Home » බ්‍රිතාන්‍ය – යුක්‍රේන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අන්දා – පාකිස්තානු ඩබලක් කරපු වංචාව

බ්‍රිතාන්‍ය – යුක්‍රේන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අන්දා – පාකිස්තානු ඩබලක් කරපු වංචාව

by sachintha
March 1, 2025 12:40 am 0 comment

පිටරටවල සිට මෙරටට පැමිණ විවිධ අකටයුතු, හොරමැර තක්කඩි වැඩ දූෂිත සහ වංචනික ක්‍රියා සිදු කරන විදේශිකයන් අනන්තය; අප්‍රමාණය. මේ විදේශිකයන් ඇතැම් අවස්ථාවල මෙලෙස මෙරටට පැමිණ තක්කඩි වැඩ සිදු කරන්නේ ද සිය ආරක්ෂාව ගැන ද සොයා බලමිනි.

පිටරටවල සිට මෙරටට මත්කුඩු, මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් භාණ්ඩ රැගෙන එන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වලට අයත් සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව ද සුළුපටු නොවේ. කටුනායක ගුවන්තොටුපොළෙන් කුෂ්, හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ආ විදේශිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රහස් පොලිස් නිලධරයන් විසින් පසුගිය දිනවලදී මත්ද්‍රව්‍යය ද සමඟ අත්අඩංගුවට ගනු ලැබීම ද සුවිශේෂය.

මීට අමතරව මෙරට කේන්ද්‍රීය ස්ථානයක් බවට පත්කරගෙන අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කරන විදේශිකයන් පන්සියයකට ආසන්න පිරිසක් පොලීසිය සහ රහස් පොලීසිය විසින් පසුගිය කාලයේදී අත්අඩංගුවට ගෙන තිබීම ද සුවිශේෂය.

මෙරට විවිධ පළාත්වල හෝටල් සහ සංචාරක නිවාඩු නිකේතන ලොකු මුදලකට කුලියට ගෙන එම විදේශිකයන් දීර්ඝ කාලයක් තිස්සේ ලෝකය පුරා විවිධ තරාතිරම්වල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ රවටමින් වංචා කරන ලදැයි සැලකෙන මුදල රුපියල් කෝටි සියයකටත් වැඩි බව හෙළි වී තිබේ. විශේෂයෙන් චීන, ඉන්දියානු, වියට්නාම්, පාකිස්තාන සහ තායිලන්ත රටවල ඇතැම් රටවැසියන් සැලකිය යුතු පිරිසක් පසුගිය කාලයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ රහස් පොලීසිය සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

වීසා නොමැතිව මෙසේ මෙරට රැඳී සිටිමින් එම රටවැසියන් මෙසේ එම ජාවාරම්වල නිරතව සිටි අතර එලෙස ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 12දෙනකු, වියට්නාම් ජාතිකයකු මෙරටින් වහාම පිටුවහල් කරන ලෙස අධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.

අප්‍රිකානු රටවලින් මෙරටට පැමිණෙන අප්‍රිකානු ජාතිකයන්ට ද ඇතැම් අවස්ථාවල මෙලෙස හොරමැර තක්කඩි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බව අමුතු කතාවක් නොවේ. ඉන් ඇතැම් නයිජීරියානුවන් ද මෙවැනි තක්කඩි ක්‍රියාවලට සම්බන්ධ බව හෙළි වී තිබේ. ගාලු පාරේ අම්බලන්ගොඩත් මාතරත් අතර ඒටීඑම් යන්ත්‍රවලින් ව්‍යාජ කාඩ්පත් භාවිත කළ වංචනිකව මුදල් ලබාගත් යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙක් ද සීඅයිඩීය විසින් අල්ලාගෙන තිබුණේ පසුගියදාය.

මේ ආකාරයටම වංචනික ක්‍රියාවල නිරත වුණු පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් ගැන මීගමුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ පසුගියදාය.

අදාළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනා විසින් මෙලෙස මුහුණුපොත උපයෝගී කර ගනිමින් රවටා තිබුණේ බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙදෙනෙකි.

මෙරටට ටික කලකට පෙර පැමිණ ඇති පාකිස්තානුවන් දෙදෙනා මීගමුවේ නවාතැන් පොළක සිට මෙලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඔවුන් ඒ වන විටත් මුහුණුපොතෙන් දැන හඳුනාගෙන සිටි බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙදෙනාට ආරාධනා කර ඇත්තේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට පැමිණෙන ලෙසය. පාකිස්තාන ජාතිකයන් දෙදෙනා මෙරට සිට කළ ආරාධනාව පිළිගත් යුක්‍රේන සහ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට නිෂ්පාදකයන් දෙදෙනා පසුගිය 09 වැනිදා අලුයම ඩුබායි සිට මෙරටට පැමිණ ඇත්තේ ඔවුන් සතු රුපියල් කෝටි ගණනක් වටිනා කැමරා උපකරණ ද සහිතවය. ඒ වනවිට ඔවුන් රැඳී සිට ඇත්තේ ඩුබායිවලය. එහෙත් මේ දෙදෙනා එකිනෙකා නොහඳුනන අතර පාකිස්තානුවන් දෙදෙනා ඉතා සූක්ෂ්ම අයුරින් කටයුතු කර මේ දෙදෙනා මීගමුවේ හෝටල් දෙකක නතර කර තිබිණි. මේ සඳහා කාමර වෙන්කර ඇත්තේ ද අදාළ පාකිස්තානු ජාතිකයන් දෙදෙනා විසිනි.

