පුද්ගල ඝාතන, පාතාල ක්‍රියාකාරකම්, සොරකම්, දූෂණ වංචා… ආදි මානව ක්‍රියාකාරකම් මඟින් පමණක් නොව, කොළඹ නගරය මැද නිසි වගකිව යුත්තකු නැතිව අතරමඟ නවතා දමා ඇති කොන්ක්‍රීට් යෝධයකු බඳු ක්‍රිෂ් ගොඩනැඟිල්ලෙන්ද සංකේතවත් වන්නේ ශ්‍රී ලාංකේය සමාජය තවමත් සුවපත්ව නැති බවයි. ඒ සියල්ලට නායකත්වය දුන් දේශපාලන සංස්කෘතිය තවම අවසන් වී නැත. එය අවසන් කළ හැක්කේ, වෙනස් කළ යුත්තේ රටේ ජනතාව විසින් ආණ්ඩුවේ මඟ පෙන්වීමෙනි.
එය අතිශය බැරෑරුම් කටයුත්තකි. ජනාධිපතිවරයා පවසන අන්දමට, අපේ රට මේ භයානක උවදුරුවලින් මුදා ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන බලය,
අධිෂ්ඨාන ශක්තිය මෙන්ම අවශ්‍ය අන්දමට නීති සකස් කර ගැනීමේ හැකියාවද වර්තමාන ආණ්ඩුවට තිබේ.
තම පාලන කාලවලදී අපරාධකරුවන්ට කිරි පෙවූ දේශපාලකයෝ තුවක්කු පත්තු වන විට කුරිරු සතුටක් ලබති. ඔවුන් උත්සාහ කරන්නේ සමාජ සසල වීම් දඩමීමා කරගෙන, ආණ්ඩුව කෙරෙහි ජනතාව බිඳවීමටය. එයද එක්තරා අන්දමකට පාතාල ක්‍රියාකාරකමකි. එහෙත් ආණ්ඩුව දූෂණ පිටුදැකීම සඳහා උපරිමයෙන් ක්‍රියා කරන බව ජනතාව දැඩි ලෙස විශ්වාස කරති. පාතාල ක්‍රියාකාරකම් පිටුදැකීම සඳහා ආණ්ඩුව මැදිහත් වන අතර, පාතාලයේ බිජු පැළ වන දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සඳහා ජනතාව පෙළගැසිය යුත්තේ එය කිසි සේත් ආණ්ඩුවට තනිව කළ හැක්කක් නොවන බැවිනි.
ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් පරිහානියට පත් වීමට දශක හතක් බලයේ සිටි පාලක පක්‍ෂය මෙන්ම අප අනුගමනය කළ වගකීමෙන් තොර දේශපාලන සංස්කෘතියද ඉවහල් වූ බවට තර්කයක් නැත. බ්‍රිතාන්‍යයන්ගෙන් පාලනය භාර ගත් ප්‍රභූ පෙළැන්තිය ස්වකීය පැවැත්මට සරිලන පරිද්දෙන් ප්‍රජාතන්ත්‍රවාදය හැඩගසා ගත්තේය. වර්තමානයේ අප අනුගමනය කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන ග්‍රීක සංකල්පයෙන් අදහස් කරන ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
ආචාර්ය ජයදේව උයන්ගොඩ සඳහන් කරන අන්දමට ‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය’ යනුවෙන් අප අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය අත්දැකීම්වලට අනුව ගොඩනඟන ලද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂ ක්‍රමයක් බවයි. වර්තමානයේ භාවිත ප්‍රජාතන්ත්‍රවාදය ‘ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය’ වශයෙන් සමාජවාදීහු හඳුන්වති. එයින් අදහස් වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රභූ පෙළැන්තියේ මතවාදය ලෙසද, ධනපති පන්තියේ දේශපාලන බලයේ රාමුව ලෙසද මතු වූවක් බවයි.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් හිමි වන්නේ සමාජයේ තනි තනි පුද්ගලයන්ට මිස, සාමූහික ජන කණ්ඩායම්වලට නොවේ. අපේ රටේ ප්‍රභූ පෙළැන්තිය ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිද්දී පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූයේ ඒ නිසාය. ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් ගැලවුණද, වසර 76ක් ගත වන තුරුත් ප්‍රභූ පෙළැන්තියේ පක්ෂ කිහිපයක තට්ටු මාරු දේශපාලනයෙන් ගැලවීමට අසමත් වූයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තිබූ ඊටම ආවේණික ප්‍රතිගාමි, ගතික ලක්ෂණ හේතුවෙනි.
