සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත විය. එම සංචාරය පිළිබඳ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි.
ඇලෝ බ්ලැක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඔබ සිදු කළ මැදිහත්වීම කුමක්ද?
ඇලෝ බ්ලැක් මහතා මගේ පුද්ගලික හිතවතෙක්. එම පුද්ගලික හිතවත්කම ගොඩනැඟුණේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය තුළින්මයි. පසුගිය කොරෝනා සමයේ එම වයිරසය ආසාදනය වීම වැළැක්වීමට මා විසින් නව ක්‍රමයක් සකස්කර හඳුන්වාදෙනු ලැබුවා. ඒ වන විට ඇලෝ බ්ලැක් මහතාට කොවිඩි ආසාදනය වී තිබුණා. ඔහු මා පිළිබඳ තොරතුරු ලබාගෙන මට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. ඉන්පසුව ඔහු මගේ පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාලය හරහා දායකත්වය ලබා දුන්නා. ඒ අනුව මම නිසා ඔහු වෛද්‍ය පර්යේෂණ අංශයට බොහෝ ලෙස නැඹුරු වූ අතර වසංගත රෝග වැළැක්වීම සඳහා ජෛව තාක්ෂණ විසඳුම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සමාගමක්ද ආරම්භ කළා.
මේ අතර මම ඔහුට ලංකාව පිළිබඳ බොහෝ තොරතුරු ලබා දුන්නා. ඒ වගේම එහි සත්‍යතාව ඔහුට සියැසින්ම දැක බලා ගැනීමටද හැකි වුණා. මොකද මගේ දරුවන් උඩරට නැටුම් හදාරා තිබෙනවා. මගේ නිෙවසට පැමිණි අවස්ථාවේ ඔහුට ලංකාවේ කලාව, සංස්කෘතිය සහ සොබා සෞන්දර්ය අත්විඳීමට අවස්ථාව ලැබුණා.
මේ අතර මම ඔහුට ශ්‍රී ලංකා නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විස්තර කළා. ඒ වන විට මම ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති සකස් කිරීමට දායකත්වය ලබා දෙමින් සිටියේ. අනතුරුව මාව විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් කරනු ලැබුවා. මේ අතර තුර ලංකාව ඉලක්ක කර ගනිමින් අපගේ සම්බන්ධතාවන් බොහෝ සෙයින් වර්ධනය වුණා.
ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙස මම ඔහුට විශේෂ ආරාධනයක් සිදු කළා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණියේ ලංකාවේ ආයෝජනය කරන අදහසින්. ඒ වගේම ලංකාව පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමටයි. එහිදී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංදර්ශන පිළිබඳ ඔහුගේ විශේෂ අවධානයක් යොමු වුණා.
ඇලෝ බ්ලැක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මහජන මුදල් වැය කළ සංදර්ශනයක්ද?
ඇලෝ බ්ලැක් මහතාගේ සංචාරය සඳහා මහජන මුදල් ශතයක්වත් විදයම් කර නැහැ. ඇලෝ බ්ලැක්ට ඇවිල්ලා නිවාඩුව ගත කරන්න ලංකාවේ මුදල් කොපමණ වියදම් කළාද කියලා ඇතැම් සමාජ මාධ්‍යවල අහලා තියෙනවා මම දැක්කා. ඔහු පැමිණියේ නිවාඩුව ගත කරන්න නොවෙයි. ගුවන් ටිකට්පත් මිලදී ගත්තේ සහ නවාතැන් පහසුකම් සපයාගත්තේ ඔහු විසින්මයි. ඊට අමතර වියදම් මම සහ අපගේ මිත්‍රයින් විසින් දරනු ලැබුවා. මේ සියල්ල සිදු කළේ ලංකාවට උදවු කිරීමටයි. ඒ නිසා මෙය ඉතා වෙනස් අත්දැකීමක් වන අතර වෙනදා මෙන් මහජන මුදල් වියදම් කර සිදු කළ සංදර්ශනයක් නොවෙයි.
ඒ වගේම ඇලෝ බ්ලැක් මහතාගේ මෙම සම්පූර්ණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශය(NIRDC) හරහායි.
ඇලෝ බ්ලැක් මහතා ලංකාවේ සංචාරය කළේ කුමන ස්ථානවලද? මුණගැසුණේ කාවද?
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණු 03ක් තිබෙනවා. පළමු කාරණය ඔහු ලංකාවේ ආයෝජනය කිරිමට කැමැත්තෙන් සිටින අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඔහු වඩා කැමැත්තක් දක්වනවා. ලෝකයේ නොමෝ මැලේරියා වගේ වැඩසටහන්වලට උදවු කර ඇති ඔහු බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ස්වාභාවික නිෂ්පාදන සිදු කරන නිෂ්පාදනගාර සඳහා ආයෝජන කරන්න කැමැත්තෙන් පසුවනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සඳහා ආයෝජන කරන්නත් ඔහු කැමතියි. එසේ නොමැතිව ඔහු අපේ දේවල් විදේශ රටකට අරන් යන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් තිබෙන කර්මාන්ත ශාලා කිහිපයක් අප ඔහුට මේ වන විටත් පෙන්වා අවසන්. එසේම එවැනි නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව සලසා දුන්නා.
ඉන් අනතුරුව අපි ඇලෝ බ්ලැක් මහතාට සීගිරිය හා සුන්දර වෙරළ තීරය ඇතුළු ස්වාභාවික ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව ලබාදුන්නා. එයින් අපි බලාපොරොත්තු වන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඔහුගේ දායකත්ව සපයා ගැනීමයි. මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හොඳ තල්ලුවක් ඔහුගෙන් ලැබේවි.
