සාහිත්‍ය චක්‍රවර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා ලියූ ‘විජයබා කොල්ලය’ නවකතාව විෂය කොටගෙන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් එනමින්ම නිමවන ලද සිනමාපටය සිරිලක සිනමා ප්‍රේමි ජනයාගේ නොමඳ ප්‍රතිචාර ලැබුවේ ප්රමුඛ චරිත නිරූපණය සඳහා සුදුසුම හා උචිතම තිදෙනකු එක්කර ගැනීම ද නිසා. මේ තිදෙනා එනම් හේමාල් රණසිංහ, අශාන් ඩයස් හා සෙනාලි ෆොන්සේකා සිනමාපටයේ ජවය හා රසාලිප්ත තීව්ර කිරීම වෙනුවෙන් ලබා දුන් දායකත්වය සෙසු අනුශාංගික අංග ඉක්මවන්නට ද සමත් වූ බව එම ප්‍රතිචාර සඳහන් කළා. මෙයින් හේමාල් රණසිංහ 2024 සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානයට නිර්දේශ වූ බව අමතක කළ යුතු නැහැ. ඒ බිමල් ජයකොඩි හා කමල් අද්දරආරච්චි සමඟ.
එතෙක් සරල විනෝදකාමී සිනමාවේ සුලබ පෙම්වතාගේ හා විරුවාගේ චරිතය නිරූපණය කරමින් සිටි හේමාල් මෙසේ සිය කුසලතා අවදි කරලන්නේ තරු ගුණය පමණක්ම උද්දීපනය නොකරමින්. සියුම් හා ගැඹුරු රූපණ කුසලතා සහිත තුරුණු නළුවන් අවැසිම මොහොතකයි මෙසේ හේමාල්ගේ අභිනව සපැමිණීම සිදුවන්නේ.
‘විජයබා කොල්ලය’ ඇතුළු අවස්ථා ද්විත්වයකදීම අතීත විරුවා පිළිබිඹු කරන්නට හේමාල් දැක්වූ කුසලතා ඉඟි කරන්නේ එබඳු චරිත ඔහුට කිසිසේත්ම දුරවබෝධ නොවන බවයි. අනෙක් සිනමාපටය වන ‘ක්ෂීර සාගරය කැලඹිණ’ හිදී අතීත කල්පිත සමයක මහා අධිරාජ්‍යයකු හා සටන් වැදුණු තරුණ විරුවකුගේ චරිතය ඔහු නිරූපණය කරන්නේ ‘විජයබා කොල්ලය’ නිසා ලද යහපත් ප්‍රතිචාර යාවත්කාලීන කරමින්.
මෙම නැඹුරුවේ නවතම අවස්ථාව නොබෝ දිනකින් උදා වනු ඇති. මේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘දේවි කුසුමාසන ’ සිනමාපටය. අදින් සියවස් සතරකට පමණ පෙර පැනනැඟුණු සිරිලක පාලන බලය හා සම්බන්ධ සිදුවීම් ද, චරිත ද රැගත් ‘දේවි කුසුමාසන’ සමඟ හේමාල්ගේ සමත්කම් තවත් වටයකින් ප්‍රකට වනු ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. මන්ද මේ වන විට ඔහු සිනමාව රසයෙන් සේම ගුණයෙන් ද පොහොසත් කරනු පිණිස උත්සුක වන සිනමාකරුවන් කිහිප දෙනෙකුගේම පළමු තෝරා ගැනීමක් බවට පත්ව ඇති නිසා. මොවුන’තර උදයකාන්ත වර්ණසූරිය, ප්‍රියන්ත කොළඹගේ, චන්න දේශප්‍රිය, අරුණ ජයවර්ධන, සමීර නාඔටුන්න ද සිටිනවා. මෙයින් හැඟවෙන්නේ ඔහු මෙසමයේ සිරිලක සිනමා තාරකා අම්බරයේ පෑයූ වඩා භාග්‍යවන්ත තාරකාවක්ය යන්න.
