සැකකරුවන් අතර හමුදා පොලීසියේ හිටපු දෙදෙනෙකුත්
වලව්වේම සේවකයන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
වලව්වෙන් කොල්ලකෑ මුදල්වලින් කොටසකුත් සොයා ගනී
එය කොළඹ හත, සිනමන් ගාඩ්න් හෙවත් කුරුඳුවත්ත ප්‍රදේශයේ විජේරාම මාවතේ පිහිටි පැරැණි වලව්වකි. අක්කරයක පමණ ඉඩමක පිහිටි එම වලව්වේ වර්තමානයේ පදිංචිව සිටින්නේ එකම පවුලේ අවිවාහක සහෝදරයෝ තිදෙනෙකි. ඔවුන්ගේ වයස අවුරුදු 55ත් 65ත් අතරය. එක් සහෝදරයෙක් ආබාධිතය. එම සහෝදරයන් තිදෙනා මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වලව්වක සිටි ප්‍රභූ පුද්ගලයකුගේ දරුවෝය.
එම සහෝදරයන් තිදෙනා ඉඩම් හිමි කෝටිපති වැවිලිකරුවෝය. විජේරාම මාවතේ වලව්වේ සේවයට ද සේවකයන්ම හත්දෙනෙක් සිටී. දෙමහල් නිවසක් වූ එම වලව්වේ සේවකයන්ගේ පාවිච්චියට වලව්ව පිටුපස වෙනම කාමරයක් ද තිබිණි.
දිනය ඉකුත් මාර්තු 7 වැනිදාය. එදින අලුයම 4ට පමණ වලව්වේ එක් සහෝදරයෙක් වලව්වේ රියැදුරු රුවන්ත සමඟ නුවරඑළියේ පිහිටි ඔවුනට අයත් වත්තකට යාමට පිටත්ව ගියේය. ඒ වන විට වලව්වේ සිටි සේවකයන් හත්දෙනාගෙන් දෙදෙනෙක් නුවරඑළිය ගිය අතර තවත් දෙදෙනෙක් වලව්වේ කාමරයේ නැවතී සිටියේය. එක් සේවකයෙක් උදේ-හවා ඔහුගේ නිවසේ සිටම වලව්වට ආගිය අයෙකි. ඊට අමතරව සිටි සෙසු සේවකයන් දෙදෙනා ඊට දින තුනකට පමණ පෙරදී කිසිවකුටත් නොකියා වලව්වෙන් ගොස් සිටියේය.
හත්වැනිදා අලුයම නුවරඑළියේ යාමට වලව්වෙන් පිටව ගිය ද කිසිවෙක් හෝ වලව්වේ ප්‍රධාන ගේට්ටුව නැවත ‘ලොක්‘කර වසා දැමුවේ නැත. නුවරඑළියේ ගිය තිදෙනා පිටත්ව ගොස් පැය භාගයක් ඉක්ම ගියේ නැත.
එදින අලුයම 5ට පමණ වලව්වේ විවෘතකර දමා තිබුණු ගේට්ටුවෙන් පස්දෙනෙක් වලව්වට ඇතුළු විය. එම පස්දෙනා මුලින්ම ගියේ ඒ වන විට වලව්වේ සේවයට සිටි දෙදෙනා නිදා සිටි කාමරය වෙතය. එලෙස වලව්වට කඩා වැදුණු කණ්ඩායම මුලින්ම කර තිබුණේ නිදා සිටි සේවකයන් දෙදෙනාගේ මුවට ප්ලාස්ටර් අලවා, අත්පා ගැට ගසා වලව්වේ විදුලිය විසන්ධි කිරීමයි.