තුන්වනුව ඇලෝ බ්ලැක් මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇමැතිවරයා හා නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළා. බලශක්ති ඇමැතිවරයා සමඟත් සාකච්ඡා කළා. ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟත් සාකච්ඡා කළා. පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා සංවිධාන කර තිබුණා. මැණික් හා ස්වරණාභරණ මෙන්ම වරාය නගරයේ වාණිජ කටයුතු සම්බන්ධයෙන් ද මේ වන විටත් ඇලෝ බ්ලැක් මහතා සාකච්ඡා පවත්වා තිබෙනවා. පැවැත්වූ සාකච්ඡාවලින් තොරතුරු රැසක් එකතු කරගෙන අමෙරිකාවේ ආයෝජකයින්ට ලබාදීමටත් ඔහු බලාපොරොත්තු වෙනවා. ඇලෝ බ්ලැක් මහතා රූපවාහිනී නාළිකා සම්මුඛ පරීක්ෂණ ගණනාවකටත් සම්බන්ධ වුණා.
ඇලෝ බ්ලැක් මහතාගේ සංචාරයෙන් අපේ රටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද,
මෙම සංචාරය නිසා ශ්‍රී ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙනවා. පළමුවැන්න ලෙස ඔහු මේ රටේ සිදු කරන ඍජු ආයෝජන හඳුන්වන්න පුළුවන්. ඇලෝ බ්ලැක් මහතා එක්සත් ජනපදය සහ ලොව පුරා සිටින බොහෝ ආයෝජකයන් සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වන අයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ පවත්නා විභවයන් පිළිබඳව ඔවුන් හා කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඇලෝ බ්ලැක් මහතා හරහා තවත් ආයෝජකයින් විශාල පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. අමෙරිකාවේ සුප්‍රසිද්ධ වත්කම් තිබෙන ආයෝජකයින් ලංකාවේ ආයෝජනය සඳහා සූදානමින් සිටිනවා.
මෙරට සංචාරක කර්මාන්තයේ නව මානයක් ඇති කිරීමට මෙමඟින් හැකියාව තිබෙනවා. පිටරටවල සිටින කලාකරුවන්ගේ සංදර්ශන ලංකාවේ පැවැත්වෙන්නේ ඉතාම කලාතුරකිනුයි. එම තත්ත්වය කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ලංකාවට විශේෂයෙන් ඉන්දියාව සහ දකුණු ආසියාතික රටවලින් ප්‍රේක්ෂකයෝ පැමිණෙනවා. ඒ සඳහා හෝටල් කර්මාන්තය, ආහාර පාන ක්ෂේත්‍ර දියුණු කළ හැකියි.
ශ්‍රී ලංකාව ආයෝජනයට ඉතා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් වෙයිද,
මෙම කටයුතු සමඟ ශ්‍රී ලංකාව ආයෝජකයන් සඳහා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් වෙනවා. ඉස්සර වගේ කොමිස් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ආයෝජන සඳහා කල්ගත වෙන්නෙත් නැහැ. ඒ වගේම ආයෝජකයන්ට රජයෙන් ලැබෙන විශේෂ සහන ගැනත් අපි කතා කළා. ඒ වගේම මම මහ බැංකු අධිපතිවරයාද මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළා.
මේ අතර ඇලෝ බ්ලැක් මහතාද මෙම සංචාරයේදී සඳහන් කළේ ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම තමන්ගේ අපේක්ෂාව බවයි. ශ්‍රී ලංකා රජය සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශය(NIRDC) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එය මහඟු අවස්ථාවක් බව ඔහුගේ අදහසයි.
පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශය [National Initiative for R&D Commercialization (NIRDC) යනු කුමක්ද?
ඇලෝ බ්ලැක් මහතාගේ මෙම ව්‍යාපෘතිය පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මඟින් සිදු කරන එක් ව්‍යාපෘතියක් පමණයි. එවැනි ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරියේදී මෙම ආයතනය හරහා සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා විශේෂ ආයෝජකයන් කිහිප දෙනෙකුම අපේ රටට පැමිණීමට සූදානම් වී සිටිනවා.
පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශය (NIRDC) ප්‍රධාන කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඉන් පළමු කාර්යය වන්නේ ඉහළ වාණිජකරණ විභවයක් සහිත සම්පූර්ණ කරන ලද හෝ ආසන්න වශයෙන් නිම කරන ලද පර්යේෂණ ව්‍යාපෘති හඳුනාගෙන ඒවා අවසන් කිරීමට මුදල් ආධාර ලබා දීමයි. එම කටයුතු සඳහා මෙවර අය වැයෙන් ජනාධිපතිතුමා රුපියල් බිලියනයක මුදලක්ද ලබා දුන්නා.
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයේ (NIRDC) තවත් කාර්යභාරයක් වන්නේ පර්යේෂණ අවසන් වූ ව්‍යාපෘති සඳහා ආයෝජකයන් සම්බන්ධ කර දීමයි. ඒ අනුව ආයෝජකයන්ට අවස්ථා උදා කර දීම වෙනුවෙන් ඇලෝ බ්ලැක් මහතා වැනි බොහෝ පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
තුන්වනුව ආයෝජකයන්ට සහ පර්යේෂකයන්ට බලපාන පරිසර ගැටලු, නීතිමය ගැටලු ඇතුළු අනෙක් ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට මැදිහත් වීමද පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශය(NIRDC) මඟින් සිදු කරනු ලබනවා. ඒ නිසා මෙම ආයතනයේ කාර්යභාරය පිළිබඳව දැනුම්වත් වී සිටීම ඉතා වැදගත් වෙනවා. ඒ අනුව ලොව පුරා ආයෝජකයන්ට අපේ රටට පැමිණ මෙම ආයතනය සමඟ සම්බන්ධ විය හැකියි.
lසුසන්ති ප්‍රදීපිකා