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමත්, ජනතාව සෑම සියලු ආකාරයකින්ම අපේක්ෂා භංගත්වයට පත් වීමත් තුළ ඇති වූ ප්‍රමාණාත්මකව ඉහළ ගිය පීඩනය මඟින් පුරවැසියා තුළ ජනිත වූ ගුණාත්මක වෙනස 2022දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවාහැරීමට තරම් විසල් රළ බිඳුමක් බවට පත් විය.
‘ළිඳෙහි වැටුණු තැනැත්තා ළිං කටින්ම ගොඩ ආ යුතුය,’ කියන්නා සේ බහුජන සමූහයා අපේක්ෂා කරන ‘ක්‍රමයේ වෙනස’ සාක්ෂාත් කර ගැනීම, 2024 ජනාධිපතිවරණයේදී ජනතාවගේ තීරණාත්මක ඉලක්කය බවට පත් විය. එහිදී ජාතික ජන බලවේගය වටා ශක්තිමත්ව පෙළගැසුණේ පැවති දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකත්වයන් පිළිබඳ මහජනතාව අතර මතු වූ දැවැන්ත කලකිරීම, පිළිකුල සහ කෝපයයි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙතෙක් ආධිපත්‍යය අල්ලා ගෙන සිටි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකත්වය ඡන්ද දායකයන් ක්ෂණිකව එකම මොහොතකදී අත්හැර දැමීමයි.
ඉතිහාසය පුරා ජනාධිපතිවරණ, මහ මැතිවරණ අවශ්‍ය වූයේ දේශපාලන පක්ෂවලට හා දේශපාලකයන්ට මිස, රටේ ජනතාවට නොවේ. එහෙත් 2024දී ජනාධිපතිවරණය අවශ්‍ය වූයේ රටේ ජනතාවටය; ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටය. සැප්තැම්බර් 21 වැනිදා අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවේ හිඳුවනු ලැබූයේ දැවැන්ත සමාජ පරිවර්තනයක විලිරුජාවෙන් පෙළෙමින් සිටි ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසිනි.
මෙරට ප්‍රභූ පෙළැන්තිය මෙතරම් දීර්ඝ කාලයක් ජන මතය පාගා ගෙන සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම දේශපාලන සංස්කෘතියද බලය හිමි ධනපති පන්තියට අනුරූප වන පරිදි හැඩගසා ගැනීමෙනි. එය බරපතළ කාරණයක් ලෙස නිර්ප්‍රභූ ජනයා හඳුනා ගත්තේ නැත. අප විසින් මෙතෙක් නඩත්තු කළ දේශපාලන සංස්කෘතිය සේවය කළේ අපට නොව, ප්‍රභූ පෙළැන්තියටය. එය වනාහි හුදෙක් සංස්කෘතික ලක්ෂණයක් පමණක් ලෙස වටහා ගෙන සිටි නිසා ඊට ප්‍රතිරෝධයක් දැක්වීමට අප විසින් මෙතෙක් නඩත්තු කළ දේශපාලන සංස්කෘතියට නොහැකි විය. ඒ සඳහා ජනතාවට නව නායකත්වයක් මෙන්ම අවබෝධයක්ද අවශ්‍යය.
සංස්කෘතිය පිළිබඳ සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ අසම්පූර්ණ අදහස් රැසකි. ‘සංස්කෘතිය’ යන්නෙහි සමස්ත අදහස එක එල්ලේ නිරවුල්ව ප්‍රකාශ කරන ලද්දේ ලියොන් ට්‍රොස්කි විසිනි. ‘මිනිසාගේ සම්භවය තුළ සොබාදහම ඔහුට දායාද කළ දෙයට අමතරව මිනිසා විසින් නිර්මාණය කරන ලද හා අත්පත් කරගත් ජයග්‍රහණ සියල්ල සංස්කෘතිය වේ,’ යනුවෙන් ට්‍රොස්කි සඳහන් කළේය. මාක්ස්වාදි දෘෂ්ටියට අනුව එය සරලව ගත් විට, ඉතිහාසය තුළ මිනිසා විසින් අත් කරන ගන්නා ලද සියලු ආධ්‍යාත්මික හා ද්‍රව්‍යමය වටිනාකම්වල එකතුව සංස්කෘතිය නම් වේ.
සංස්කෘතික පරිහානිය යනු අතීතයේ පැවති තමන් අගය කළ ධර්මතාවන්ගේ වෙනස් වීම නොවේ; මානව සමාජයේ පැවැත්මට, එහි සංවර්ධනයට, මිනිසාගේ සාමාජික ක්‍රියාකාරිත්වයට සේවය කළ යුතු සංස්කෘතික ලක්ෂණවලට බාධා කිරීම වන්නේය; නිදසුනක් ලෙස: මානව සමාජයේ සමඟියට, සාමූහිකත්වයට හානි කරන ආගමික, ජාතිකත්ව, වාර්ගික, කුල, ගෝත්‍රික ගැටුම් සංස්කෘතික පරිහානිය පෙන්වන ලක්ෂණයන් වන්නේය. එය තනි තනි මිනිසාගේ වරදක් නොව, ධනවාදයේ අර්බුදයේ සහ පරිහානියේ පිළිබිඹුවකි.
