Home » මම කිසිම දෙයකින් කලබල වන කෙනෙක් නොවෙයි

මම කිසිම දෙයකින් කලබල වන කෙනෙක් නොවෙයි

සායි පල්ලවී

by thanushika
March 23, 2025 12:30 am 0 comment
 පවිත්‍රා රූපසිංහ

සායි පල්ලවී, නිතේෂ් තිවාරිගේ රාමායණය චිත්‍රපටයේ දැවැන්ත භූමිකාවක් රඟ දක්වන්නට දැන් පියවර ගෙන තිබෙනවා. ඒ රන්බීර් කපූර් සමඟ යි. රාමායණය චිත්‍රපටයේ නිෂ්පාදකයින් මෑතකදී නිවේදනය කර තිබෙන්නේ, මෙම චිත්‍රපටය කොටස් දෙකකින් තිරගත වන බවයි. පළමු කොටස 2026 දී තිරගත වන අතර අනෙක් කොටස 2027 දී සිනමාහල්වල තිරගත වනු ඇති.

දෙතිස්හැවිරිදි සායි පල්ලවී ෆිල්ම ්ෆෙයාර් සම්මාන හයක් දිනා ඇති සිනමාලෝලීන් අතර දිදුළන තාරුකාවකි. ඇය තෙළිඟු භාෂා ‘සායි’ චිත්‍රපටය තුළින් හොඳම නිළිය සම්මානයට හිමිකම් කියා ඇත. දමිළ සහ මලයාලම් චිත්‍රපට සඳහා ද පල්ලවී හොඳම නිළියට හිමි සම්මානය ලබා තිබේ. චිත්‍රපටය රූගත කිරීම් අතරතුර ලද විරාමයෙන් ඇය සිනමාලෝලීන් වෙනුවෙන් සිය අදහස් බෙදා ගත්තේ මෙසේයි.

දෙමළ, තෙළිඟු යන භාෂාවන් හරහා ඔබ චරිත ජීවමාන කරනවා. ඔබ ඒ ගැන සතුටු වනවාද?

භාෂාවන් ගණනාවක් සමඟ කටයුතු කිරීම මම උපායමාර්ගික පියවරක් විදියට ගන්නේ නැහැ. චිත්‍රපටය කුමන භාෂාවකට අයත් වුවත්, මගේ කැමැත්ත වන්නේ සෑමවිටම නිවැරදි තිර රචනය තෝරා ගැනීමයි. මගේ චිත්‍රපට ගමන ඉන්ද්‍රජාලිකයි. මම විශ්වාස කරනවා, මට චිත්‍රපටයක් අවශ්‍ය තරමටම, චිත්‍රපටයටත් මා අවශ්‍යයි කියලා. අපි හැමදෙයක්ම උපායමාර්ගිකව හිතලා කරනවා නම්, රඟපෑමේ ප්‍රීතිය නැතිවෙලා යන්න පුළුවන්. ඇත්තටම මගේ ඔළුව තුළ මගේ ප්‍රේක්ෂකයින් ජීවත් වෙනවා. තිරපිටපත් පමණයි මාව ඒ ඒ තැන් තැන්වලට ගෙනියන්නෙ.

ඉතා සංකීර්ණ චරිත ඔබ රඟ දක්වනවා. ‘ගාර්ගි’ චිත්‍රපටියේ වගේම, ඔබ මෑතකදී නිකුත් කරන ලද විරාටා, පර්වම් සහ ශ්යාම් සිංහ රෝයි හෝ ලව් ස්ටෝරි සහ ඕර් ඉරාවු (පාවා කතයිගල්) හි ඔබගේ භූමිකාවන් තීව්‍ර චරිත නේද?

රූගත කිරීම් අවසන් කළාට පස්සේ මට ඒ චරිතවල බර ගතිය දැනෙනවා. කාලයත් සමඟ එය ටිකින් ටික මගෙන් පහව යනවා. නමුත් මම දැනුම්වත්ව ඒ චරිතය මගෙන් ඉවතට තල්ලු කරන්නේ නැහැ. චරිතයට ඇයගේම වේගයකින් ඉවත් වී යාමට ඉඩදී මම බලා ඉන්නවා. චිත්‍රපටයේ යම් චරිතයකට පිවිසීමට මට යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම ඒ චරිතයට මා තුළින් පිටව යාමටත් යම් කාලයක් ගත වෙනවා.

ඔබ මා ඉදිරියේ සැහැල්ලුවෙන් වාඩි වී සිටිනවා. ඒත් ඔබ දන්නවද… ඔබ සිනමාවේ දිදුළන තාරකාවක් බව ?

මා වටේ සිටින්නේ මං දිළිසෙන තාරකාවක් කියලා නොසිතන අය. මම එයාලගෙ ඇස්වල සායි පල්ලවි විතරයි. මගේ සිනමා දිවිය ආරම්භ වීමට පෙර, මා සිටි පුද්ගලයා ලෙස මට සෑමවිටම ඔවුන් සලකනවා. ඒනිසා කවදාකවත් නළුකම මගේ ඔළුවට එන්නෙ නැහැ. ඇත්තටම, මම ප්‍රේක්ෂකයින්ගේ ආදරයෙන් යටපත් වෙලා ඉන්නවා තමයි. ඒත් කිසිම විටෙක මම මා ගැන අමතර විශේෂ හැඟීමක් ඇති කිරීමට එය හේතුවක් කර ගන්නේ නැහැ.

