උපාලි අත්තනායක මෙරට ප්‍රසිද්ධියට පත් වූයේ රංගන ශිල්පියකු ලෙසය. එහෙත් ඔහු මෙරට ප්රචාරක කලාවේ දැවැන්ත යෝධයෙක් විය. වරක් මහවැලි කේන්ද්‍රයේ ඇඩ්වටයිසිං වැඩමුළුවකදී විමල් කුමාර ද කොස්තා නමැති නළුවා ගැන කතාවක් ගෙනහැර දැක්වූයේ කොස්තාට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නට තමන් අවවාද කරන බව පවසමිනි.
“දවසක් කොටුවෙ බෝගහ හන්දියෙදි කොස්තාට සුද්දෙක් හම්බ වුණා. ‘වෙයාර් ඉස් බෑන්ක් ඔෆ් සිලෝන් හෙඩ් ඔෆිස්?’ සුද්ද කොස්තාගෙන් ඇහුවා. ‘කම්’ කියාගෙන කොස්තා සුද්දට ඉස්සරහින් ගියා. දැන් සුද්ද අහනවා ලංකා බැංකුව කොහේද කියලා. සුද්ද දාඩිය පෙරාගෙන නෝරිස් පාර දිගේ හති දාගෙන ඇවිදිනවා. දැන් සුද්දට හොඳටම තෙහෙට්ටුයි. කිලෝමීටර් ගාණක් දාඩිය පෙරාගෙන ඇවිද්ද සුද්දව කොස්තා ලංකා බැංකුවේ පිට්ටු බම්බුව ගොඩනැඟිල්ල ගාවට එක්කං ගිහින් බිල්ඩිමට තට්ටුවක් දැම්මා. ‘දිස් ඊස් බෑන්ක් ඔෆ් සිලෝන්!’ කොස්තා ජයග්රාහි ලෙස කියන විට සුද්දා හතිඅරින්න පටන් ගත්තා.”
මේ කතාව එංගලන්තයෙන් ආ ඉංග්‍රීසි කතා කරන සුද්දෙක් ගැනය. එහෙත් පසුගියදා එංගලන්තයේ ‘The Sun’ පුවත්පත එංගලන්තයේ ඉන්න ලක්ෂ දහයකට ඉංග්‍රීසි බැරි බවට අමුතුම පුවතක් වාර්තා කර සිටියේය. ලංකාවේ ද කාලයක් ‘Sun’ නමින් ඉංග්‍රීසි පුවත්පතක් පළ වූ අතර, එහි සතිඅන්ත ඉරිදා පුවත්පත වූයේ ‘WEEKEND’ ය. මේ දෙක ප්‍රකාශයට පත් කරන ලද්දේ ‘දවස’ කොම්පැනිය විසිනි. විශේෂයෙන් ඒ ලංකාවේ පළ කළ ඉංග්‍රීසි පුවත්පත් දෙක ගැන හුවා දැක්වූයේ ඒ පත්‍රවල සේවය කළ පත්‍රකලාවේදීන්ට ඉන්දියාවේ, බංග්ලාදේශයේ සහ මාලදිවයිනේ ඉංග්‍රීසි පුවත්පත්වල දැඩි ඉල්ලුමක් තිබූ නිසාය. මේ පුවත්පත් දෙක ආරම්භ කළ ඩී.බී. ධනපාල පවා ඉන්දියාවේ පුවත්පතක ‘ජේනස්’ යන නාමයෙන් පෙනී සිටි ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියකු වූ අතර, පසු කලක ධනපාලයන්ට ලංකාවට එන්නට සියලු පහසුකම් සලසන ලද්දේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන විසිනි.
