සංගීතය යනු මිනිස් සිත් සුවපත් කරන අගනා ඔසුවකි. සිය සහජ සංගීත හැකියාවෙන් සමාජයක් සුවපත් කරමින්, සුභාවිත ගීතයට පණ දෙන දක්ෂ සංගීතවේදියෙකු අපට මුණගැසිනි. ඔහු ගායකයෙක්, පද රචකයෙක් සේම තනු නිර්මාණකරුවෙක් ලෙසද සිය හැකියාව විදහා දක්වයි.
මිලාන් ඔබ ළඟදිම කරන්න බලාපොරොත්තු වෙන ප්‍රසංගය ගැන කතා කළොත්?
“රෑ අහසට” කියන මගේ ගී ප්‍රසංගය මාර්තු 2දා සවස 5.00ට පස්යාල මහ විදුහල් රංග ශාලාවේදී පැවැත්වෙනවා. එදාට ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර මහත්මයා, ගායන ශිල්පී සනත් විතානගේ, විශාරද කවිඳු සංකල්ප එකතු වෙනවා. මගේ පුතා රවිඳු සත්සරත් මේ ප්‍රසංගයේදී ගී ගායනයෙන් එක් වෙනවා. පුතාටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. එයාවත් ඉදිරියට ගන්න බලාපොරොත්තුවෙන් තමයි මම මේ ප්‍රසංගයට පුතාවත් එකතු කරගන්නේ.
මේ ඔබේ කීවෙනි ගීත ප්‍රසංගය ද ?
මම දැනට ඒක පුද්ගල ගීත ප්‍රසංග හතරක් කරලා තියෙනවා. මේ මගේ පස්වෙනි ප්‍රසංගය. මගේම ගීත දාහතරක් මේ ප්‍රසංගයේදී ගායනා කරනවා.
මේ ගීත පද රචනය කළේ කවුද ?
ගීත එකොළහක පද රචනය කළේ මම. එක ගීතයක් ප්‍රවීණ පද රචක ධම්මික බණ්ඩාර මහත්මයාගේ නිර්මාණයක්. ඒ ගීතයේ ‘රෑ අහසට‘ කියන පද පෙළ තමයි මම ප්‍රසංගයේ නම විදියටත් යොදා ගත්තේ. ගීතයේ සංගීත නිර්මාණය කළේ ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර සර්. මගේ පළමු ගීත පහේම සංගීතය නිර්මාණය කරන්නේ නාලක අංජන කුමාර සර්. ඒක මට ලැබුණු ලොකු භාග්‍යයක්.
මෙතෙක් ඔබ ගායන කළ ගීතවලට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
මගේ පළමුවැනි ගීතය වන “සුරංගනාවි” ගීතයට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඒ උත්තේජනය එක්ක තමයි මට තවත් ගීත නිර්මාණය කරන්න ආසාව ඇති වුණේ. “රෑ අහසට” කියන ගීතයත් එහෙමයි. ගුවන් විදුලි නාළිකාවල මේ ගීත දෙකටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. 2018දී මම සුරංගනාවී නමින් ගීත දහයක් ඇතුළත් සීඩි පටයක් කළා. මෑතකදී මම ගායනා කළ “මා එක්ක නෙවේ නුඹේ හැඟුම්” කියන ගීතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. තවත් විශේෂ ගීතයක් විදියට හඳුන්වන්න පුළුවන් “තාත්තේ ඔබ එනවා නම්” කියන මගේ පුතා සමඟ ගායනා කරන ගීතය. හදිසියේ මිය යන පියෙකු සහ තනිවෙන පුතා අතර ඇති වන හැඟීම් ප්‍රකාශනය තමයි මේ ගීයෙන් කියන්නේ. මේ ගීතයටත් බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
සංගීත අංශයෙන් ඔබට තියෙන අනාගත බලාපොරොත්තුව මොකක්ද?
මම එකම රාමුවකට කොටු නොවී විවිධ සංවේදී මාතෘකා පිළිබඳ තමයි ගීත නිර්මාණය කරන්නේ. ඉදිරියටත් ඒ වගේ වෙනස් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. රැකියාවට අමතරව මම ගීත ප්‍රසංගවලටත් සම්බන්ධ වෙනවා. ඒ කටයුතු දියුණු කර ගන්න තමයි බලාපොරොත්තුව.
මට මේ කාර්යට සහාය දක්වන හැමෝම ඉතා ආදරෙන් සිහිකරනවා.