චිත්‍රපටයකදී ඔබ සතුටට පත් වන විට, එය විනාශයක් සඳහා පෙර නිමිත්තක් බව අපට සිතෙනවා. එය එහෙම නේද?

තීව්‍ර චරිත සඳහා මට යමක් කරන්නට තිබෙනවා. මම රඟපාන්න තෝරා ගන්නේ මම නරඹන්න කැමති චිත්‍රපටයි. මම මේ වන විට එවැනි චිත්‍රපට රාශියක් තෝරාගෙන තිබෙනවා. නමුත් දැන්, මට ප්‍රීතිමත් චිත්‍රපට සඳහා ආශාවක් ඇවිත් තිබෙනවා. මම රූගත කිරීම් නොකරන විට මට මහා බරක් සහ මානසික අවපීඩනයක් දැනෙනවා. ඒත් මම රඟපාන කොට ඇත්තටම මම සතුටින් සිටින්නට ඕනෙ. එතැන දී මම පීඩනයෙන් සිටින අයෙක් නොවෙන්නට ඕනෙ.

ඔබ චිත්‍රපට තෝරාගන්නේ සහජ බුද්ධියෙන් බව කියනවා. ඔබ තිරපිටපත් කියවන්නේ කොහොමද?

දීර්ඝ විස්තර අහගෙන ඉන්නවාට වඩා, මම තිරපිටපත් කියවන්න ආසයි. ඇත්තටම මම එය කියවන එක හොඳයි. ඒ වෙලාවට මගේ ඔළුවේ චිත්‍රපටය මවන ලෝකය ගොඩනඟා ගැනීමට මට කාලය ගත කළ හැකිවෙනවා. එය මට වාසියක්.

කෙනෙක් එය විස්තර කරද්දී සමහර විට ඔවුන් එය වේගයෙන් කියන්න පුළුවන්. ඒ වෙලාවලදී බොහෝ දේවල් මඟහැරී යන්න පුළුවන්. මට ඒ ගැන බයයි. කොහොම වුණත්, මම චිත්‍රපටයේ මගේ භූමිකාව ගැන නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා සහ සංවාද සිදු කරනවා. විශේෂයෙන්ම මම රඟපාන චරිතය මගේ පෞරුෂයට නොගැළපේ නම් මම දීර්ඝව ඒ ගැන සාකච්ඡා කරනවා.

ඇත්තටම මම, මා කවදාවත් නොදන්නා කෙනෙක්ගේ ජීවන භූමිකාවක් රඟ දක්වන්නේ කොහොමද? මාගේ හැදී වැඩීම මා නැමති පුද්ගලයා තනා තිබෙනවා. වෙන කෙනෙක්ව ඒ කෙනාට සමානව රඟ දැක්වීම සුළුපටු නැහැ. එවිට මම ඉදිරිපත් කරන චරිත බොහෝ අරගලවලට භාජනය වනවා. ඉතින් මම කැමතියි, මගේ චරිතය වන ඒ කෙනාව හැඩගැහිලා තියෙන්නේ කොහොමද කියලා හොඳින් දැනගන්න. මම රඟපෑ බොහෝ චරිතයන් අද්විතීයයි. එහි ගෞරවය හිමිවන්නේ, සිනමාකරුවාට සහ පිටපත් රචකයාටයි. එවැනි අද්විතීය නායිකාවකගේ චරිත නිරූපණය කිරීමට ලැබීම මගේ වාසනාව කියා මා සිතනවා.

‘ද කාශ්මීර් ෆයිල්ස්’ චිත්‍රපටය ගැන කතා කරමින් ආගමේ නාමයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිය කනස්සල්ල ප්‍රකාශ කිරීම හේතුවෙන් සායි පල්ලවී… ඔබ දැඩි විවේචනයට ලක් වුණා. ඔබගේ වසර හතක වෘත්තීය ජීවිතය අපට පෙන්නුම් කර ඇත්තේ ඔබ සෘජුව කතා කරන අයෙක් බවයි. ඒ ගැන අපට යමක් කියන්න?

මම කිසිම දෙයකින් කලබල වන කෙනෙක් නොවෙයි. ඒ වගේම මම කිසිදු ඛේදවාචකයක් අවතක්සේරු කරන්නේ නැහැ. හැමවිටම මම කතා කරන්නේ මම විශ්වාස කරන දේ විතරයි. මගේ අදහස් කාට හරි කරදරයක් නම්, මම හැම වෙලාවකම සමාව ඉල්ලන්න සතුටින් ඉදිරිපත් වෙනවා. අපි පොදුවේ වැඩ කටයුතු කරගෙන යනවා. නමුත්, මම මගේ අදහස් බෙදා ගන්නා විට, එය පෞද්ගලික ප්‍රකාශනයන්. ඒවා තුළින් මම කාගෙවත් පැත්තක් ගන්නවත්, මිනිස්සු බෙදන්නවත් කටයුතු කරන්නේ නැහැ. ඔයා හිතන්න, මම කවදාවත් කිසිම කෙනෙක් කියන දේවල් නවත්තන්න යන්නේ නැහැ. මාතෘකාව මා නොදන්නා දෙයක් නම්, මම නිහඬව ඉන්නවා. කොහොම වුණත්, මම මතයක් ඉදිරිපත් කරන විට, මම ඒ ගැන ප්‍රමාණවත් තරම් හිතා බලනවා. ඒ බව මට ඔබට සහතික වශයෙන්ම කිව හැකියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division