‘එංගලන්තයේ ලක්ෂ 10කට ඉංග්‍රීසි බෑ’ යැයි කියූ විට අප පුදුමයට පත් විය යුත්තේ, අපේ ලංකාවේවත් ඉංග්‍රීසි මඳ දැනුමක් ඇතුව මෙලෝ දෙයක් කරගත නොහැකි නිසාය. ලංකාවේ ණය තොරතුරු වාර්තාව (Crib Report) එන්නේ ඉංග්‍රීසියෙනි. ලයිට් බිල්, වතුර බිල් එන්නේ ඉංග්‍රීසියෙනි. බොහෝ මාර්ග සංඥා යටින් එහි තේරුම් ඇත්තේ ඉංග්‍රීසියෙනි. වරක් මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සන්නිවේදකයකු වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් පවසා සිටියේ මර්ග සංඥාවක් යටින් එහි තේරුම අකුරෙන් සටහන් කරන්නේ නම්, ඒ මාර්ග සංඥාව ජනතාවට නොතේරෙන බැවින් එම සංඥාවෙන් ඇති තේරුමක් නැති බවයි.
එංගලන්තයේ උදවියගේ මේ ඉංග්‍රීසි දැනුම ගැන පසුගිය පෙබරවාරි මාසයේ ප්‍රකාශයට පත් කොට ඇත්තේ බ්‍රිතාන්‍ය දත්ත අධිකාරිය විසිනි. එය සංඛ්‍යා දත්ත අනුව බ්‍රිතාන්‍යයේ 794,332කට හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකි අතර, 136,876කට ඉංග්‍රීසි වචනයක්වත් කතා කළ නොහැකිය. මේ දත්ත අනුව අනාවරණය කෙරෙන්නේ බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 10%ක් විදේශවල උපන් උදවිය බවයි. බ්‍රිතාන්‍යයන්ගේ ඉංග්‍රීසි දැනුමට සාපේක්ෂව ලංකාවේ ජනතාවගේ තත්ත්වය ඉංග්‍රීසිය සම්බන්ධයෙන් අතිවිශිෂ්ටය. හැටේ දශකයේදී බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය තුළ භාවිත කළ ‘ෂෝට්හෑන්ඩ්’ ක්‍රමය පවා සකස් කොට තිබුණේ ලංකාවේ ලොරන්ස් පෙරේරා විසිනි. සුප්‍රකට ‘විජේසේකර යතුරු’ පුවරුව නිර්මාණය ගැන පසු කලක නන්දදේව විජේසේකර ලිඛිතව ප්‍රශංසා කළේ ලඝු ලේඛක පෙරේරාටය. ඔහුගේ නම ‘ඇල්.ඇල්. පෙරේරා’ ය. ‘ඇල්. ඇල්.’ යන අකුරු දෙක බොහෝ දෙනා විග්රහ කළේ ‘ලඝු ලේඛක’ පෙරේරා ලෙසය!
ලංකාවේ සිංහලය රාජ්‍ය භාෂාව නොකළේ නම් තවමත් සමස්ත රාජ්‍ය යන්ත්‍රණය මෙහෙයවන්නට වන්නේ ඉංග්‍රීසියෙනි. සිංහල රාජ්‍ය භාෂාව කරන්නට තිබුණ ප්‍රධාන බාධකය වූයේ සිංහලයෙන් ටයිප් රයිටර් සහ ලඝු ලේඛන ක්‍රමයක් නොවීමය. පාර්ලිමේන්තුවේ සිංහලයෙන් කතා කිරීමට අවස්ථාව සැලසුණේ සිංහල ටයිප් රයිටර් සහ ලඝු ලේඛන ක්‍රම හඳුන්වා දීමෙන් පසුවය. සිංහලය රාජ්‍ය භාෂාව වීම ඉංග්‍රීසි වැනි අන්තර්ජාතික භාෂාවක් පරිශීලනයට කොතරම් ප්‍රායෝගිකව බාධාවක් වූයේදැයි ප්‍රශ්නයක් පැනනඟින්නේ නිතැතිනි.
ලංකාව යටත්විජිතයක් වූ පසු කලෙක ලංකාවට ආ බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි විද්වතුන් ප්‍රකාශයට පත් කොට තිබුණේ බ්‍රිතාන්‍ය යටත්විජිත අතරින් හොඳින්ම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ මේ ‘සිලෝන් එකේ’ බවය.
