Home » සොක්‍රටීස්ගෙන් සේපියන්ස්ට කනේ පහරක්!

සොක්‍රටීස්ගෙන් සේපියන්ස්ට කනේ පහරක්!

by sachintha
March 23, 2025 12:30 am 0 comment

අතීතයේ මිහිතලයේ ජීවත්ව සිටි මේ මිනිසා ‘සොක්‍රටීස්’ නැති නම් ග්‍රීක් බසින් ‘සොක්‍රාටිස්’ නමින් හැඳින්වුණ ශ්‍රේෂ්ඨයා ක්‍රි.ව. 470-468 ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට ඊසාන දෙසින් පිහිටි ‘ඇලොපිකි’ නම් ග්‍රාමයේ ජීවත් විය. සොක්‍රටීස් වූ කලි, බටහිර ශිෂ්ටාචාරයේ අවිවාදිත බුද්ධිමය පියා සහ ඉතිහාසයේ වඩාත්ම ප්‍රතිඵලදායක දාර්ශනිකයකු මෙන්ම චින්තකයෙකි.

“ග්‍රීසිය කියන්නේ මහා පින් බිමක්ය; සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි මන නන්දනීය වූ ආශ්චර්යවත් මහා ප්‍රාඥ, ශ්‍රේෂ්ඨ සේපියන්ස්ලා පහළ වී, මේ පෘථිවි ග්‍රහලෝකයේ සමස්ත මානව ශිෂ්ටාචාරයම ඉදිරියට ගෙනා අසමසම වූ ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන පින්කෙතක්ය,” යනුවෙන් සේපියන්ස් ගොයියා පසඟ පිහිටුවා ග්‍රීසිය දෙසට හැරී නමස්කාර කළේය.

එකෙණෙහිම සොක්‍රටීස් විසින් සේපියන්ස් ගොයියාගේ කන හරහා ‘පටාස්’ ගා දුන් කනේ පාරත්, තමාව වට කරගත් ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් විසින් දුන් පාපහරවලුත් නිසා සේපියන්ස් ගොයියා මහත් අවුලකට පත්ව, උකටලීව වැදහොත්තේය.

“ඈ ඕයි, තමුසෙට පිස්සුද අපිව අදහන්නෙ? අදහනව නං ඔය ඕන තරම් අය ඉන්නෙ? කළා වගේම ගිහින් අදහ-අදහ ඉන්නවකො…” යැයි සොක්‍රටීස් පැවසුවේය.

සේපියන්ස් මේ දිනවල පුරාණ ග්‍රීසියත්, එහි මහා ප්‍රාඥ දාර්ශනිකයනුත්, ඔවුන්ගේ සිතිවිලිත් හොයා දඟලන හෙයින්, ඒ මනෝරාජික වූත් සන්තුෂ්ටිමත් වූත් සිතිවිලි නිසා ලියන මේසය මතම වැටුණු කෙටි නින්දෙන් පිබිදුණේය.

සොක්‍රටීස්ගේ ජීවන චරිතය හරිම අපූරුය. එය, සේපියන්ස්ලාගේ දේව විශ්වාස ඇදහිලිවලට වඩා, උත්සාහය, ප්‍රඥාව, විනය, තර්කනය මඟින් තමන් අදහන හෝ විශ්වාස කරන අදහසට ඔබ්බෙන් වූ වඩාත් සාධාරණ අදහස මතු කරගැනීම යන කාරණා විෂයයෙහි, මනුෂ්‍යයකු ලෙස සිය බුද්ධිමය ඇස මෙහෙයවන ලෙස බටහිර ජනසමාජයටම සිය ආත්මයෙන්ම පණිවිඩයක් දුන් අපදානයකි.

සොක්‍රටීස්ගේ දාර්ශනික සිරුර සහ වාස්තවික ශරීරය යන දෙක දෙකක්ය. සේපියන්ස් ගොයියාට ඒවා අදාළ නැතිය. ඔහු මහා ප්‍රාඥයන්ට, ආගමික ශාස්තෘවරුන්ට දක්වන්නේ ශ්‍රද්ධා සම්පන්න ගෞරව බහුමානයකිය. ඔවුන්ගේ දර්ශනයේ කියවෙන්නේ මොනවා වුණත්, පානක් පත්තු කර තමාගේ එක එක ප්‍රශ්න ගැටලුවලට විසඳුම් දෙන මෙන් ඉල්ලා සිටීම තවමත් අත්හැරී නැත.

