය. අපගේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූ වහාම දැනට භාවිත කරන සියලුම ජංගම දුරකතන සාදු ලේඛනගත (White listed) කෙරෙයි. එයින් කිසිවකුටත් හානියක් හෝ බලපෑමක් ඇති නොකරන නමුත් නිවැරැදි දත්ත අපගේ දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන වීමක් සිදු වේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී, නීත්‍යනුකූල ලෙස ජංගම දුරකතන ගෙන්වන, බලපත්‍රලාභී වෙළෙඳුන් ප්‍රමාණයක් සිටියි. ඔවුන් විසින් ගෙන්වන සෑම ජංගම දුරකතනයකටම ලියාපදිංචි ඉමි අංකයක් හිමිය. එම අංකය එක් එක් දුරකතනයට සුවිශේෂී වේ. නිදසුනක් ලෙස කෙනකු චීනයෙන් ජංගම දුරකතන 1000ක් නීත්‍යනුකූල ලෙස ගෙන්වන්නේ නම්, එකී දුරකතන 1000ටම අදාළ ඉමි අංක තමන්ගේ ඉනිවොයිසයත් සමඟ අප වෙත ඉදිරිපත් කිරීම සිදු වෙයි. එවිට අප එකී දුරකතන තොගයට අදාළ ඉමි අංක දහසම අපගේ දත්ත පද්ධතියට ඇතුළත් කරන අතර, අනතුරුව අප විසින් කරනු ලබන්නේ දැනට අප රටේ සිටින සේවා සපයන්නන් තිදෙනාම සතුව දැනට පවත්නා දත්ත පද්ධතිය සමඟ එකී ඉමි අංක සංසන්දනය කිරීමය. මන්දයත් සේවා සපයන්නකුට අදාළ සිම් පතක් ලබා දීමේදී අදාළ සේවා සපයන සමාගම විසින් පාරිභෝගිකයා ලියාපදිංචි කිරීමක් සිදු කරන බැවිනි. එබැවින් මෙලෙස ඉමි අංක සංසන්දනය කිරීමේදී, අනීතිකව රටට ගෙන්වන ලද ජංගම දුරකතන මොනවාද යන්න යන්න නිසි ලෙස අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබේ. අපගේ අත්දැකීම අනුව සෑම වසරකම බොහෝ ජංගම දුරකතන සංඛ්‍යාවක් අනීතික ලෙස ගෙන්වීම සිදුවී ඇතත්, මින් ඉදිරියට එම තත්ත්වය පාලනය වීමක් අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.
විදේශිකයන්ටත් වලංගුද?
සංචාරකයන් ලෙස මෙරටට පැමිණෙන විදේශිකයන් සම්බන්ධයෙන් මෙහිදී සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මීළඟට අපගේ අවධානය යොමුවිය යුතුය. විදේශිකයන් මෙරටට පැමිණෙන්නේ ඔවුන් සතු ජංගම දුරකතන සහිතවය. ඔවුන් විසින් සිදු කරන්නේ මෙරටදී භාවිත කිරීමට අදාළ තාවකාලික සිම් කාඩ්පතක් කෙටි කාලයකට මිලට ගැනීම හෝ පවත්නා සබඳතාවට රෝමින් පහසුකම ලබා ගැනීමය. ඒ අනුව විදේශිකයකු මෙහි ලියාපදිංචි වී නැති තමන්ගේ ජංගම දුරකතනයට තාවකාලික සිම් පතක් දැමූ විට එය බ්ලොක් වනු ඇත්දැයි ඇතැමුන්ට ප්‍රශ්නයක් පැන නැඟිය හැකිය. එවැන්නක් කිසිසේත්ම සිදු නොවේ.
පිටරටින් ගෙන්වන දුරකතනවලට ප්‍රශ්නයක් වෙයිද?