අනතුරුව ඔවුහු වලව්වේ මුළුතැන්ගෙයි දොර කඩා වලව්වට ඇතුළු වූහ. පිරිස එලෙස ගොස් තිබුණේ ආබාධිත සොයුරා නිදා සිටි කාමරයටයි. එම පිරිස ඔහුට පිහියක් එල්ලකර මරණ තර්ජන කරමින් සොයුරා බියගන්වා අනතුරුව එම කාමරයේ තිබූ කබඩ් කඩමින් සොයා තිබුණේ මැණික්ය. එහෙත් ඒ වන විට වලව්වේ මැණික් නොතිබුණු අතර සහෝදරයෝ මැණික් බැංකු සේප්පුවල ආරක්ෂාවට තබා තිබුණි. එම නිසා කොල්ල කල්ලියට එහි තිබී මැණික් නොලැබිණි. එහෙත් එම ආබාධිත සහෝදරයාගේ නිදන කොට්ටය මත තිබී රුපියල් දෙලක්ෂ අසූදහසක් සහ රුපියල් අසූදහසක් වටිනා ජංගම දුරකතන තුනක් කොල්ලකරුවෝ පැහැර ගත්හ. ඒ වන විට අනෙක් සහෝදරයා එම වලව්වේම වෙනත් කාමරයක නිදා සිටියේය.
එලෙස මැණික් සොයා පැමිණි කොල්ල කල්ලිය මුදල් සහ ජංගම දුරකතන කොල්ලකෑමෙන් පසු අත්පා බැඳ සිටි සේවකයන් දෙදෙනා ළඟට පැමිණියෝය.
“මේ ගැන පොලීසියට කම්ප්ලේන් කළොත් උඹලා දෙන්නා මරනවා… අපිට උඹලත් එක්ක ප්‍රශ්නයක් නෑ… උඹලා ගෙදර වැඩට ඇවිල්ලා ඉන්න එවුන්නේ… හැබැයි අපි උඹලා දෙන්නට දවස් පහයි දෙන්නේ… මේ ගෙදරින් පිටවෙලා යන්න ඕනේ… පොලීසියට කියලා කම්ප්ලේන් කරලා තිබුණොත් ඒ උඹලා දෙන්නගේ අවසානය… ඒ වගේම උඹලා දෙන්නා උදේ හය වෙනකල් කාමරෙන් එළියට යන්නේ නෑ…“ යැයි කියමින් සේවකයන්ට තර්ජනය කළ කොල්ල කල්ලිය පලා ගියහ. එම තර්ජනයට සේවකයන් දෙදෙනා කෙතරම් බියට පත්වීද යත් ඔවුන් එදින පෙරවරු හය වන තෙක් එලෙසම කාමරයට වී සිටියේය. ඒ අතර පෙරවරු හයට පමණ නිවසේ සිට වලව්වේ රැකියාවට පැමිණෙන සේවකයා පැමිණියේය. ඔහු පැමිණි සැණින් මේ සිද්ධිය දැක ගැට ගසා තිබූ දෙදෙනාගේ අත්පා ලිහා දැමීය. ඒ අතර වලව්වේ ආබාධිත සහෝදරයා සේවකයකුගේ ජංගම දුරකතනය ගෙන 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුම්වත් කළේ සිදුවූ සියල්ල අකුරක් නෑර පවසමිනි.
ක්ෂණයෙන් එම 119 පොලිස් හදිසි ඇමතුම අදාළ පොලිස් වසම වන කුරුඳුවත්ත පොලීසියට ලැබීමත් සමඟ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර ඇතුළු කණ්ඩායම විජේරාම මාවතේ පිහිටි එම වලව්වට ගොස් විමර්ශන ඇරැඹීය.
ඒ අතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත එම විමර්ශන සඳහා ඇඟිලි සලකුණු සහ සොකෝ නිලධාරින්ට අමතරව පොලිස් නිල සුනඛයෝ ද විමර්ශන සඳහා කැඳවීය. පොලිස් පරීක්ෂක ප්‍රදීප් ඇතුළු කණ්ඩායම කොල්ල කල්ලිය පැමිණි මොහොතේ වලව්වේ සිටි සේවකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරමින් විමර්ශන ඇරැඹීය.