සේපියන්ස් ගොයියාට උරුම වූ ලාංකේය බෞද්ධ ආගමික සංකල්පයේ පතුලටම ගමන් කර ඇති නිසා, උදේ සවස බුදුන්ට මල් පහන් පුදා ගාථා කියමින් අතිශය ශ්‍රද්ධාභක්තියෙන් අදහන ඇදහිල්ල මෝස්තරයක් වී තිබේ. එය නැවැත්වුව හොත් ජීවිතයේ කරදර බාධක වැඩි වී මහා විනාශයක් වේයැයි යටිහිතේ දැල්වෙන සිතිවිල්ල නිසාත්, නිවන් දැකීමට නම් සිය ශාස්තෘවරයාණන් ගැන වූ නොසැලෙන මහා ශ්‍රද්ධා භක්තිය රැකගත යුතුය යන මතවාදයේ තරව එල්බගෙන ඇති නිසාත් ඒවා අත්හැරීමට ඇත්තේ පරාණ බියකිය.

එපමණක්ද නොවේය. තමාගේ වූ සියලු දුක් කරදර සියලු දේ වෙනුවෙන් හන්දියක් හන්දියක් ගානේ වූ කතරගම දේවාල ශාඛාවන් හා හූනියං, කඩවර, භද්‍රකාලී, පත්තිනි ආදි හැටහුටහමාරක් දෙවිදේවතාවුන්ගේ පරස්පර විරෝධි ආනුභාවයන්ගේ පිහිට ආරක්ෂාව පතා කෙම්පහන් කිරීමේ පරිචයක්ද ලක්වැසියකු ලෙස තිබේ.

ඒවා සියල්ල මහා භක්ත්‍යාදරයකින් සිදු කරමින්, තව තවත් අපේ මහා උතුම් සංස්කෘතික දායාදයැයි සලකමින් අර බාර මේ බාර, කොළ අතු එල්ලීම්, නුග ගස්වල වෘක්ෂ දේවතාවුන් වැඳ පිඳීම් ආදි වත්පිළිවෙත් පුදපූජාවන්හි නිමක් නැත. ‘මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම’ යනුවෙන් විමලරත්න කුමාරගම කවියා ගැමියන්ගේ ඇදහිලි ගැන දැක්වූ සහකම්පනමය අදහස දඩමීමා කරගෙන ඕනෑ එකක් අදහා, පන්සිල් සමාදන් වී, ‘චතුරාර්ය සත්‍යය අවබෝධ නොවූවත් බුදුන්ට පහන තිබ්බ නිසා මං බෞද්ධයෙක්ය,’ යන ආත්ම වංචාවෙන් කල් ගත කළ සේපියන්ස් ගොයියාට අත්හළ යුත්තේ මොනවාද, තබාගත යුත්තේ මොනවාද යන්න ගැනත් ඇත්තේ උභතෝකෝටිකයකි.

හීනෙන් හෝ සොක්‍රටීස් අදහන්න යෑමේදී සොක්‍රටීස් එල්ල කළ කනේ පහර වැදුණේ සේපියන්ස්ගේ ප්‍රඥාව නමැති ඔළුගෙඩියටමය. ඒ නිසා දැන් සොක්‍රටීස් සමඟ ඇයිහොඳැයිය අතේ දුරින් පවත්වාගැනීම පිණිස, ඔහු අදහන්නට යෑමෙන් වැළකීමත් මහෝපකාරි වෙතැයි සිතේය.

මක් නිසාද යත්: යමක් දේවත්වයෙන් හෝ ශ්‍රද්ධා භක්තියෙන් අදහන තැනදීම, සිය හෝමෝ සේපියන්ස් දියුණු ප්‍රඥා බුද්ධි මහිමය බංකොලොත් වී, ගෝත්‍රික යුගයට ආපසු යන්නේය. එවිට ඒ දර්ශනයේ සංකල්ප සමඟ ඥාන ගවේෂීව ඇනකොටාගනිමින්, ප්‍රබුද්ධ විසංවාදයක් ගොඩනඟාගනිමින් දාර්ශනික රසය ආස්වාද කරමින් පරිඥානය කරා යෑමෙන් වළකින්නේය.

