අද කෙනකුට විලාසිතාවක් ද, තවෙකකුට දිවි රැකුම් මඟක් ද වී ඇති ගැමි සම්ප්‍රදායේ අගය, කුමාරතුංග මුනිදාසයන් 87 වසකට පෙර ම දුටු සැටි, සිය ‘විරිත් වැකියේ’ (1938) පිවිසුමෙහි ලා ඔවුන් කළ ‘ගැමි වහරින් හද පොපියන අරුත් රසය නොහැඟී, මහ දද දන ගණ උපදින කලැ පර දෑ අනැගී’ යන සඳහනින් පෙනී යයි.
දිවි සරසවියෙන් දැනුම සරි කළ නැණසර ගැමි දන මුවින් නිතැතින් බිහි වන වදනරුත් රස ඉරුමට රිසි මුත් ‘නොවියත්’ නිගැන්මට බියෙන් පසුබෑ යමෙක් වී ද, හේ මේ පැවසුමින් දිරි ලැබුවාට සැක නැති. මෑත හෙළ වහරෙහි වූ මෙවන් පුහු කඩුලු රැසක් ම කුමරතුඟුවනතින් බිඳහුණු යුරු පතළ ය. මෙ-ලිපියෙහිලා සැමරෙන කිවිසුරු රැයිපියල් තෙන්නකෝනුන්ගේ පැවසුමක් ම එ-තතු තිර කරලනු සමති:
සිතුණක් එ ලෙස මැ
පෑමැ එ සිතැඳි වදනට
එළිදැකුමැ ඉඩක්
සිංහලේ නැති සේ යැ පෙනුණේ
එයින් මෙ රසයා
පෑම නිසි ද නොනිසි දැයි
සිතිවිලි අවුලෙහි
සිටිත දුටුයෙම් විරිත් වැකියක්
ම සිත් අසුට ඒ
තියුණු සන් කටුවෙක් වී
එ සෙදින් මං දුටු
අස’ළ දහර’ඬ යැ මෙ ඇසෙන්නේ
(වවුලු උපත)
මේ ඉඩ වරයෙන් පිබිද දිරි ලද තෙන්නකෝන්හු ඉනික්බිති සිය කටයුත්තට එළඹෙති. ඒ ‘වවුලුව’ (1939) නමැති පැදි ගතයි. ‘වවුලුව’ යනු විස්සක් පමණ වූ තෙන්නකෝනුන්ගේ පැදි පබඳ අතරෙහි පති කෘතියයි. විසිපන් දහස ඉක්මවන ඔවුන්ගේ පැදි සමුදායෙන් පන්සිය පනස්හතක් පැදිහු මෙහි වෙති. මෙ-පැදි රැසයුමෙහිලා ඔවුනතින් යෙදුණු බස් වහර, කව් රස, විරිත් විසිතුර ඉසියුම් ව විබෙදා ම විමසිය යුතු කරුණු ය. මෙහිලා අප තැත ‘වවුලුව’ නියදියක් සේ ගෙන, තෙන්නකෝනුන් ගැමි වහර වහලට ගත් සැටි විමසනු පිණිස ය.
කෙනකු නොරිස්සුම් ගති පාමින් මුනි වත රැකුම ගැමි වහරට ‘පුම්බාගෙන ඉඳුම’ ය. එලෙස ඉන්නා තැනැත්තා සොවිනුදු පෙළේ නම්, එගැන විමස-විමසා පෑරීම ‘සෝ ගින්නේ පිදුරු හෙළීමක්’ වේ. මෙ-වහර තෙන්නකෝනුන්ගේ කව් හද පිබිදූයුරු බලන්න (පැදි 4):
‘කතා නැති ව ඇයි පුම්බාගෙන ඉන්නේ
පුතා පිදුරු තව ඇදලයි සෝ ගින්නේ’
අතු පිට හිඳ, හොටින් ඇන-ඇන උකුණන් බිඳින සේ හිස් බලන කපුටන්ගේ දසුන තම කව් වත සැරසුමට ඔහු එලෙස ම ගනී (පැදි 6):
‘හොට ඇනැ බිඳින සේ උකුණන් අතරැ පියා’
පැරණි බස් රිය ඇංජිමක් පණගැන්වූ කල ගැහෙන යුරු, පණැති ළයක මහත් කම්පනයකට උපමා පිණිස ගන්නා අතර ම, එවන් හදකින් කියවෙන වදන් ගැන පැවසුමට නිසිතර ම යෙදුමක් ගැමි වහරින් ම මතු කර ගන්නට හේ සමත් වේ (පැදි 8):
‘නටන සෙ ඇංජිමක් බසයෙකැ ගමනැ සැදූ
සැර කැපුමැති වදන් හිත් වදිනට මැ යෙදූ’
කොවින් සැලෙන හදක තතු පැහැදුමට තවත් උවමක් මහ කිවියාට හමු වනුයේ ඔහුට හොඳට ම හුරු-පුරුදු මුළුතැන්ගෙයිනි (පැදි 9):
‘බත් සැළියක් බඳු වැ ළං වූ උතුරනට’
මෙවන් හදකින් නික්මෙන්නේ කෙවන් වදනක් ද? අසන්නාගේ සවන්පත් ඒ විඳගත් යුරු කිවිහු මෙසේ පවසති (පැදි 9):