නිර්ධන පන්ති සංස්කෘතිය යනු දිළින්දන්ගේ සංස්කෘතිය නොවේ. එය ගොඩනැඟෙන්නේ දිළින්දන්ගේ දෘෂ්ටිය අනුවද නොවේ. එය ගොඩනැඟෙන්නේ අනාගත දියුණු සමාජය නියෝජනය කරන සමාජ දෘෂ්ටිය මතය. ධනපති සමාජයක් තුළදී නිර්ධන පන්ති සංස්කෘතිය පොදු නිර්ප්‍රභූ ජනයා තුළ පවතින්නේ නැත. සමාජයේ බලය අල්ලාගෙන සිටින ප්‍රභූ පැලැන්තියේ වුවමනාවන්ට සරිලන පරිදි ඒ පන්තිය සංස්කෘතියද හැඩගස්වා ගනී.
කුසලානයේ ලූ මිදියුෂ කුසලානයේ හැඩය ගන්නාක් මෙන් කුසලානයේ ලූ හලාහල විෂද කුසලානයේ හැඩය ගනී. අපේ දැනුවත් භාවයෙන් තොරවම අපේ හැසිරීම්, ඇදහීම් චාරිත්‍ර වාරිත්‍ර ආදි සෑම සංස්කෘතික අංගෝපාංගයක්ම බලය හිමි පන්තියේ උරුමය රැකෙන පරිදි හැඩගස්වා තිබේ. එහි ප්‍රතිඵල වූයේ නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික කාරණා පදනම් කරගෙන ජනතාව දැනුවත් භාවයෙන් තොරවම හැසිරීම්, ඇදහීම්, චාරිත්‍ර වාරිත්‍ර… ආදි සෑම සංස්කෘතික අංගෝපාංගයක්ම බලය හිමි පන්තියේ උරුමය රැකෙන පරිදි හැඩගස්වා ගෙන තිබේ.
එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික කාරණා පදනම් කරගෙන මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව අසමත් වීමය.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, බුද්ධාගමට නිසි තැන දීම, දෙමළාගෙන් මුසල්මානුවාගෙන් රට බේරා ගැනීම, අධිරාජ්‍ය විරෝධය… ආදි සටන් පාඨ දේශපාලන කරළියේ මතු වූයේ මේ සංස්කෘතික දේශපාලනය හේතුවෙනි. මිනිසුන් බණ්ඩාරනායක බලයට පත් කළේ සිංහලයා රජ කරවන්නය. මිනිසුන් මහින්ද රාජපක්ෂ බලයට පත් කළේ දෙමළාගෙන් රට බේරා ගන්නය. එහෙත් සිංහලය රජ වූවා කියා රටට සිදු වූ යහපතක් නැත. මහින්ද රාජපක්ෂලා බේරා ගත් රටක්ද නැත.
ජනතාව ගොදුරු වී සිටි ආර්ථික අර්බුදයට විද්‍යාත්මක විසඳුම් සෙවීම ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගේ විෂයපථයෙහි නොවීම ඛේදවාචකයක් විය. මිනිස්සු සාටකයට, උඩු රැවුළට, ජාතික ඇඳුමට, යුරෝපීය සමාජය තුළ පෙනී සිටීමට ඇති හැකියාවට තම ඡන්දය පාවිච්චි කළහ. ජනගහනයෙන් බහුතරය නිර්ධනීන් බවට පත් වූයේ යථාර්ථය තේරුම් නොගත් දේශපාලනය නිසාය.
වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වර්ගවාදයෙන් තොරව, ලස්සන ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීම උදෙසා යෝධ බලයක් සහිත එක මීටකට ගොනු වී සිටිති. එය ඓතිහාසික වශයෙන් රට ලද විශාල ජයග්‍රහණයකි.
‘මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද?’ යන ප්‍රශ්නයට ඇති ස්ථිරසාර විසඳුම, බලය ගිලිහී ගිය දේශපාලකයන් විසින් තවමත් නඩත්තු කරන පාතාල සංස්කෘතිය ජනතාව විසින් පිටුදැකීමය. රජය නායකත්වය දෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළේ පදනමද එයයි.
– දේශපාලන ලියුම්කරු විසිනි