මින් අදහස් වන්නේ, ලොව කිසිම මිනිසකුට ගෞරව නොකර සහකම්පනයක් නැති, මෙලෝ රහක් නැත්තකු ලෙස ජීවත් විය යුතුය කියා නොවේය. ලොව ඕනෑම මනුෂ්‍යයකුට, ස්ත්‍රී පුරුෂ, ළමා වැඩිහිටි සහ ලිංග භේදයෙන් තොරව ඔවුනොවුන්ගේ පෞරුෂ ගරුත්වය සහ පුද්ගල ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම දියුණු මානව සමාජවල, සමාජ ආශ්‍රයේ පදනමයි.

පුරාණ ග්‍රීසියේ වූ දේවාගමික සංකල්ප සමඟ ගොඩනැඟුණු ජනසමාජය තුළදීම ආගමික සංකල්පවලින් පරිබාහිරව සිය ප්‍රඥාව සිසාරා යන්නට සොක්‍රටීස්ට විශේෂ අවශ්‍යතාවක් නම් තිබුණේ නැත. එහෙත්, විවිධ වෘත්තීන් ඇසුරෙන් ලත් ජීවන පරිඥානයත්, අධ්‍යාපනය ඔස්සේ එක්රැස් කරගත් ගණිතය, සෞන්දර්යය සහ දාර්ශනිකත්වය පිළිබඳ අදහසුත් නිසා දැනුම යනු කවරක්ද? යන්න පිළිබඳ ඔහු තුළ ඇති වූයේ පුදුමාකාර දෙගිඩියාවක් බව පෙනේ. සොක්‍රටීස්ගේ සමකාලීන අධ්‍යාපනයේදී, ප්‍රශ්න ඇසීම මෝඩකමේ සලකුණක් ලෙසටත්, බුද්ධිමත් ඕනෑම දෙයක් පැන නොවිමසාම අවබෝධ කරගත හැකි ලෙසටත් මතවාදයක් තිබූ බව පෙනේ.

එහෙත් සොක්‍රටීස් එය පිළිගත්තේම නැති සෙයකි. හේ පටන් ගත් මොහොතේ සිටම ප්‍රශ්න කරමින්, ලැබෙන පිළිතුරු හරහා අදාළ ප්‍රස්තුතයේ ගැඹුරටම ගියේය. එහෙත් සමකාලීනයන් අතර, ඔහු බුද්ධිමත්, ප්‍රඥාවන්තයකු ලෙස හැඳින්විණි. කල් යත්ම ඔහු දන්නා හඳුනන්නෝ ඔහු ජීවත්ව සිටි ඇතෑන්ස් නුවරම සිටින බුද්ධිමත් මිනිසා සොක්‍රටීස් යැයිද කියන්නට වූහ. ඊට හේතු වූයේ යමක් ගැන ඔහු මතු කරන ප්‍රශ්න සහ ප්‍රශ්න ගොඩනඟන අපූරු රීතිය නිසා යම් අදහසක් දරන්නා ක්ෂණිකව තමා එකී අදහස කෙරෙහි දරා සිටි ආස්ථානයෙන් විතැන් වන්නට සිදු වූ නිසාය.

එහෙත්, තමන්ට මහා දැනුමැත්තකු, ප්‍රාඥයකු, බුද්ධිමතකු ලෙස හඳුන්වනවාට එරෙහිව හැම විටම ඔහු ඉතා නොකැමැත්තෙන් ප්‍රතිචාර දැක්වීය. ‘මා දන්නා කිසිම දෙයක් නැත,’ යි සැම විටම ඔහු පැවසූ අතර, ‘ඒ නිසාම තමයි මම ප්‍රශ්න අහල දැනගන්න උත්සාහ කරන්නේ,’ යන්න ඔහු දැරූ අදහස විය.

ඔහුගේ සත්‍ය ගවේෂණය උදෙසා වූ ප්‍රශ්න කිරීමේ තාක්ෂණික රීතිය ‘සොක්‍රටීස්ගේ ඇලන්කස්’ ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලැබේ. එය පියවර තුනක් ඔස්සේ නිශ්චිත ඉලක්කයක් කරා කරනු ලබන රේඛීය ප්‍රශ්න කිරීමකි.