‘වන් ලෙස හැඟිණි හෙණයක් සක්වළ ගලට’
වගකීමක් නැතිව කටයුතු සිදු වන බවට බිරියකට හැඟී යතොත්, මෙයටත් වඩා ගැළපෙන වදන් වැළක් සැමියකුට තිළිණ විය හැකි ද? (පැදි 10):
‘සිතා ගෙදොරැ නැති විලසක් අඹු-දරුවන්
නටා ගසා ගොස් එන සැටි රැගෙනැ රුවන්’
යම් කිසි දැයක් අත් පත් කරගෙන නිදහසේ දැනැඳිනගත හැකිව තිබියදීත් වටින් ගොඩින් විපරම් කරන කෙනකු දුටු කල නිතැතින් මෙසේ නොකියවේ ද?
‘ලිහා බලන මල්ලක් ඔබ ඔබන විදී’
නුසුදුසු කෙනකු අත, නුසුදුසු තැනක යෙදවීම – කෙලෙසීම – ගැමි වහරට ‘වවුල් හපයක්’ වීමකි. එය නිසි තැන නිසි යෙදුමක් කරගනිති තෙන්නකෝන්හු (පැදි 24):
‘කී පළියට මැ වූමු ද අපි වවුල් හපේ?’
එක් ව කළ යුතු බොහෝ දෑ වුව ද, ඇතැම් හවුල් වැඩ අවුල් ගොඩක් වීමට වැඩි වේලාවක් නොයන බව ගැමියකු වූ කිවිසුරාණෝ ද දැන සිටියහ (පැදි 118):
‘හවුලට ගොවිකම් එපා කියන්නේ’
ඉතා හොඳින් යමක් ගැන දැන සිටින්නකුට එගැන එතරම් නොවැදගත් තතු වැදගත් දෑ ලෙස හුවා දක්වමින් බිණීමට මීටත් වඩා සුදුසු පැවසුමක් යෙදේ ද? (පැදි 179):
‘ගස දන්නා හට එහි කොළ
කඩා පාන විලසට ඔහු’
නොතරම් කටයුත්තක් යමකු කළ කල එ-දකින්නකු උවහස ද මුසු කර කියන බස කිවි වහරට නැඟුණේ මෙනයිනි (පැදි 197):
‘කියත් අගී සුසැදූ සැටි නම් කරුණූ’
වියත් වහරින් ඔප් නැංවුණේ වුව, මෙතුළින් සියුම් හුයක් සේ දිවෙන ගැමි වහරේ රිද්මය නොහැඟේ ද? ගැමි උවම් රැසක් ම තෙන්නකෝන්හු වවුලුවෙහි ලා තම වහලට ගනිති. මේ ඉන් කිහිපයක් පමණි:
‘බළලුන් ලවා කොස් ඇට බාවන ලෙසට’ (පැදි 348)
‘උකුණන් මෙහෙයවා ගල් අදවන රඟට’ (පැදි 348)
‘මිරිස් දී ඉඟුරු ගත් රජසිහ නිරිඳු’ (පැදි 359)
‘දහවලැ පිනූ පියරදු රැයැ වැටුණු වළේ’ (පැදි 360)
ඉතා තියුණු ලෙස හැඟුම් දනවන ගැමි කියුම් රැසක් ම වවුලුයෙහි එන දෙබස් අතරේදී තෙන්නකෝන්හු තම පාත්‍ර වර්ගයාගේ මුවට නංවති. නිදසුන් මේ ය:
‘පිනැති! පවසත මුල සිට’ (පැදි 326)
‘තව අසනවා!’ (පැදි 369)
‘දතැකි නොවැ ආ විට!’ (පැදි 487)
‘එදා පටේ නම් වැරැදේ සැකෙක් නැත්’ (පැදි 545)
‘දෙකන් කකා යයි පැටුමෙක් කකා යැයි’ (පැදි 548)
‘සැන්දෑවේ සිට පෑ බොරු මායම්’ (පැදි 349)
‘සැදුණා ද විකාරේ’ (පැදි 549)
‘නෙ පසින් කනුකුනුව නැඟිණි’ (පැදි 542)
ගැමි වහරට ම අදාළ ව, තෙන්නකෝන් කිවියාවෙහි තවත් වෙසෙස් ලකුණක් ‘වවුලුව’ ඇසුරෙන් රස විඳිමි; ඔබ ද විඳුවනු රිසියෙමි. කෙනකු යමක් කියාගෙන යන කල්හි අසන්නා දක්වන ප්‍රතිචාර, කථකයා ම මැදිහත් ව පවසන්න වුව හොත් සිද්ධියේ ලය බිඳේ. කරගෙන යන කතාවත් නොසිඳ, එ-මොහොතේ පරිසරය අප හමුවේ මැවීමට අපූරු ප්‍රයෝගයක් තෙන්නකෝන්හු උපයෝගි කර ගනිති. එනම්: බෙණෙන්නාගේ මුවින් ම අසන්නාගේ ඇවතුම් පැවතුම් පැවසවීමයි.
