ඉන්ධන බෙදාහරින්නන් විසින් ලබාගන්නා 3%ක නීත්‍යනුකූල නොවන වට්ටම් මුදල අහෝසි කර නව සූත්‍රයකට අනුව ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ බෙදුම්කරුවන් එසේ ලබා ගන්නා මෙම 3% වට්ටම අනීතික බවයි.
2022 වසරේ මාර්තු 10 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් එසේ 3%ක වට්ටම් මුදලක් ගෙවීමට කටයුතු යොදා තිබුණත් එසේ වට්ටම් මුදලක් ගෙවිය හැක්කේ ඩීසල් මිල රුපියල් 121කට වඩා වැඩි වුව හොත් එසේ වැඩි වන මුදලට පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. පෙට්‍රල් ලීටරයක් රුපියල් 162කට වඩා වැඩි වූ විට 3%ක වට්ටමක දෙනු ලබන්නේ 162ට වඩා වැඩි වන මිලට පමණක් බවද ඔහු කීවේය.
එසේ වුවත් සංස්ථාවේ දෝෂයක් නිසා සමස්ත ඉන්ධන ලීටරයේ මිලටම 3%ක වට්ටමක් ගෙවා ඇති බවත්, පසුව එය නිවැරැදි කිරීමේදී බෙදුම්කරුවන් අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ඒ වාරණ නියෝගය පසුව ඉවත් කළා. පසුව මේ අය අභියාචනාධිකරණයෙන් වාරණ නියෝග ලබා ගත්තා. දැන් ඒ වාරණ නියෝග අවසන්. ඒ වගේම විගණන දෙපාර්තමේන්තුවෙන් සංස්ථාවට දන්වා තියෙනවා මහජන මුදල් බිලියන 35.49ක් මේ ලෙසින් අනීතික ලෙසින් බෙදුම්කරුවන්ට ගෙවා ඇති නිසා එසේ වැඩිපුර ගෙවන මුදල් ගෙවීම නවත්වන ලෙසට. දැන් ඒ ක්‍රමවේදය ක්‍රියාවට නංවන්නයි යන්නේ. රටේ නීතිය, මහජන මුදල් නිසි පරිදි යෙදවීම පමණයි අප මේ සිදු කරන්නේ. අනීතික ගෙවීම් කරන්න බැහැ. රටේ නීතියට අපි බැඳී සිටිනවා.
ඒ වගේම මේ වෙනුවෙන් සාපේක්ෂව සමීකරණයක් සකස් කළා. එය අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දුන්නා. ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළා ඒ කමිටුව මගින් ගත්ත තීරණය තමයි මේ ක්‍රියාත්මක කරන්න කටයුතු කර ඇත්තේ. 3%ක වට්ටමක් ලබා දිය හැක්කේ අදාළ මිලට වඩා වැඩි වන මුදලට පමණයි,” සංස්ථා සභාපතිවරයා පෙන්වා දුන්නේය.