ඒ ගැන වැඩිදුරටත්, පසුගිය ලිපියේදී කතා කළ, බොරු කීම සහ සොරකම් කිරීම යන කාරණා යුක්ති සහගතද අයුක්ති සහගතද ලෙස, සිය ගෝලයාගෙන් සොක්‍රටීස් විසින් කරන ලද ප්‍රශ්න කිරීමේ න්‍යාය ද විමසා බැලිය හැකිය.

නිදසුනක් වශයෙන්: යුක්තිය හෝ ගුණය (සීලය) වැනි ආචාරධර්ම සංකල්පවල සැබෑ ස්වභාවය කවරක්ද? ඒ පිළිබඳ අප තුළ පවතින නිර්වචනය කුමක්ද? සැබවින්ම ඒ නිර්වචනයත් එහි සැබෑ ස්වරූපයත් අතර සම්බන්ධතාව, පරස්පර විරෝධතා කවරේද යන්න ගැන විවරණයක් කර ගනු වස්, තමා දරන ආස්ථානයෙන් ගලවා, ආත්මීය හෙවත් ‘සබ්ජෙක්ටිව්’ නොවී, විෂය මූලිකව හෙවත් ‘ඔබ්ජෙක්ටිව්’ විදියට නිශ්චිත උදාහරණ සමඟ සසඳමින් කෙරෙන සියුම් ප්‍රශ්න කිරීම මේ පැන විමසුම් තාක්ෂණයට අයත්ය.

සොක්‍රටීස්ගේ මැදිහත්කරු නිබන්ධනයක් හෙවත් යම් ප්‍රකට පිළිගත් අදහසක් හෝ මතවාදයක් ප්‍රකාශ කරයි. උදාහරණයක් ලෙස: ‘ධෛර්යය යනු ආත්මයේ විඳදරාගැනීමයි’.

සොක්‍රටීස් එකී ප්‍රකාශය අසත්‍යද යන්න තීරණය කරන අතර ප්‍රතික්ෂේප කිරීම ඉලක්ක කරයි.

සොක්‍රටීස් ඔහුගේ මැදිහත්කරුගේ එකඟතාව තවදුරටත් වැඩිකර ගැනීමට ඉඩ ප්‍රස්තාව ඇති කරයි. උදාහරණයක් ලෙස: ‘ධෛර්යය හොඳ දෙයක්’ සහ ‘නූගත් විඳදරාගැනීම හොඳ දෙයක් නොවේ’. සොක්‍රටීස් තෝරාගැනීමට පිළිතුරු දෙකක්ම කටටම දී තිබේ.

පසුව සොක්‍රටීස් තර්ක කරයි, සහ මැදිහත්කරු එකඟ වේ, මේ වැඩිදුර ඉඩප්‍රස්තා මුල් නිබන්ධයට පටහැණි බව ගම්‍ය කරයි; මේ අවස්ථාවේදී, එය මඟ පෙන්වයි: “ධෛර්යය යනු ආත්මයේ විඳදරාගැනීම නොවේ.” එවිට සොක්‍රටීස් කියා සිටින්නේ ඔහු, තම මැදිහත්කරුගේ නිබන්ධය අසත්‍ය බවත්, එහි නිෂේධනය සත්‍ය බවත් පෙන්වා දුන් බවයි.

බොහෝ විට මේ මතු කිරීම නිසා සමහරු කිපු‍ණෝය. ඔවුන් දුටුවේ ඔවුන්ගේ අදහසට එරෙහිව සොක්‍රටීස් කටයුතු කළ බවයි. එහෙත් සොක්‍රටීස්ට එවැනි ක්‍රෑර ආශාවක් හෝ සිතක් තිබුණේ නැත. ඔහු කළේ විවිධ මුල්බැසගත් අදහස්, මතවාදවල සත්‍යාසත්‍යතාව විෂය මූලිකවම පරීක්ෂා කිරීමේ කාර්යයයි.

කෙසේ වෙතත්, එකී ප්‍රජාතන්ත්‍රවාදි ජනසමාජය විසින් ඒකමතිකව සොක්‍රටීස් ප්‍රතික්ෂේප කර මරාදමන්නේද සිය වටිනාකම්, ප්‍රෞඪ ඉතිහාසය මත පදනම් සංකල්ප සියල්ල මේ මිනිහා පුපුරවා හරින්නේද ජාති භ්‍රෂ්ඨයකු ලෙස සැලකීමෙනි; සොක්‍රටීස් මරාදමන්නේම ඇතෑන්ස්හි සියලු පුරවැසි ඒකමතික නියෝජනයෙනි.