‘ඇයි සිනා සෙන්නේ
පසකට මුව නවාගෙන’ (පැදි 49)
මෙය කියවන අප මනසේ මේ කතාව සිදු වන අතරතුර අසාගෙන ඉන්නා සොපහාසි ව සිනා සෙන යුරු නොමැවේ ද? සවන් දෙන්නා නැඟූ පැනයක්, පැනය නොදක්වා, ඊට සැපයෙන පිළිතුරින් ම හැඟවීමට කිවියාණන් ගත් මෙ-තැත විමසන්න:
‘නැති නැති, බණ නොවේ
පරපුර මැ පවසන්නෙමි.
සෙත හොත් ඒ අසා හෝ
සී, පසු වැ අසතොත් හෝ’ (පැදි 54)
අසන්නා විටින් විට සිනා නඟමින්, කියන්නා කෝප ගන්වන සැටි අපට මැවී පෙනේ. මේ, පැවසුමක් මැද හැසුරුමක් මැවුමට කිවියාණන් ගත් තවත් තැතකි:
‘රැයක් ගෙවී යේ මෙහි දී පැයින් තිස්
සමස් වැ පත් වේ තව තන්හි දී ඒ
ලෙඩෙක් ද, හා මේ මැ බවා බලන්නේ
එසේ මැ දික් වේ එහි දී දවාලත්’ (පැදි 531)
මෙයට මඳක් වෙනස් ව, එක ම පැවසුමක් තුළ අමතනු ලබන්නන් කිහිප දෙනකු සිටින යුරු දක්වන්නට විටෙක අප කිවිසුරාණන් යත්න දරන අන්දම ද වවුලුවේ දී දැක ගත හැකි ය. මේ එබඳු තැනකි:
‘සිතා ගෙදොරැ නැති විලසක් අඹුදරුවන්
නටා ගසා ගොස් එන සැටි රැගෙන රුවන්
අහා! වැරදුණා මගෙ කට ඇස’ඳුරුවන්
පියා නො වේ ඒ, මෙහි එන්නැ පොඩි රුවන්’
මෙහි පළමු දෙ-පිය බැහැරින් එනු දිසි තැනැත්තා අරමුණු කොට කියවිණි. තෙවැනි පිය තමන්ට ම ය. අවසන ඇමතෙනුයේ තම තුරුලේ ඉන්නා පුත් රුවන ය.
පෙළ, සකු, ඉංගිරිසි, ලතින, හීබ්රු, ජර්මානු යන විදෙස් ස-බසක (ෂඩ් භාෂා) දැනුම් දැරුවකු අතින් ලැබෙතැයි සිතිය නොහැකි තරම් තැනක් හෙළ ගැමි වහරට මේ විද්වත් කිවිසුරාණන් වෙතින් ලැබී ඇති අන්දමට තවත් දෙස් කුමට ද?
ඔවුන්ගේ සපිරි කව් ගත් රැස සපයා ගෙන කියවන්නට මෙ-කියවූ ඔබ සිත හැඟුමක් නැඟිණි නම්; අපට එ-පමණි.
