Home » අපි එකම රෑනෙ කුරුල්ලෝ… මේ පාරාදීසේ…

අපි එකම රෑනෙ කුරුල්ලෝ… මේ පාරාදීසේ…

by Mahesh Lakehouse
March 16, 2025 12:31 am 0 comment

මේ කුරුල්ලන් එකම රෑනේ කුරුල්ලන් බවට ඇති හොඳම නිර්ණායකය ඔවුන්ගේ හැසිරීම, ක්‍රියාකාරිත්වය හා ඒ ක්‍රියාකාරිත්වයෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිඵලයයි.

නිදහසින් පසු වසර 76ක් රට පාලනය කළ මේ පිරිස කියුම් අතින් කෙසේ වෙතත්, කෙරුවාව අතින් නම් බොහෝ දුරට සමානය. ඔවුන් කිසිවකුට රාජ්‍ය පාලනයේ සදාචාරයක්, විනයක් තිබුණේ නැත. ඔවුහු එකම පෙළැන්තියකට අයත්, එකම පන්තියකට අයත් පිරිස් වෙති. ඉතිහාසයේ ප්‍රථම වරට

ජනතාවගේ බලය ඔවුන් වෙතින් ඈතට ගොස් තිබේ. අපේක්ෂා භංගත්වයට පත් මුහුණු ඇද වීමට එකම හේතුව බලය අහිමි වීම මිස අන් කවරක් හෝ නොවේ.

ශ්‍රී ලංකාව පාරාදීසයක් වූයේ ඔවුන්ට පමණි; රටේ සාමාන්‍ය පුරවැසියාට නොවේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතියේ සුක්කානම හැසිරවීමේ බලය නිර්ප්‍රභූ වැසියන් නියෝජනය කරන නායකයකු අතට පත්ව ඇත. එ බලපෙරළිය ඉතා කෙටි කාල පරිච්ඡේදයකට ලඝු කරන්නට ඔවුන්ට අවශ්‍යව තිබේ. ඒ සඳහා අවශ්‍ය එක්සත්කම මේ කණ්ඩායම තුළ දැනටමත් තහවුරු වෙමින් පවතින බව ඔවුන් කරන කියන දෑ අනුව නිගමනය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලනය තුළ බණ්ඩාරනායක සහ ඩී.එස්. සේනානායක අතර ගැටුම් තිබිණි. බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක අතර ප්‍රතිවිරෝධතා තිබිණි. එපමණක් නොව, ජයවර්ධන සහ ප්‍රේමදාස අතරද අමනාපකම් තිබිණි. සිරිමා බණ්ඩාරනායක සහ ආර්. ප්‍රේමදාස අතරද විසඳන්නට ගැටලු තිබිණ. මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා අතර සැඟවුණු බද්ධ වෛරයක් තිබිණි. එහෙත් වර්තමානය වන විට මේ සියල්ල වෙනස් වී තිබේ. රටේ බහුතර ඡන්දදායකයන් ජාතික ජන බලවේගය වටා ගොනු වීම නිසා සකලවිධ සතුරු පාර්ශ්වයන්ට මතභේද දුරලා එක්සත් වන ලෙස ඉතිහාසය විසින් බල කර තිබේ. ඉදිරියේදී පළාත් පාලන ඡන්ද සඳහා නිතරග ගිවිසුම්, දේශපාලන සන්ධාන තව තවත් බිහි වනු දැකිය හැකිය. පසුගිය මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට ගැසූ සන්ධාන මේ වන විට දිය වී ගොස් හමාරය.

ඔවුන් සියල්ලන්ම එකම රෑනේ කුරුල්ලන් බව ඉතිහාසය ඔවුන්ට මතක් කර දී ඇත. වර්තමාන ආණ්ඩුව පරිස්සම් විය යුත්තේ අපේ සම්පත් කොල්ලකෑමට පැමිණෙන විදේශීය අධිරාජ්‍යවාදීන්ට වඩා මේ බලයෙන් පහ වූ බලවේග කෙරෙහිය. එයට හේතුව ඔවුන් ඕනෑම මොහොතක විදේශ රාජ්‍යයන්ගේ බළල් අතක් වන්නට ඉඩ ඇති හෙයිනි. ඔවුහු ඕපපාතිකව පහළ වූ උදවිය නොවෙති. ඔවුන්ගේ පෙකණිවැලෙහි සහ සම්බන්ධතාව තිබෙන්නේ අමෙරිකාවේ, යුරෝපයේ හාම්පුතුන් අතය. ඔවුන්ට ඔවුන්ගේම වූ සහචරයෝ සිටිති. රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ඔහු හමු වූ වෛද්‍ය කණ්ඩායමක් පසුගියදා ඉල්ලා තිබිණි.

තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ අත්දැකීම් සහිත, පළපුරුද්ද ඇති දේශපාලකයන් රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය බවයි. එවැන්නන්ට බලය දිය යුතු බවට සමහරු මත ගොඩනඟති; එය අලුත්ම දේශපාලන තර්කයක් ලෙස සාකච්ඡාවට ගෙනෙන්න උත්සාහ කරති; දේශපාලනයේ පළපුරුද්ද නැති මහාචාර්යවරුන්ට රට ගොඩනැඟිය නොහැකි බවට තර්ක දමති. මෙයට නූතන දේශපාලන ඉතිහාසයෙන් උත්තරයක් දිය යුතුය.

රනිල් වික්‍රමසිංහ 1977 බියගම මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වෙද්දී ඔහු නඩු නැති නීතිඥයෙකි. රනිල් 1977 එජාප ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමැති විය. 1978 දී ඔහු තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමැති වූයේය. 1982දී ඔහුට අධ්‍යාපන ඇමැතිකම හිමි විය. මේ සා බරපත​ළ ඇමැතිකම් ජේ.ආර්. මාමා දෙද්දී කිසිවකු රනිල්ගේ පළපුරුද්ද විමසු​වේ නැත. කෙසේ වෙතත් ඔහු මේ ඇමැති තනතුරු දරද්දී ලංකාවේ තරුණ පරපුරෙන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඝාතනය විය. අද අල්ජසීරා මාධ්‍ය ජාලය ඉදිරියේ බටලන්ද ගැන රනිල්ට උත්තර බඳින්න සිදු වී තිබෙන්නේ ඒ නිසාය. තවත් නොබෝ දිනකින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වීමෙන් පසු නීතිපතිවරයා ඒ සම්බන්ධ චුදිතයන්ට නඩු පැවරීමට කටයුතු කරනු ඇත.

ජනතාව මතු කරන ප්‍රශ්නය මේ කිසිවක් නොවේ. මේ එකම රෑනේ කුරුල්ලන් රට පාලනය කළ කාල වකවානුවල එක් පැත්තකින් රට බංකොලොත් භාවයට තල්ලු වූ අතර, අනෙක් පැත්තෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වල් වැදිණි. ඔවුහු කිසි සේත්ම යහපත් රාජ්‍ය පාලනයකට සුදුස්සෝ නොවූහ. ඔවුන්ගේ පාලන කාලයන්හි රට පැවති තත්ත්වය දැන් බොහෝ දෙනාට මතක නැත. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුර දැරූ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමය පිළිබඳව අතුරුදන් වූ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මෙසේ ලියා තිබේ:

“ජීවත් වීමටත්, අදහස් පළ කිරීමටත් ඇති අයිතිය තර්ජනයට ලක් වී තිබේ. ඒ තර්ජනය කලක සිට සෙමෙන් වර්ධනය වී, දැන් එය සමස්ත සමාජයම ගිලගෙන ඇත. අදහස් පළ කිරීමට සහ ජීවත් වීමට ඇති අයිතිය තර්ජනයට ලක් වීමට පෙර ඒ අයිතීන්ගේ ආරක්ෂාවට තිබූ ප්‍රජාතන්ත්‍රවාදි අංගෝපාංග සියල්ල පාහේ විකෘති කර පරිහානියේ ප්‍රවාහයට හසු කර තිබේ. පාර්ලිමේන්තුව, අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය ඒ අතර ප්‍රධානය. ඒවායේ ප්‍රජාතන්ත්‍රවාදි රූපය ඒවාට අහිමි වී, ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කරන ස්වරූපයක් ඒවාට ලැබී තිබේ. පුරවැසියන්ගේ ඉපයීම්වලින් නඩත්තු වන අතර, පුරවැසියාගේ ජීවිතය රැකීමේ හා සමෘද්ධිමත් කිරීමේ වගකීම දරන එම ආයතන ඒ වගකීම්වලින් බැහැර වී, ඉඳුරාම ඊට පටහැණි අතට ක්‍රියා ක්‍රියා කරති. මේ තත්ත්වය වනාන්තරයේ පවතින තත්ත්වයටත් වඩා අයහපත්ය. වනයේ සෑම සතකුගේම පැවැත්ම එකිනෙකට ඈඳී ස්වාභාවික රැකවරණයක් ලැබී ඇත. සංස්කෘතික මිනිසාගේ පැවැත්ම රඳා ඇත්තේ ඔහු විසින්ම නිර්මාණය කරගත් පාලන තන්ත්‍රයන් හෝ සමාජ රැකවරණ පිළිවෙළ මතය.