මේ සොක්‍රටීස්ගේ පැන විමසුම් තාක්ෂණික ක්‍රමවේදය, හුදු සංවාද අන්තර්ගතයට පමණක්ම සීමා නොවන්නකි. එය විවිධාකාර ක්ෂේත්‍රවල ඇදහිය නොහැකි තරම් ප්‍රතිඵල ගෙන දෙන තරමේ ප්‍රයෝජනවත් වන්නකි.

15 සිට17 වැනි සියවස්හි යුරෝපයේ සිදු වූ සංස්කෘතික, කලාත්මක, දේශපාලනික සහ ආර්ථික යන පුනරුද සමයේදී, සොක්‍රටීස්ගේ මේ පැන විමසුම් ක්‍රමවේදය අතිශය ජනප්‍රිය වී තිබිණි. එය වෛද්‍ය විද්‍යාවටද ඇතුළු වී, මහත් පිම්මකින් සේපියන් සමාජය ගෙන ගියේය.

ඒ අනුව, සායනික වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම සඳහා මෙම ක්‍රමය ඍජුවම භාවිත කරන ලදි. එහිදී, සිසුන්ට විවිධ රෝග විනිශ්චය සඳහා ඔවුන්ගේ උපකල්පනත්, තාර්කිකත්වය අනුව ඉදිරිපත් කරනු ලබන යෝජනාත්, වෛද්‍යවරයකු විසින් මධ්‍යස්ථව සමාලෝචනය කරමින් සාකච්ඡා කරමින් විද්‍යාර්ථීන්ගේ දැනුම් පරාසය ඉහළ තලයකට පත් කිරීමට ඉවහල් කරගත්තේය.

මේ ආකෘතිය අනුගමනය කිරීමෙන් යම් කාරණාවක් සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක ප්‍රතිඵල අත්පත් කරගත හැකිය. මෙකී ප්‍රවේශය, පසුව තාරකා විද්‍යාව, උද්භිද විද්‍යාව සහ ගණිතය වැනි වෙනත් විද්‍යාවන්හිද භාවිත කරන්න පටන් ගත්තේය. ක්‍රිස්තියානියේ රෙපරමාදු ප්‍රතිසංස්කරණයෙන් පසුව, ඇදහිල්ල පිළිබඳ වියුක්ත ප්‍රශ්න විසඳීම සඳහා එය අනුගමනය කරන ලද බවද සඳහන්වේ.

එසේම, 19 වැනි ශතවර්ෂයේදී මේ ක්‍රමය අමෙරිකන් නීති අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. මහාචාර්යවරු අනපේක්ෂිත උපකල්පිත තත්වයන්ට අභියෝග කරමින් අධිකරණ තර්කනය පිළිබඳ සිසුන්ගේ අවබෝධය පුළුල් කළහ.

ඒ අනුව, මෙම ප්‍රවේශය අදටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නව නීති කෙටුම්පත් සම්මත කිරීමේදී, උද්ගත විය හැකි අනපේක්ෂිත බලපෑම් පරිකල්පනය කිරීම පිණිස භාවිත කරයි. එපමණක් නොව, ඕනෑම මාතෘකාවක් ඉගැන්වීම සඳහා වුවද, සොක්‍රටීස්ගේ මේ අපූරු පැන විමසුම් මඟින් දත් දෙයින් නොදත් දේට යන ක්‍රමය අනුගමනය කළ හැකිය.

සොක්‍රටීස්ගේ ජීවන චරිතය හරිම අපූරුය. එය, සේපියන්ස්ලාගේ දේව විශ්වාස ඇදහිලිවලට වඩා, උත්සාහය, ප්‍රඥාව, විනය, තර්කනය මඟින් තමන් අදහන හෝ විශ්වාස කරන අදහසට ඔබ්බෙන් වූ වඩාත් සාධාරණ අදහස මතු කරගැනීම යන කාරණා විෂයයෙහි, මනුෂ්‍යයකු ලෙස සිය බුද්ධිමය ඇස මෙහෙයවන ලෙස බටහිර ජනසමාජයටම සිය ආත්මයෙන්ම පණිවිඩයක් දුන් අපදානයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division