එංගලන්තයේ ලක්ෂ දහයකට ඉංග්‍රීසි බැරි වුණත් ලංකාවේ නම් ඉංග්‍රීසි නැතුව ඉහළට යෑම ඉතා දුෂ්කර කටයුත්තකි. හොරණ ශ්‍රීපාලි නිර්මාතෘ විල්මට් ඒ. පෙරේරා මේ තත්ත්වය හොඳින් දැන, තම සිසු පරපුරට ඉංග්‍රීසි ඉගැන්වීමේ කටයුත්ත පවරා තිබුණේ ජී.ජී. ආරියරත්නටය. ලේක්හවුසියේ රෝහණ ආරියරත්න නම් වූ ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියා ඔහුගේ පුත්‍රයෙකි. ඩී.බී. ධනපාලගේ පුත් ඩී.බී. සුරනිමල මෙන්ම පසුකලෙක ලංකාවේ ‘Sun’ පත්‍රයේ ප්රවෘත්ති කර්තෘ වූ මහින්ද රණවීර වැන්නවුන් මෙන්ම ද්විභාෂා ලේඛකයන් වූ දයාසේන ගුණසිංහ, ගුණදාස ලියනගේ වැනි ඉංග්‍රීසියෙන් රටේ ඉහළටම ගිය පිරිසක් බිහි වූයේ ඉන් පසුවය.
එංගලන්තයේ කෙසේ වෙතත්, ලංකාවේ නම් ඉංග්‍රීසි උගැන්වීමටම උපන් ගුරෙක් වන්නේ ‘සක්විති’ ය. ඉංග්‍රීසි උගන්වන්නට ගොස් සක්විති හොඳම පාඩම ඉගැන්වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. ඉංග්‍රීසි ගුරුතුමාගේ බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුවටත් හොරෙන් සල්ලි තැන්පත් කළ ගැනුම්කරුවන්ට අන්තිමේදී තම මුදල් ලබා ගැනීමට උසාවි ගානේ රස්තියාදු වන්නට සිදු විය. ඉංග්‍රීසි සාක්ෂරතාවට වඩා මූල්‍ය සාක්ෂරභාවය උසස් බව ‘සක්විති’ ප්රායෝගිකවම ඔප්පු කොට හමාරය.
මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ කෘතියක් ඉංග්‍රීසි බැරි එංගලන්තවාසීන්ගේ අධ්‍යයනයට කදිමය. ‘නරියා සහ මිදිවැල’ නම් වූ එකී කෘතියේ ඇත්තේ ඉංග්‍රීසි භාෂාව නොදැනීම නිසා ලංකාවේ පුරවැසියකු සමාජයේ පත් වන අපහසුතාව ගැනය. ලංකාවේ ඉංග්‍රීසි බැරුව එසේ නම් ඉංග්‍රීසියෙන්ම වැඩ කරන එංගලන්තයේ ඉංග්‍රීසි බැරි ලක්ෂ 10ට දෙවියන්ගේම පිහිටය!
ලංකාවේ ඇති සිංහල පුවත්පත්වලට වඩා ඉංග්‍රීසි පුවත්පත්වල අලෙවිය ඉතා අඩු වුවත්, මෙරට ප්‍රධාන ව්‍යාපාර හා බහුජාතික සමාගම් දැන්වීම් පළ කරන්නේ ඉංග්‍රීසි පුවත්පත්වලය. තානාපති කාර්යාලවල දැන්වීම් මෙන්ම ඇතැම් රටවල ජාතික දින ගැන කෙරෙන පිටු ගණන් දැන්වීම් ප්‍රධාන වශයෙන් පළ කෙරෙන්නේ ඉංග්‍රීසි පුවත්පත්වල පමණි. ලංකාවේ මේ සිංහල, ඉංග්‍රීසි පුවත්පත් බොහෝ දෙනා සලකන්නේ ජාතික පුවත්පත් ලෙසය. ඒත් ලංකාවේ පළමු ඉංග්‍රීසි පුවත්පත ඇරඹුවේ එංගලන්තයේ සිට පැමිණි ජෝර්ජ් වෝල්ය. එක්දහස් අටසිය ගණන්වල ඇරඹූ ඒ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ‘OBSERVER’ ය. එහි යටින් එය හඳුන්වා තිබුණේ ‘The OBSERVER – Commercial Advertisor’ වශයෙනි.