යුක්තිය ඉටු වන බව පෙනෙන්නට නැත. එකම ජන වර්ගයේ, එකම පවුලේ දරුවෝ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින්, ගිනිඅවි දරමින් සතුරු බාධක ඝාතනයේ යෙදෙති; පැහැරගෙන ගොස් ඝාතනය කරති. ඒ දෙස බලා සිටින්නට සිදු වූ වැඩිහිටියෝ සමාජ ජීවන චක්‍රය විසින් අත්හැර දමනු ලැබ ඇත. එසේ වන්නේ ඔවුන් බලයක් නැති නිර්ප්‍රභූ පුරවැසියන් බැවිනි. කම්පිත වැඩිහිටි පරම්පරාව සෙවණැල්ලක්වත් නොතබා ජාතියේ ක්ෂිතිජයෙන් මැකී යති. ඒ අසරණයන් වෙනුවෙන් හඬක් නඟන්නන් වෙතොත් ඔවුහුද අතුරුදන් වෙති.

මේ භීම සමයේ මිනිසාගේ පරම ආයුෂ කාලය තීරණය කෙරෙන්නේ වහා ගිනි ගන්නාසුලු දේශප්‍රේමය විසිනි. සියලු ව්‍යාධි නපුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ඇති වන්නේයැයි කියන පාලකයෝ ඊට සාප කරන අතරම එහි ඇති සියලු නපුරු විෂ තම පැවැත්මට යොදාගනිති. ජීවත් වීමට ඇති අයිතියත් අදහස් පළ කිරීමට ඇති අයිතියත් රැකගත යුත්තේ ඒ දුෂ්කර යථාර්ථය අවසන් කරනු සඳහාය.”

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැදිලි කළ ඒ අවිචාර සමය අද බොහෝ දෙනාට මතක නැත. අවසානයේ ප්‍රගීත් පවා එහි ගොදුරක් විය. රාජ්‍ය පාලකයන් පුරවැසි සමාජයට ඉහළින් වැජඹෙමින්, ජාතියේ ධනය කාබාසිනියා කළ දේශපාලන සංස්කෘතිය වර්තමාන ආණ්ඩුව විසින් මුළුමනින්ම අහෝසි කර තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන් ඉහළම වටිනාකමකින් යුතු මෝටර් රථ පාවිච්චි කරමින්, සිය අඹු දරුවන් සමඟ ගත කළ සෙල්ලක්කාර ජීවිතයට තිත තබා ඇත. මේ වනාහි රටේ ජනතාව අපේක්ෂා කළ, රට අපේක්ෂා කළ වෙනසයි. ජන ජීවිතයට ප්‍රජාතන්ත්‍රවාදයත්, නිදහසත් දෝත පුරා ලැබී ඇත.

ඒ වෙනස දරාගත නොහැකි, ඊට ගරු නොකරන පිරිස් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ජනතාවට වැරදි මතවාද ගිල්වීමටය. හාල් ප්‍රශ්නය, ලුණු ප්‍රශ්නය, රිළා ප්‍රශ්නය ආදි විවිධ මුහුණුවරින් ඉදිරිපත් වන්නේ වර්තමාන ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන අන්තර්ජාතික බලවේගවල අවශ්‍යතාවයි. නීතියට ගරු කරන යුක්ති සහගත පාලනයක් ඔවුන්ට අවශ්‍ය නැත.

මේ මොහොතේත් ආසියාවේ බොහෝ රටවල ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ අත්පත් කරගන්නේ සුළු පිරිසක් බවත්, ඒ රටවල බහුතර ජනයා දරිද්‍රතාවේ පතුලට කිඳාබසින බවත්, රහසක් නොවේ. මේ පද්ධති මෙහෙයවන මුල් පෙළේ රාජ්‍යයන්ට විශේෂ තත්ත්වයක් හිමි විය යුතුය යන වැරදි විශ්වාසය මිනිසුන්ගේ ඔළු අවුල් කර තිබේ. බොහෝ ගැටලුවලට යට කී විශ්වාසය පදනම්ව ඇති අතර, කුමන්ත්‍රණකාරි මතවාද ඒ ඔස්සේ කාන්දු වන බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ පැවති ප්‍රශ්නය ඉහළ පෙළැන්තියේ සුළුතරයකට ජනගහනයෙන් බහුතරය සේවා සපයන්නන් වීමය. මේ කරදරය අපි ඉල්ලා ගත් එකක් මිස අපට අහම්බෙන් පාත් වූ එකක් නොවේ. එයින් මිදීම සඳහා ජනතාවට ඇති වුවමනාව පසුගිය මැතිවරණ වලදී ජනතාව පෙන්වා දී තිබේ. එහෙත් අනාගතයේදී ශ්‍රී ලංකාව ගමන් කරන දිශානතිය පිළිබඳ පැහැදිලි ඉවකින් කටයුතු කරන ජාත්‍යන්තරය, ගමන ආපසු හැරවීම සඳහා ජනමාධ්‍ය, දේශපාලනය ඇතුළු සෑම පේෂියක්ම උපයෝගි කරගනු ඇත. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ අරමුණ ජය ගත හැක්කේ ඉදිරියට තැබූ පියවර කවර හේතුවක් නිසා හෝ ආපස්සට ගැනීමට ඉඩ නොතැබීමෙන් පමණි.

– දේශපාලන ලියුම්කරු විසිනි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division