“සර්… ආපු කට්ටිය ග්ලවුස් දාලා… මාස්ක් දාලා හිටියේ… හැබැයි සර් දවස් දෙකකට කලින් වලව්වෙන් ගිය වැඩ කළ දෙන්නගෙන් එක්කෙනෙක් විමුක්ති… ඒ ආපු කෙනෙක්ගේ කොණ්ඩේ විමුක්තිගේ වගේ ක්‍රේල්…“ යැයි එම සේවකයන් දෙදෙනාගෙන් හෙළි විය. නිවසේ සීසීටීවී කැමරා ද නොතිබූ නිසා පැමිණි පිරිසේ හෝඩුවාවක් සොයා ගැනීම තව තවත් ගැටලුවක් වී තිබිණි. මේ අතර ඉකුත් දිනෙක වලව්වෙන් පලා ගොස් සිටි සේවකයන් දෙදෙනා ගැන පොලිස් නිලධාරින්ගේ අවධානය යොමු විය. ඔවුන් දෙදෙනා මාතර, යටියන ප්‍රදේශයේ පදිංචි විමුක්ති සහ වැල්ලවායේ අයෙක් වන චින්තක බවට හඳුනා ගැනිණි. අනතුරුව විමර්ශන නිලධාරින් එම සේවකයන් දෙදෙනාගේ ජංගම දුරකතන අංකවල විශ්ලේෂණ වාර්තා සහ දුරකතන කුලුනු වාර්තා ලබාගෙන විමර්ශන ආරම්භ කළේ කොල්ලයට ආ දෙදෙනාගේ කිසියම් සබඳතාවක් ඇද්ද යන්න වූ සැකයෙනි.
එහිදී කුලුනු වාර්තාවලින් අනාවරණය වූයේ කොල්ලය සිදුවූ ඉකුත් 7 වැනිදා දෙදෙනා වලව්වට පැමිණ නැවත එදින රාත්‍රී 9ට පමණ මාතර ගොස් සිටින බවය. දෙදෙනා ප්‍රදේශ දෙකක් වුවත් ඒ මොහොතේ එක් ස්ථානයක සිටින බව දුරකතන කුලුනු වාර්තා මඟින් හෙළි විය.
එසැණින් කුරුඳුවත්ත පොලිස් නිලධාරින් කණ්ඩායමක් මාතර බලා ගියෝය. එහෙත් ඒ වන විට මාතරින් එම දෙදෙනා පිටව ගොස් තිබුණි. ඒ අතරේ පොලිස් නිලධාරින්ට සැල වූයේ මාතරින් පලා ආ විමුක්ති වැල්ලම්පිටියේ මිතුරකුගේ බෝඩිමක සිටින බවය. යුද හමුදාවෙන් පලාවිත් සිටි 23 හැවිරිදි විමුක්ති අත්අඩංගුවට ගන්නේ ඒ අයුරිනි. ඒ ඉකුත් 9 වැනිදා පෙරවරුවේය. විමුක්තිගෙන් ප්‍රශ්න කැරෙන්නේ ඉන් පසුවය.
“සර්… මේ රොබරිය ප්ලෑන් කළේ බොස් එක්ක නුවරඑළියේ ගිය ඩ්‍රැයිවර් රුවන්ත…“ යැයි ඔහු පැවැසීය. එසැණින් පොලිස් නිලධාරින් රුවන්තද අත්අඩංගුවට ගත්තේ ඔහුගේ නිවස පිහිටි ඇත්කඳුර, දිවිතුරදීය.
රුවන්ත ද යුද හමුදා පොලිස් සේවයෙන් පලාවිත් සිටි අයෙකි. රුවන්තගෙන් ප්‍රශ්න කරද්දී එම කොල්ලයට සම්බන්ධ වූ යුද හමුදා පොලිස් සේවයෙන් පලාවිත් කොළඹ කුලී රථ සේවාවක කාරයක් ධාවනය කරන අරණායක ප්‍රදේශයේ පදිංචි සුමිත් නමැත්තෙක් ගැන හෙළි විය. කුරුඳුවත්ත පොලිස් නිලධාරින් මාවනැල්ල, අරණායකට ගොස් සුමිත්ද අත්අඩංගුවට ගන්නා ලදි. සුමිත්ගෙන් ප්‍රශ්න කරද්දී කුලී රථ ධාවකයෙක් වන ලලිත් ගැනත් හෙළි විය. “සර්… ලලිත්ගේ ෆ්රියස් කාර් එකෙන් තමයි අපි ඔය ගේමට ගියේ…“ යැයි සුමිත් පැවැසීය. ඒ සමඟම මාලබේ පදිංචි ලලිත් ද අත්අඩංගුවට ගැනිණි. ඒ ෆ්රියස් කාරය ද සමඟය. ලලිත්ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලයට සම්බන්ධ වූ කඩුවෙල ගරාජයක පේන්ට් බාස් කෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි. ඔහු ලක්ෂාන්ය.
මුලින්ම අත්අඩංගුවට ගත් විමුක්ති සතුව කොල්ලකෑ මුදලින් රුපියල් 54,000ක්ද තිබී පොලීසිය සොයා ගත්තේය. අරණායකදී අත්අඩංගුවට ගත් සුමිත්ට කොල්ලකෑ මුදලින් රුපියල් 40,000ක් දී තිබිණි. ඔහු එම මුදල් සියල්ල වියදම් කර තිබිණි. අනතුරුව පොලිස් නිලධාරින් කොල්ලයට සම්බන්ධ වූ එම වලව්වේ සේවය කළ වැල්ලවායේ පදිංචි චින්තක සොයා විමර්ශන සිදු කළේය.
ඔහුගේ ජංගම දුරකතන කුලුනු වාර්තා පරික්ෂාවේදී චින්තක හබරණ සිට වත්තල, හැඳල දෙසට ගමන් කරන ආකාරයක් පොලීසියට හෙළි විය. ඉකුත් 12 වැනිදා රාත්‍රීයේ හැඳල නිවෙසක සිටියදී චින්තක ද අත්අඩංගුවට ගැනිණි. ඔහු කොල්ලකෑ මුදලින් රුපියල් 76,000ක මුදලක් ලබාගෙන තිබිණි.
මෙකී කොල්ලය සැලසුම් කර තිබුණේ රියැදුරු රුවන්ත විසිනි. ඊට වලව්වේ ‘කෝකියා‘ ලෙස කටයුතු කළ චින්තක සහ ආබාධිත සහෝදරයාගේ ආවතේව කළ විමුක්ති ද සම්බන්ධ කරගෙන තිබුණේ රුවන්ත විසිනි. මෙකී කොල්ලය සිදු කිරීමට රුවන්ත විසින් මුලින්ම සැලසුම් කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 23 වැනිදාය. එහෙත් චින්තක සහ විමුක්ති ඊට එතරම් කැමැත්තක් දක්වා නැත.
මේ අතර ඉකුත් 3 වැනිදා වලව්වේ කබඩයක දොරක් කැඩීමට උත්සාහ කර තිබිණි. ඒ පිළිබඳ කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබිණි. ඊට පොලීසිය ක්‍රියාත්මක වී ඇඟිලි සලකුණු ද පරීක්ෂාවක් සිදු කෙරිණි.
එම විමර්ශන එලෙස සිදුවෙද්දී පසුදා එනම් ඉකුත් 4 දා විමුක්ති සහ චින්තක හිටිහැටියේම වලව්වෙන් පලා ගොස් තිබුණේ කිසිවකුටත් නොකියමිනි. කොල්ලයට සැකපිට අත්අඩංගුවට ගත් විමුක්ති සහ චින්තක පොලීසියට හෙළි කළේ එදින එම දොර කැඩීමට දෙදෙනා උත්සාහ කළේ විදෙස් මත්පැන් බෝතලයක් ලබා ගැනීමට බවයි. විමුක්ති සහ රියැදුරු රුවන්ත වලව්වේ වසර හතරහමාරක පමණ කාලයක සිට සේවය කළ දෙදෙනෙකි. චින්තක මාස එකහමාරකට පෙරදී පැමිණි අයෙකි. විමුක්ති දැඩි සේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකි.
රියැදුරු රුවන්ත මෙකී කොල්ලය සියල්ල සැලැසුම් කර සිය හාම්පුතා සමඟ නුවරඑළියේ ගමන යද්දී එම කොල්ලකෑම මෙකී කණ්ඩායම යොදවා සිදු කිරීමට සියල්ල සැලසුම් කර තිබුණේ නුවරඑළියේ ගිය හාම්පුතා සතුව බලපත්‍රලත් පිස්තෝලයක් ද තිබෙන බව ඔහු දැන සිටි හෙයිනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ දිශා භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ සහ කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අනිල් ජයන්තගේ අධීක්ෂණයෙන් කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායකගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර, කොස්තාපල්වරුන් වන 19116 ලක්මාල්, 23655 ධනුෂ්ක සහ 104552 හිරුෂ යන නිලධාරිහු විමර්ශනවලට එක්වූහ.
lඅමිල මලවිසූරිය