විදේශගත වූ ලාංකිකයන් මවුබිමට පැමිණීමේදී ගෙන එන ජංගම දුරකතනවලට කුමක් වන්නේදැයි යන ගැටලුවද ඇතැමුන්ට ඇතිවිය හැකිය. ඔවුන් විසින් ගෙන එනු ලබන ජංගම දුරකතනවලට සිම්පතක් ඇතුළත් කළ විට එය ලියාපදිංචි නොවූ එකක් බවට ස්වයංක්‍රීයව දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත. එවැනි දුරකතනයක් ත්‍යාගයක් ලෙස ලැබුණේ නම් ඊට බිලක් නොතිබිය හැකිය. එහෙත් තමන්ට විදේශගවීමට සිදු වූ කරුණු දැක්වෙන ලිපියක්, වීසා එක ආදී කුමන හෝ විශ්වසනීය ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් ගැටලුවකින් තොරව අදාළ දුරකතනය ලියාපදිංචි කර ගත හැකිය. අනෙක් අතට එහිදී ඒ වෙනුවෙන් කොළඹට පැමිණ රස්තියාදු වන්නට අවශ්‍ය නොවන අතර, දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඔන්ලයින් ඔස්සේ එය කර ගත හැකිය. එවැනි දුරකතනයක් දින 7ක් ඇතුළත ලියාපදිංචි කරගත යුතුය. සංඛ්‍යාත්මකව මෙය විශාල නියැදියක් වන්නේ නම් දින 7ක අවම කාලය දෙසතියක් හෝ මාසයක පමණ කාලයක් දක්වා දීර්ඝ කළ හැකිය. එහෙත් අප විසින් කරනු ලබන දින දීර්ඝ කිරීම් මාස 3කට නොඅඩු වන බව පමණක් අවධාරණය කළ යුතුය.
විදේශගතව සිට ලංකාවට පැමිණෙන ලාංකිකයන්ට සාමාන්‍යයෙන් ගෙන ආ හැක්කේ ජංගම දුරකතන සංඛ්‍යාව 5කි. ඊට වඩා ගෙන එන්නේ නම් අනිවාර්යයෙන් ඒ සඳහා වෙළෙන්දකු ලෙස ලියාපදිංචි විය යුතුය.
සොරාගනු ලබන බොහෝ ජංගම දුරකතන මත්ද්‍රව්‍ය ලෝලීන් ඇතුළු එවැනි පුද්ගලයන් විසින් තවත් තැනකට අලෙවි කරනු ලබයි. එහෙත් අපගේ නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසු වින්දිතයාට පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ලැබෙන පැමිණිල්ලේ පිටපතක් අප වෙත එවීමෙන් එහි ඉමි අංකයෙන් අදාළ ජංගම දුරකතනය අවහිර කිරීමට අපට හැකියාව ලැබේ. එවිට සොරකම් කළ දුරකතන මිලදී ගන්නට පෙලඹී සිටින්නන්ට පවා දුරකතනයේ කොටස් ගැලවීම හැර වෙනත් ප්‍රයෝජනයක් නැත.
අනෙක් අතට ලියාපදිංචිවූ වෙළෙන්දෙකුගෙන් දුරකතනයක් ගත් විට ඒ වෙනුවෙන් කතා කරන්නට, ගැටලුවක් වූ විට ඉදිරිපත් කර නිවැරැදි කර ගැනීමට පාරිභෝගිකයාට අයිතියක් තිබේ. එවිට වගකීම් සහතික නොමැතිව හෝ දුන් වගකීම් සහතිකය අනුව ක්‍රියා නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය.
එය පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහාය. ඇතැම් වෙළෙඳුන් නීත්‍යනුකූල සහ එසේ නොවන ජංගම දුරකතන එකම වෙළෙඳ සැලක විකුණන අයුරු දකින්නට ලැබේ. නිදසුනක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සමාගමක් විසින් රුපියල් 90,000ට විකුණන දුරකතනය, එම වර්ගයේම ලියාපදිංචි නොකළ දුරකතනයක මිල රුපියල් 50,000-60,000ක වැනි මුදලකට විකුණන අවස්ථා ගැන ද අසන්නට ලැබේ.