ඒ අතරතුරදී බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතිකයන් දෙදෙනා ඔවුන් සිටි හෝටල්වල කාමරවලදී වෙන වෙනම හමුවී ඇති පාකිස්තානුවන් ඔවුන්ට පවසා ඇත්තේ අදාළ චිත්‍රපටය රූගත කිරීම සඳහා සුදුසු ස්ථාන මහනුවර ප්‍රදේශයේ ඇති බැවින් එම ස්ථාන එහි ගොස් පරීක්ෂා කර සුදුසු ස්ථානයක් සූදානම් කරගෙන නැවත මීගමුවට පැමිණෙන ලෙසය.

පාකිස්තානුවන්ගේ ආරාධනාව පිළිගත් බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතිකයන් දෙදෙනා වෙන වෙනම මහනුවර බලා ගොස් ඇත්තේ පාකිස්තානුවන් දෙදෙනා විසින් ලබාදුන් වාහන දෙකකිනි. අදාළ වාහන කුලී පදනම මත වෙන් කරවාගෙන ඇත්තේ ද පාකිස්තානුවන් දෙදෙනා විසිනි.

පාකිස්තානුවන් දෙදෙනාගේ ඉල්ලීමට මහනුවරට වෙන වෙනම ගිය බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතිකයන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ ස්ථාන කීපයකටම ගොස් චිත්‍රපටය රූගත කිරීමට සුදුසු ස්ථානයන් සොයා බලාගෙන නැවත මීගමුවේ ඔවුන් නැවතී සිටි හෝටල් කාමර වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් දැක ඇත්තේ තමන් ගෙන ආ රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමින් යුත් කැමරා උපකරණ ඔවුන් නැවතී සිටි හෝටල් කාමරවලින් අස්ථානගත වී ඇති බවය. එහිදී හෙළිවී ඇත්තේ පාකිස්තානුවන් දෙදෙනා හෝටල් කාමරවලට පැමිණ අදාළ කැමරා උපකරණ වංචනිකව රැගෙන ගොස් ඇති බවයි.

බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතිකයන් පාකිස්තානුවන් සතු ජංගම දුරකතනවලට ඇමතුම් ලබා ගත්තද ඒවා ඒ වන විටත් අක්‍රිය කර තිබුණි.

පාකිස්තානුවන් දෙදෙනා නවාතැන්ගෙන සිටි හෝටලයට ගිය බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතිකයන් දෙදෙනා ඔවුන් ගැන සොයා බැලුවද එහිදී හෙළිවී ඇත්තේ ඔවුන් සිය පෞද්ගලික භාණ්ඩ ද ගෙන හෝටලයෙන් පිටවී ගොස් ඇති බවයි. තමන් පාකිස්තාන ජාවාරමුන් දෙදෙනකුගේ වංචාවකට හසුවූ බව දැනගත් බ්‍රිතාන්‍ය සහ යුක්‍රේන ජාතිකයන් දෙදෙනා ඒ පිළිබඳව මීගමුව පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය ඒ ගැන විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. බ්‍රිතාන්‍ය ජාතිකයාට අයත් රුපියල් ලක්ෂ 96ක් පමණ වටිනා කැමරා ඇතුළු භාණ්ඩ සහ යුක්‍රේන ජාතිකයාට අයත් රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා කැමරා ඇතුළු භාණ්ඩ පාකිස්තානුවන් දෙදෙනා විසින් මෙලෙස සොරකම් කරගෙන ගොස් තිබුණි.

බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් සොරකම් කළ කැමරා ආම්පන්න අතර තිබුණ ලැප්ටොප් පරිගණකයක් සම්බන්ධයෙන් සිදු කරන ලද වෝහාරික විමර්ශනයකදී හෙළිවී ඇත්තේ එම ලැප්ටොප් පරිගණකය ඒ වන විටත් පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක වන බවයි. ජීපීඑස් තාක්ෂණය මඟින් ඒ බව හෙළි විය. සැකකාර පාකිස්තානු ජාතිකයන් දෙදෙනා ඒ වන විටත් පාකිස්තානයට ගොඩ බැස ඇති බව හෙළි වන්නේ ඒ අනුවය.

අදාළ පාකිස්තානුවන් දෙදෙනාගේ තොරතුරු ලබා ගෙන ඒවා අන්තර්ජාතික පොලීසියට ලබා දී ඔවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරි ගාමිණි රත්නායකගේ උපදෙස් මතය.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division