කිවිසුරු දිවි පවත
මීගමු දිසාවට අයත් ගණේපොළ වළල්ලාවිටදී 1899 දෙසැම්බර් 19 වැනිදා රැයිපියල් තෙන්නකෝන්හු මෙලොව එළිදුටහ. බිලිඳු වියේ පසුවද්දී ම මව වියෝ වූයෙන් වැඩිහිටි සෝයුරියන් අතෙහි හැදුණු වැඩුණු රැයිපියල් ඒ වන විට විවාපත්ව සිටි අක්කාවකගෙන් කිරි බිවු බව ද පැවසේ. වෙදැදුරු කෙනකු වු සිය පියාණන් දැකීමට එන ගැමියන්ගේ ද සෝයුරියන්ගේ මිතුරු ගැහැනුන්ගේ ද වදන් සවන් වැකීමෙන් ඔහුගේ කවි මනස පිබිදුණු සැටි රුප්පෙ අන්දරය, පස්මංදොරැ අන්දරය, හැවිල්ල ආදි තෙන්නකෝනුන්ගේ පසුකාලීන පද්‍ය කෘතීන්හි මොනවට විද්‍යමාන වේ.
රද්දොළුවේ බුදුනු පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ, රද්දොළුව පන්සලෙන් ප්‍රාචීන භාෂාවන් ද ඉංග්‍රීසි භාෂාව ද හැදෑරු රැයිපියල්හු පසුව ලතින, හීබ්රු ඈ බස් ගණනක දැනුම ස්වෝත්සාහයෙන් ම සපුරාගත්තහු, ශාස්ත්රාලයීය අධ්‍යාපනයෙන් පසු තමන් උගත් රද්දොළුව පාසලෙහි ම ශිෂ්‍ය ගුරු තනතුරක් ලබා, පසුව නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පිවිස එහි දේශකයකු ලෙස ද කටයුතු කළහ. ඔහු තම පළමු පද්‍ය නිර්මාණය වන ‘එළු සදෙස’ (අමුද්‍රිත) රැසයුවේ ද මෙකල ය.
පද්‍ය බන්ධනය කෙරේ නිසග හැකියාවක් පැවැත්තේ වුව ඔහුගේ ප්‍රියතම විෂයයන් වූයේ භුමි ශාස්ත්‍රය හා ඉතිහාසයයි. අනුරාධපුර බැසීම හා වැටීම, යටගිය දවස, සිංහල වංසය, පරංගි සමය බඳු කෘතිවල මතු නොව, ‘වවුලුව’ වැනි නිර්මාණාත්මක පද්‍ය කෘතියක පවා පිළිබිඹු වන්නේ ඔහුගේ ඒ අතේ දැනුමයි. එතෙක් සිංහල කවීන්ට ආගන්තුක වූ හාස්‍යය හා උපහාසය මුඛ්‍ය රසය කොට ගත් ‘වවුලුව’ සිංහලයාගේ මතු නොව සමස්ත මිනිස් වර්ගයාගේ ම දුබලකම් දක්වන කැටපතක් බඳු ය. 2500 බුද්ධ ජයන්තිය නිමිති කර ‘ලංකාදීපය’ පැවැත්වූ තරගයෙන් ‘මහාකවියා’ ලෙස තේරුණු තෙන්නකෝනුන්ට පැදි 2,500කින් ලංකා ඉතිහාසය ලිවීමේ භාරධුර වගකීම පැවරිණි. ‘සිංහල වංසය’ එහි ඵලයයි.
නිට්ටඹුව ගුරු ඇබෑසියේ විදුහල්පති ලෙස කුමාරතුංගයන් පත් ව ඊමත් සමඟ එතෙක් තෙන්නකෝනුන්ට විෂයය නොවූ සිංහල භාෂාව කෙරේ ඔහුගේ අවධානය යොමු වීම කෙළවර වූයේ කුමාරතුංගයන්ගේ ප්රබලතම අනුගාමිකයකු බවට පත් වීමෙනි. පසු කලක හෙළ හවුලේ නායකත්වය ද ඔහුට හිමි විය. මෙහි පල විසින් ‘හොඳ සිංහල’ කෘති පෙළ ද එළු අත්තනගලු වංසය, සිදත් සඟරාව, කෝකිල – ගිරා – සැවුල් සංදේශාදියට ලියූ විවේචන ග්‍රන්ථ ද වීදාගම – සිරිරහල් පබඳ සංග්‍රහයන් ද අපේ කව්, අපේ අසුන් කව් විචාර ග්‍රන්ථ ද බිහි විණ. ‘බස් පාර’, ‘කවුඩුව’, ‘ගිය කල’ ඔහු අතින් ලියවුණු ගද්‍ය කෘති කිහිපයකි.
බළපිටියේ සිද්ධාර්ථ ඇබෑසි විදුහලෙහිත් පොතුපිටිය, මාදොළුවාව, දාගොන්න, ගංගොඩවිල ආදි විදුහල් රැසකත් විදුහල්පති ධුර හොබවා, 1965 මාර්තු 8 දින මෙලොව හැර යන විට තෙන්නකෝනුත් අතින් 25,000කටත් අධික පද්‍ය සම්භාරයක් ලියවී තුබුණු බැව් පැවසේ.