අනෙක් අතට යම් අභාග්‍යයක් ද ඔහු පසුපස ලුහුබඳින අවස්ථා දැක ගන්නට පුළුවන්. මෙබඳු අභාග්‍යයක් උරුම කර ගන්නේ හේමාල් පමණක්ම නොවෙයි. නළු නිළියන් සේම සිනමාකරුවන් ප්රමුඛ වෙනත් සිනමා ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් ද මෙහි කොටස්කරුවන්. මෙය සිදුවන්නේ නිර්මිත සිනමාපට නිසි කලට ප්‍රදර්ශනය නොවීම නිසා. මේ දිනවල තිරගත කෙරෙන ප්‍රදීප් ධර්මදාසගේ පළමු සිනමාපටය වන ‘අයිස් ක්‍රීම්’ එක් නිදසුනක්. මෙහි එන හේමාල් වසර හය හතකට පෙර සිටි කෙළිලොල් තරුණයා සිහිගන්වනවා. එනමුදු කිසියම් විවෘත හා නිදහස් රංගනයක් මෙහිලා ඔහු වෙතින් දැකගන්නට පුළුවන්. ‘ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ, ආශාවරී, සෙකන්ඩ් ෂෝ, සිහිනයකි ආදරේ’ වැනි සිනමාපට ඔස්සේ ඔහුගේ එබඳු රංගන විලාසයක් ඉස්මතු නොවූ බව ද සඳහන් කළ යුතු වනවා. සෘජු අනුකාරක රසාලිප්ත සිනමාපට වෙනුවෙන් ඔහුගේ දායකත්වය සිනමාකරුවන් හා නිපැයුම්කරුවන් දිරිගන්වන සුලු බවද මෙහිලා සඳහන් කළ යුතු තවත් කරුණක්. ඉහත සිනමාපට වෙතින් සේම ඔහුගේ මුල්කාලීන රංගනයක් ගෙන ආ ‘ප්‍රවේගය’ද මෙකරුණ සහේතුක කරනවා.
හේමාල්ගේ වත්මනයේ පෙරට ඒම පසුපස තිබෙන සාධක දෙකක් මෙහිලා දැක්වීම වැදගත්. පළමුවැන්න ඔහු සතු ගැඹුරු හඬ. සෙසු නළු නිළියන් අබියස මේ හඬ හසුරුවා ගැනීම ඔහු මත පැටවී ඇති වගකීමක් බවයි පෙනී යන්නේ. මන්ද එසේ හසුරුවා ගැනීමක් සාක්ෂාත් කර නොගතහොත් ඔහුගේ චරිතය අතිශයෝක්තියෙන් සනිටුහන් විය හැකි නිසා.
දෙවන සාධකය වන්නේ පෙර පරපුරේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය සේම ජීවන් කුමාරතුංග සේ නර්තනයට හා සටනට නොපැකිළීම. සිනමා තරුවක් සේ දිගු කලක් සිනමා තාරකා අම්බරයේ වැජඹීමට නම් මෙවැනි සමත්කම් වගා කර ගැනීම අත්‍යවශ්‍ය වනවා. මේ සරල විනෝදකාමී සිනමාවට පමණක්ම ලඝු නොවිය යුතු සමත්කම්.
හේමාල් අබියස ඇති අභියෝගයක් පිළිබඳව මෙහිදී සඳහන් කිරීමට පැකිළිය යුතු නැහැ. එනම් සිනමාව කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක ලකුණු සහිතව භාවිත කරලීමට සූදානම් තරුණ සිනමාකරුවන්ගේ තෝරා ගැනීමක් බවට තවදුරටත් ලක්වීම. ජනප්‍රිය නළුවාගේ සිට හොඳම නළුවා දක්වා යාමට මෙබඳු අත්දැකීම් නිසැකවම ඉවහල් වනවා.