එංගලන්තයේ ලක්ෂ 10කට ඉංග්‍රීසි බැරි වුණත්, ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත් අතරද තරගයක් වරින් වර ඉස්මතු වන අවස්ථා ඉතිහාසයේ තිබිණි. අලුතින් බිහි වූ පුවත්පත් ආයතනයක් තමන්ගේ සිංහල පුවත්පත් නමටම ‘NEWS’ කෑල්ල එක් කොට, ඉංග්‍රීසි පුවත්පතක් ඇරඹීය. ඒ සන්දියේ ලංකාවේ ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක මිල වූයේ රු. 30/=කි. ඒත් මේ කියන ඉංග්‍රීසි පුවත්පතේ මිල වූයේ රු. 20/=කි. ඒ වෙනුවෙන් එම පුවත්පත ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පත් මිල රු. 30/= ලෙසත් තමන්ගේ පුවත්පත රු. 20/= නිසා එම පුවත්පතක් සමඟ තමන්ගේ ඉංග්‍රීසි පුවත්පත මිල දී ගත්තොත් වැය වන්නේ රු. 50/=ක් පමණක් බවත් පෝස්ටරයක් අලවන ලදි.
පසුදිනම ලංකාවේ ‘ටයිම්ස්’ කොම්පැනිය පෝස්ටරයට පිළිතුරක් දී තිබුණේ මෙසේය: ‘No Package – No Horse deal’
මෙහි තේරුම වූයේ එංගලන්තයේ ටයිම්ස් පුවත්පතට වඩා මාස ගානකින් බාල ලංකාවේ ටයිම්ස් පුවත්පත අලෙවියට කිසිදු පැකේජයක් නැති බවයි. එහි ‘No Horse deal’ යනුවෙන් සඳහන් වූයේ එකී නව ඉරිදා ඉංග්‍රීසි පුවත්පතේ හිමිකරුවන් වූයේ රේස් කොළ ව්‍යාපාරයක නියුතු වූවන් නිසාය.
එංගලන්තයට කියන්නේ ‘හිරු නොබසින අධිරාජ්‍යය’ කියාය. එහෙත් ලෝකෙටම ඉංග්‍රීසිය ඉගැන්වූ හිරු නොබසින අධිරාජ්‍යයේ ඇත්තන් ලක්ෂ දහයකට ඉංග්‍රීසි බැරි වීම සිහි ගැන්වූයේ පරණ ගමේ ගොඩේ සිංහල කියමනකි:
එංගලන්තයේ සුද්දකු පාරක හැරී යන විට ගැමියකුට ඒ පාර වසා ඇති බවට ඉංග්‍රීසියෙන් කීමට අවශ්‍ය විය. සුද්දාගේ ඉදිරියට පැන සුද්දා නැවැත්වූ ගැමියා සුද්දාට මෙසේ පැවසීය: ‘Where going – This roat No’ (වෙයාර් ගොයින් – දිස් රෝට් නෝ!)
ඒත් දැන් ප්රශ්නය වී ඇත්තේ මේ වදන් ටික කියන්නට වත් නොහැකි ලක්ෂ දහයක පිරිසක් එංගලන්තයේ දැන් ජීවත් වීමය.
අවසානයේ අපේ මතකයට එන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ගීතයකි:
“එංගලන්තෙ එහෙම වුණාට
ලංකාවේ එහෙම වෙන්නේ නෑ…”

1834 පෙබරවාරි 04 වන දින ලංකාවේ ප්‍රකාශයට පත් කළ පළමු The Observer පුවත්පත