– කුවේණියගේ මනස්කාන්ත රූප ශ්‍රියාව විසිතුරුව මෙහි විස්තර කරයි
– විජය යකුන් වැනසූ අයුරු ද මින් හෙළි කරයි
විජය සහ කුවේණිය සම්බන්ධ පුරාවෘත්තය නොදන්නා කෙනෙකු නැති තරම්ය. අප රට එක් යුගයක ආරම්භය ද විජයාගමනයේ පලයකි. ගැමි ජනතාව අතර මුඛ පරම්පරාගතව පැවැත එන නොයෙක් කතා ප්‍රවෘත්තීන්වලින් ඇතැම් විස්තර විජය සහ කුවේණියගේ පෙර ජන්මයෙහි තොරතුරු ද හෙළි කරවිය. මෙම පුවත සවිස්තරව සඳහන් වන ‘විජයිඳු හටන” නම් පද්‍ය කෘතියක් ‘හටන් සාහිත්‍යයේ’ දැක්වේ. එහි දැක්වෙන පෙර ආත්මයේ කතා පුවත අනුව විජය රජුට කුවේණිය පළවා හැරීමට සිදු වූයේ පූර්ව කර්ම විපාකයක ප්‍රතිඵල විසිනැ’යි සඳහන් වේ. “විජයිඳු හටන” ආරම්භ වන්නේ ද එම පුවතිනි. කුවේණිය පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් ද එහි සඳහන්ය.
පෙර අත්බවේදී බල පරාක්‍රමවත් රජෙකුට යාගයක් පැවැත්විණි. මෙම යාගය බලවත් දුෂ්කර කාර්යයක්ව පැවැත්වූවකි. යාගය සිදුකරන ලද්දේ පුරෝහිත බමුණෙකු විසිනි. රජතුමා එම යාගයෙන් බෙහෙවින් සතුටට පත්වූවේය. රජුගේ නිම්හිම් නැති සතුට කොතෙක් වීද යත්, මහානුභාවසම්පන්න මැණිකක් එම බමුණාට ප්‍රසාද වශයෙන් පිළිගැන්විය. එය විස්මිත පල උදා කරවන්නකි. නළලෙහි ස්පර්ශ කර ගත් විට සියල්ලෝ වශී වෙති. සිතැඟි ඉටුකර ගැනීමෙහි මහඟු බලයක් ද පැවැතියේය. රාජ සේවයෙහි නිරත වූ පුරෝහිත බමුණා, රජ වාසලට පිටත්වන විටදී, මාණික්‍ය රත්නය නළල් තලයෙහි ස්පර්ශ කර රජ වාසලට යෑම සිරිතක් විණි. මෙය බමුණාගේ තුරුණු බිරියට ද, ආසාවක් ඇති කරවන්නක් විය. ඇයට ද එම මැණිකෙහි ස්පර්ශය ලබන තෙක් සැනසීමක් නොවීය. ඇය සිය රුචිය බමුණාට පැවැසුවාය. කාන්තාවකගේ ස්පර්ශය ලත් විට මැණික අතුරුදන් වන බව දන්නා පුරෝහිත බමුණා, ඊට අවසර නොදුන්නේය. කොතෙක් යාඥා කළ ද, නිෂ්ඵල වූයෙන් ඇය මැණික සඟවා තබන ස්ථානය කෙරෙහි විමසිල්ලෙන් පසු වූවාය. දිනක් රාජ සේවයට යෑමට සුදානම් වූ බමුණා මැණික නළල් තලෙහි ස්පර්ශ කර සඟවා තබා පිටව ගියේය. මැණික සැඟැවූ ස්ථානය දැනගත් ඇය එය රැගෙන සිය සැමියා කළාක් මෙන් නළලෙහි ස්පර්ශ කළාය. ඇසිල්ලකින් මැණික අතුරුදන් වූයේ ගැහැනියකගේ ස්පර්ශයෙන් කිලිටි වූ බැවිනි. පසු දින මැණික නොදුටු බමුණා එය බිරිය විසින් සඟවන ලදැයි සිතා ඇගෙන් විමසුවේය. මැණික ගැනීම තබා තමන් එය දුටුවේවත් නැතැයි ඇය දිවුළාය. මෙම පුවතෙහි සඳහන් පුරෝහිත බමුණා සහ ඔහුගේ බිරිය මෙම අත්බවෙහිදී විජය සහ කුවේණිය වී උපත ලදහ. දිවි හිමියෙන් හැරදා නොයන සේ දිවුරා පොරොන්දු වූ විජය ඇය සරණ පාවා ගත්තේ ඇගේ යක් පිරිස ද වනසා දමමිනි. මෙරට තවත් රාජ්‍ය යුගයක ආරම්භකයා වූ විජය පසු කලෙක ඇය හැර දමා සිය නිජබිම විසූ කුමරියක් ගෙන්වාගෙන සරණ පාවා ගත්තේය.
“විජයිඳු හටන” නමැති හටන් පද්‍ය කෘතියෙහි කුවේණිය සහ විජය පිළිබඳ සියලු තොරතුරු එක්තැන්ව පවතී. එහි කුවේණියගේ නොයෙක් අප්‍රකට තොරතුරු ද සඳහන්ය. එම සිද්ධීන් රසාලිප්තව ඉදිරිපත් කරන කතුවරයා කුවේණියගේ මනස්කාන්ත රූපශ්‍රියාව විසිතුරුව විස්තර කරයි. පෙර අත්බවෙහි බඹනම් රජෙකු විය. ඒ රජුගේ මෙහෙසිය චන්ද්‍රාවතී නම් වූවාය. ඔවුනට උපන් කුමරියට පියයුරු තුනක් විය. අසාමාන්‍ය රූපශ්‍රීයෙන් යුතු කුමරිය තෙද බල විකුමින් ද යසසින් ද පතළ වූවාය. එමෙන්ම ප්‍රදේශයක අධිපතිනියක් බවට ද පත්වූවාය. ඇගේ යස ඉසුරු ද පවසන “විජයිඳු හටන” කතුවරයා උපතිස්ස නගරය කුවේණි රාජිනිය විසින් ඉදිකරන ලද අයුරු දැක්වෙන කවි අතරින් එකක් මෙසේය.
“ලක්සයක් පෙර ඇදුරු මුඛයෙන් –
– කිව්ව පෙර ඒ ලෙස ගරූ
අක්සරක්වත් මීට මඳකුත්
– නොකිය ඇදුරනි බස බොරූ
සැක්ර දෙවිඳුගෙ විමන සරි කොට
– මැවුනි උපතිස්සය සරූ
චක්‍ර වාසල් මැවූ උතුරෙහි
– දිසාවට කී ලෙස සරූ”
මෙවන් ජන කවි සම්ප්‍රදායයෙන් රචිත කවි 153කින් සමන්විත වූ ‘විජයිඳු හටන’ අප්‍රකට හා මුද්‍රණයෙන් ප්‍රචාරකව පවතින බවක් නොහැඟේ. විජය යකුන් වැනසූ අයුරු ද, පුරාවෘත්තයන් ද අනුව පෙර අත්බවේදී පුරෝහිත බමුණාගේ මැණික ස්පර්ශ කර නොදුටු බවට දිවුරා කළ ප්‍රකාශය නිසා මෙම අත්බවෙහිදී විජය විසින් ඇය පිටුවහල් කිරීමට සිදු වූයේ එහි විපාකය පල දීමෙනැ’යි මෙහි සඳහන් වේ.
ජ්‍යොතිර්වේදී, සෙත්කවි රචක විශ්‍රාමික ආචාර්ය පියදාස කලන්සූරිය