ඇතැම් වෙෙළඳුන් නීත්‍යනුකූල නොවන ජංගම දුරකතන ලාභදායි බව අඟවමින් ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයා පොලඹවනු ද දක්නට ලැබේ. එවිට නීත්‍යනුකූලව දුරකතන ගෙන්වන වෙළෙඳුන් ඒවා ගෙන්වීම අඩු කරන්නේ වැඩි මිලට දුරකතන මිලදී ගැනීමට පාරිභෝගිකයන් කැමති නොවන නිසාය. එවිට ක්‍රමයෙන් ඔවුන් මෙම වෙළෙඳපළෙන් ඉවත් වීම සිදු විය හැකිය. නීත්‍යනුකූල නොවන වෙළෙඳපොළ ප්‍රසාරණය වීම පෞද්ගලිකව පාරිභෝගිකයාටත් පොදුවේ රටටත් හානියකි; අවාසියකි. මේ සඳහා අප විසින් නීත්‍යනුකූලව ගෙන්වන වෙළෙන්දන්ගෙන් විශේෂ බද්දක් හෝ විශේෂ ගාස්තුවක් අය නොකරන අතර, වාර්ෂිකව මෙතෙක් අය කරනු ලැබූ සුළු ගාස්තුව පමණක් තවදුරටත් පවත්වාගෙන යෑමේ තීරණය ගෙන ඇත්තේද මෙහි පවත්නා වගකීම ශක්තිමක් කරනු පිණිසය. විශේෂයෙන් දෝෂ සහිත දුරකතන විකුණන වෙළෙඳුන් පසුව ආයතනය වසා දමා සැඟවී සිටින බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලීම අපහසු වන අතරම පාරිභෝගිකයාට සිදු වන හානිය සමනය කර ගැනීමටද හැකියාවක් නොමැත. එහෙත් නව ක්‍රමවේදය යටතේ එවැනි දේවල් වලට වැට බැඳේ.
දුරකතන මිල අඩු වීමක්
මෙම තත්ත්වය දිගුකාලීනව ජංගම දුරකතන මිල අඩු වීමට ද බලපානු ඇත. මන්දයත් දැනට ලියාපදිංචි වූ ව්‍යාපාරිකයන් ඉහළ මිලක් අය කරනු ලබන්නේ ‘ ජනතාවට වග කියන’ ලේබලය පෙරට දමාගෙන බැවින් ඒ නිසාම ඇතැම් විට ඔවුන්ට යම් විශාල ලාභයක් අයකර ගත හැකිය. එහෙත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවා නීත්‍යනුකූල ලෙස මෙම වෙළෙඳපොළට වැඩි වැඩියෙන් අවතීර්ණ වීමට හැකියාව ලැබීමෙන් වෙළෙඳපොළ තරගය තුළ අඩු මුදලට දුරකතන විකුණූ වෙළෙන්දාට යම් සුළු මුදලක් ලාභය ලෙස තබාගෙන තම වෙළෙඳපොළ ප්‍රසාරණය කර ගැනීමේ හැකියාව පවතී.
එවිට ඇතිවන තරගකාරීත්වය නිසාම අසීමිත ලාභ ලබන මහා පාරිමාණ වෙළෙඳුන්ට පවා අඩු මිලට දුරකතන වෙළෙඳපොළ සමඟ තරග කිරීමට සිදු වන බැවින් තමන්ගේ මිල මට්ටම් සාධාරණ ප්‍රතිශතයකින් පහළ දැමීමට සිදු වනු ඇත.
ඒ අනුව මෙහිදී සුපිරි සාප්පු සංකීර්ණයක මහා ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළෙඳසලක්ද, පිටකොටුවේ පදික වේදිකාවේ ලෑලි මඩුවක පවත්වාගෙන යන වෙළෙඳසලක්ද යන්න අදාළ නොවී නිවැරැදි හා සාධාරණ සේවයක් පාරිභෝගිකයාට සැපයීමට සිදු වනු ඇත. අපගේ බලාපොරොත්තුව එයයි.
ජංගම දුරකතන වෙළෙඳ ප්‍රජාව, සේවා සපයන්නන් ඇතුළු පාර්ශ්වකරුවන් මෙම වැඩපිළිවෙළට තම උපරිම සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට පෙරම අප ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
ඡායාරූපය – චින්තක කුමාරසිංහ
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර