පෙරදිගින් හිරු කෙමෙන් අවරදිගට මාරුවෙමින් තිබුණි. පඬු පැහැ ගත් දූලිවලාවන් නාස් පුඩු සිර කරයි. පාර වසා නැඟි කළු දුමාරය මැදින් අප රැගත් වෑන් රිය; පංචිකාවත්ත මීරාණියා වීදිය ඔස්සේ බීසීසී ලංකා ලිමිටඩ් පරිශ්‍රය වෙත ගමන් කරමින් තිබිණ. එහි යාමට විශේෂ හේතුවක් විය. ඒ වත්මන් ආණ්ඩුව යටතේ පාලනය වන බීසීසී සමාගම පෙබරවාරි මාසය තුළ පමණක් මිලියන 121 ක වාර්තාගත විකුණුම් අගයක් වාර්තා කළ බව සැලවීම නිසාය.

සංචාරක නවාතැන්පළක් ලෙස පිළිසකර කිරීමට නියමිත ඉපැරැණි මන්දිරය
අප බීසීසී පරිශ්‍රය වෙත ආ සැණින් විශාල යකඩ ගේට්ටුවක් විවර විය. ඒ තුළින් අප ඇතුළු වූයේ වසර සීයකට අධික ඉතිහාසයක් සඟවාගෙන සිටින පොල් ආශ්රිත කර්මාන්ත පරිශ්රයකටය. 1830 දී යුරෝපීයන් විසින් මෙම ආයතන ආරමිභ කර තිබුණි. බ්‍රිතාන්‍ය ලංකා සංස්ථාව (British Ceylon Corporation) ආරම්භ කර තිබුණේ අදින් වසර 107කට ඉහතදීය. ඒ මෙරට බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළ අවධියේදීය. 1918 දී ඉන්දියාවේ ක්‍රියාත්මක වූ ප්රමුඛ යුරෝපීය සමාගමක් වූ සින්ඩිකේට් මඟින් හල්ට්ස්ඩොෆ් මිල්ස් ආයතන අත් කරගැනීම බීසීසීය ආරම්භයට මූලික අඩිතාලම දමා තිබුණි. අනතුරුව සීමාසහිත ලංකා බ්‍රිතාන්‍ය එක්සත් සංගමය ලෙස ලංකාවේ සීමාසහිත ඔරියන්ට් සමාගම, බ්‍රිටිෂ් සිලෝන් මිලින් කොම්පැනි ලිමිටඩ් සහ සිලෝන් ඇක්ස්ටැක්සන් කොම්පැනි ලිමිටඩ් ඇතුළු එහි පූර්ණ හිමිකාරීත්වය සහිත ඊට අනුබද්ධ සමාගම් එකතුවක් ලෙස බ්‍රිතාන්‍ය ලංකා සංස්ථාව (බීසීසී) ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. 20 වන සියවසේ මැද භාගය වන විට බීසීසීය ලංකා ආර්ථිකයේ ප්‍රධාන නිෂ්පාදන ආයතනයක් බවට පත්ව තිබුණි.
මුලින් බ්‍රිතාන්‍ය සමාගමක් වූ බීසීසීය 1970 ගණන්වල ආරම්භ වූ ජනසතු කිරීමේ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස 1972 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය යටතට පවරා ගැනිණි. රටේ පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළ මෙම කර්මාන්ත ශාලාව ක්‍රමයෙන් විනාශ මුඛයට ඇදී ගියේ පසුව බලයට ආ ආණ්ඩුව දේශීය නිෂ්පාදන ආර්ථිකයෙන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට මාරු වීමත් සමඟය. ඔවුන්ගෙන් පසුව පත් වූ විවිධ රජයන් විසින් මෙය ඈවර කිරීමට පිඹුරුපත් සකසමින් ස්වාභාවික මරණයකට ගොදුරු වීමට ඉඩහැර තිබුණේ රජයේ පාඩු ලබන ව්‍යාපාරයක් ලෙස පෙන්වා දෙමිනි.
2006 වර්ෂයේ දී මෙම ආයතනය ව්‍යාජ සමාගමක් වෙත පවරා දීමට සියල්ල සූදානම් කර තිබූ අවස්ථාවක එවකට විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ අනුර කුමාර දිසානායක මෙය රැක ගැනීම සම්බන්ධයෙන් සිදු කළ මැදිහත්වීම නොවන්නට පසුගිය රජය පාඩු ලබන ආයතනයක් ලෙස මෙය වසා දැමීමට හෝ විකුණා දැමීමට ඉඩ තිබුණි. එම සැලසුම එතුමා ජනාධිපති ලෙස පත්වීමත් සමඟ වළක්වා ගැනීමට හැකි වීම ද දෛවෝපගත වාසනාවක් බව මෙම ආයතනයේ පැරණි සේවකයන් අප සමඟ ප්‍රකාශ කර සිටියේය .
දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් ගෝලීය ප්රවණතාවයන් හා මුසුව ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ එලෙස පණ අදිමින් සිටි බීසීසී ලංකා සමාගම නැවතත් හුස්ම ගැනීමට පටන් ගත්තේය.

සභාපති ප්‍රසංග පෙරේරා
වර්තමාන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ අවධානයට බීසීසී ලංකා සමාගම යොමු වන්නේ ආණ්ඩුවේ නිෂ්පාදන ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ඉවහල්වන කර්මාන්තායතනයක් ලෙස මෙහි වැදගත්කම හඳුනා ගැනීමත් සමඟය. ඒ අනුව වහා ක්‍රියාත්මක වන අමාත්‍යවරයා බීසීසී සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රසංග පෙරේරා මහතා පත් කරන්නේ විශාල බලාපොරොත්තු රාශියක් ඇතිවය. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ඉහළම බහුජාතික සමාගම්වල නිෂ්පාදන සහ සිල්ලර වෙළෙඳාම පිළිබඳ වසර 30කට අධික පළපුරුද්දක් හා පසුගිය වසර 8ක කාලය තුළ තෙල් සහ තෙල් ආශ්රිත නිෂ්පාදන පිළිබඳ මනා පරිචයක් සතු අයෙකු වූ බැවිනි.
එසේම පසුගිය ජනවාරියේදී සභාපති ප්‍රසංග පෙරේරාට මෙම අභියෝගය භාරගනු ලබන්නේ රට තුළ පොල් සම්බන්ධයෙන් ගැටලු රාශියක් පැන නැඟී තිබූ අවස්ථාවක දී වීම ද විශේෂය. ඒ පිළිබඳව බීසීසී හි නව සභාපතිවරයා සිළුමිණට පවසා සිටියේ මෙවැන්නකි.
“මම වැඩ භාර ගන්නා අවස්ථාව වන විට බීසීසී සමාගම ඉතාම අක්‍රිය තත්වයකට පත්වෙමින් පැවතුණේ. ඒ නිසා මම කළ පළමු කාර්යය වුණේ මෙහි සේවය කරන සෑම පුද්ගලයෙකුට ම කතා කර ඔවුන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් සහ අභියෝගවලට මුහුණදීමේ හැකියාව මැන බැලීමයි. මක්නිසාදය අභියෝගවලට මුහුණ නොදී කුමන හෝ ව්‍යපාරයක් ගොඩනඟාගත නොහැකි නිසයි. මම ඒ සඳහා පියවර තුනකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කළා. ඒ අනුව නිසි ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වාදීම, රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම තුළින් ආයතනය කෙරෙහි සේවක විශ්වාසය ගොඩනැඟීම සහ නිසි සැපයුම්, බෙදාහැරීම් හා මෙහෙයුම් ජාලයක් නිර්මාණය කිරීමට පියවර ගත්තා. අද මේ ආකාරයට ඔබ දකින බීසීසීය නිර්මාණය වුණේ එලෙස සේවකයින් බලගැන් වූ නිසයි.
මීට මාස දෙකකට ඉහත දී බීසීසීය රජයේ පාඩු ලබන ආයතන අතරට ඇතුළත් කරලයි තිබුණේ. සේවකයින් පවා සිටියේ රැකියාව පිළිබඳ අවිනිශ්චිත තත්වයකයි. මේ ආයතනය පැවතුනොත් පමණයි තමන්ගේ රැකියාව සුරක්ෂිත වෙන්නේ කියන කාරණය මා ඔවුන්ට අවබෝධ කර දුන්නා. ඒ වගේම ඔවුනුත් මේ ආයතනයට ආදරය කරන, එහි දියුණුව ප්‍රර්ථනා කරන පිරිසක් බව මට අවබෝධ වුණා. ඔවුන් තුළ දක්ෂතා රාශියක් ඇති බව මට පෙනී ගියා.”
“ජනාධිපතිතුමාගේ දැක්ම වන්නේ දේශීයව නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදන රට තුළ නිපදවා පිට රටින් ගෙන්වන භාණ්ඩ අවම කර රටේ ඩොලර් සංචිතය ආරක්ෂා කර ගැනීමයි. අපි මේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ බොහෝමයක් නිෂ්පාදනය කරනවා. මෙහි වත්මන් නිෂ්පාදන දෙස අවධානය යොමු කළොත් පොල්තෙල්, සබන්, ඩිටර්ජන්ට්, කාර්මික සහ ගෘහස්ථ පිරිසිදු කිරීමේ කාරක හා විෂබීජනාශක ආදිය ඇතුළත් වෙනවා.

බීසීසී ලංකා සමාගමේ නිෂ්පාදන
එදිනෙදා ආහාරයට ගන්නා පොල්තෙල් අතර බීසීසී පොල්තෙල් පාරිභෝගිකයින් අතර ඉතා ජනප්‍රියයි. එය බීසීසී සුදු පොල්තෙල් සහ කුක්ස් ජෝයි ලෙස වෙළඳ නාම දෙකකින් යුක්තයි.
අපේ පොල්තෙල් වෙළෙඳපළේ තියෙන පොල්තෙල්වලින් වෙනස් වෙන්නේ පොල්තෙල් පිරිසිදු කිරීමේ ක්‍රමවේදය නිසයි. ඒ රසායනික ද්‍රව්‍යය හා කෘතිම දේ යොදා නොගෙන සාම්ප්‍රදායික ක්‍රමවේදය භාවිතා කරන නිසයි. පොල් මිල කොපමණ ඉහළ ගියත්, අපි කිසි විටෙකත් අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පහළ දමන්නේ නැහැ. ඒ නිසා මේ පොල්තෙල්වලට ඉතා ඉහළ ඉල්ලුමක් දේශීය මෙන්ම විදේශ වෙළෙඳපොළ තුළත් තිබෙනවා. ඒ වගේම කියන්න ඕන අපට මේ හා සම්බන්ධ අමාත්‍යාංශවලින් ලැබෙන සහයෝගය නිසා අපේ නිෂ්පාදන පසුගිය කාලය තුළ තුන් ගුණයකින් ඉහළ ගියා”.
සමාගම තවදුරටත් ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන්නේ කෙසේ දැයි සභාපතිවරයාගෙන් අපි විමසා සිටියෙමු. “පළමුවැන්න සේවකයින්ගේ නිසි ධාරිතාවයන් හඳුනාගෙන ඔවුන් නිසි පරිදි ස්ථානගත කිරීම සහ ගුණාත්මක, අලෙවි කළ හැකි නිෂ්පාදන වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමයි. දෙවැන්න වෙළෙඳපොළ තුළ පොල් ආශ්රිත නිෂ්පාදනවල පවතින හිඟය හඳුනා ගෙන දැරිය හැකි මිලකට ඒවා දේශීයව නිෂ්පාදනය කිරීමයි. මීට අමතරව මෙහි තිබෙන පෞරාණික ගොඩනැඟිලි පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් මෙහි ඇති බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයට අයත් පැරණි මන්දිරය පිළිසකර කර සංචාරකයින් ආකර්ෂණය කරන ඔවුන්ට නවාතැන් ගැනීමට හැකි ස්ථානයක් බවට පත් කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂිතව කෑම වේලක් ගන්න තැනක් නැහැ. අලුත්කඩේ වීදී අවන්හල්වලට තිබෙන ආකර්ෂණය ප්‍රයෝජනයට ගනිමින් පැරණි ගොඩනැඟිලි අලුත් වැඩියා කර හෙළ බොජුන් අවන්හලක් ස්ථාපිත කිරීමත් ඒ සැලසුම් අතර තිබෙනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යංශයට ඉඩම් ලබා දීම හේතුවෙන් කඩා ඉවත් කළ කර්මාන්තශාලා වෙනුවට වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ නව තාක්ෂණයෙන් යුත් පොල්තෙල් හා සබන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදි කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
අප මේ පිළිබඳ විපරම් කිරීම සඳහා සභාපතිවරයාගේ කාමරයෙන් පිටතට පැමිණ අවට පරිසරය නිරික්ෂණය කළෙමු. සිනමා නිර්මාණ මෙන්ම ටෙලි නිර්මාණ සඳහා පසුතල මෙහි ඕනෑතරම් තිබේ. එසේම සභාපතිවරයා පැවසූ පෞරාණික මන්දිරය බැලීමටද අප අමතක නොකළේය. ඇත්තෙන්ම එය බ්‍රිතාන්‍යය යුගයේ ගෘහනිර්මාණ ශිල්පය මනාව පෙන්වන අපූර්ව නිර්මාණයකි. එය අද වඩාත් විචිත්‍ර වී ඇත්තේ අසල වූ නුගරුකකින් එහි අගය කලාත්මක අතින් තීව්ර කර තිබීම නිසාය.
බීසීසී සමාගම සතුව පවතින ගබඩා සංකීර්ණවල ඇති සියවසක් පැරණි උපකරණ කිහිපයක් තවමත් ක්‍රියාකාරී තත්වයේ පවති. එක් කර්මාන්ත ශාලාවක ‘සවරින් බාර්’ නිෂ්පාදනය කරනු අපි දුටුවෙමු. එහි විශාල රෙදි සෝදන යන්ත්‍රයකි. එය පොල්තෙල් පිරිපහදුවට භාවිතා කරන රෙදි සේදීම සඳහා එකල සිට යොදාගත් රෙදි සෝදන යන්ත්‍රය බව මෙහි අලෙවි හා මානව සම්පත් කළමනාකාර ජයතිලක මහතා පෙන්වා දුන්නේය. “ පොල්තෙල් පිරිපහදු කිරීම සඳහා මේ රෙදි ගෙන්වා තිබෙන්නේ ඉන්දියාවෙන්. සාමාන්‍ය රෙදි වගේ නෙමෙයි හරිම ඝනකමයි. ඒවා සාමාන්‍ය වොෂින් මැෂින්වල හෝ අතේ හෝ හෝදන්න බැහැ. ඒත් මේ මැෂින් එකේ හොදින් සේදෙනවා වගේම අවුරුදු සීයයකට වැඩි කාලයක සිට මේක තාම එදා වගේම වැඩ කරනවා යැයි” හෙතෙම පැවසීය.
එසේම මෙහි තිබෙන අතිරික්ත ගබඩා විවිධ ව්‍යාපාර සඳහා කුලියට දී ඇති අයුරු ද අපට දැක ගත හැකි විය. ඒ අතර කෝටිගණනක් වටිනා අකුණු සන්නායකයක්ද අප දුටුවෙමු. මෙය පසුගිය සමයේ බලධාරීන් සොරකම් කිරීමට සැලසුම් කර තිබූ නිසා එයට වෙනම ආරක්ෂාවක් සැලසීමට අධ්යක්ෂ මණ්ඩලය පියවරගෙන තිබුණි.

බාර් සබන් ඇසුරුම් කරමින්
දශක ගණනාවකට පෙර, බීසීසී සමාගම බේරේ ඇලට සම්බන්ධව තිබුණු අතර එහි නිෂ්පාදිත භාණ්ඩ කොළඹ වරායේ රැඳී තිබූ නැව්වෙත බත්තල් මඟින් ප්‍රවාහනය කර ඇති බවට සාධක තිබුණි. එකල කෞතුක වටිනා කමින් පොහොසත් එංගලන්තයේ Robey ආයතනය නිෂ්පාදිත ගල් අඟුරු වාෂ්පයෙන් ක්‍රියා කරන ට්‍රක් රථ දෙකක් බීසීසී සමාගම සතුව තිබී ඇත. පසුව ඒවා නිෂ්පාදිත එංගලන්ත සමාගම විසින් එහි තිබෙන කෞතුක වටිනාකම සලකා ඒවා සංරක්ෂණය කිරීමට බීසීසී සමාගමෙන් ඉල්ලා තිබුණි. එහිදී එක ට්‍රක්රථයකට අලුත් බෙන්ස් රථ හතර බැඟින් ලබාදීමට කතිකා කළද ඒවාහි කෞතුක මෙන්ම ඓතිහාසික වැදගත්කම සලකා මෙම ට්රක්රථ ඔවුන් වෙත ලබා නොදීමට කටයුතු කර තිබුණි. මේ වන විට එම ට්‍රක් රථ දෙක රත්මලාන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය සතුව පවතින අතර ඒවා ක්‍රියාකාරී මට්ටමේ පවතින බව බීසීසී සමාගමේ සාමාන්‍යාධිකාරී චානක රන්ජන් මහතා පැවසීය.
2025 ආරම්භයේදී, සමාගමට අය විය යුතු රුපියල් මිලියන 148ක හිඟ ණයකට මුහුණ දී සිටි අතර, ඒ වන විට මාසික විකුණුම් මිලියන 50- 07කට සීමා වී තිබුණි. අද, බීසීසී සමාගම සහ ගැනුම්කරුවන් අතර ගිවිසුමට අනුව, අනුමත ණය කාලයට අදාළ ණය පමණක් ඉතිරිව පවතී. වර්තමානය වන විට අය වීමට ඇති හිඟ මුදල මිලියන 68කි. මෙම සාර්ථකත්වයට හේතුව වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ දී සාර්ථකව ණය මුදල් අය කර ගැනීමට කටයුතු කිරීමයි. එමෙන්ම මේ වන විට දිගු කාලයක සිට පැවති සියලු ණය හා හිඟ බදු මුදල් ගෙවා අවසන් කර ඇත. එය තම සමාගමේ සේවකයින්ගේ එකමුතුකම සහ දක්ෂතාවයේ ප්‍රතිඵලයක් බව සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙයි.
සබන්වල ගුණාත්මකභාවය පිළිබඳ දර්ශකයක් වන TFM (සම්පූර්ණ මේද ද්‍රව්‍ය) අගය, ලංකාවේ ප්‍රමිතියට අනුව පවතින සබන් පමණක් බී සී සී ආයතනය නිෂ්පාදනය කරයි. සබන් නිෂ්පාදනය කරන අනෙකුත් තරගකරුවන්ට සාපේක්ෂව මෙහි නිෂ්පාදිත සබන් වැඩිකාලයක් පාවිච්චි කළ හැකිය. එසේම විස රසායනික ද්‍රව්‍යවලින් තොරව නිෂ්පාදනය කරයි. බීසීසී සමාගම විසින් කාර්මික කටයුතුවල යෙදෙන උදවිය සඳහාම “මෘදු සබන්” ද නිෂ්පාදනය කරයි. එමඟින් පහසුවෙන් කළුතෙල්, මජං, ග්‍රීස් වැනි දෑ ඉවත් කිරීමට හැකි අතර විෂ රසායනික සංඝටකවලින් තොරය. එසේම මේ වන විට සෞඛ්‍ය සේවා සහ රෝහල් ඇතුළු කර්මාන්ත 100කට අධික සංඛ්‍යාවකින් බීසීසී නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් පවති.
පළපුරුදු ආණ්ඩු හැමදේම පාඩු ලබන බව පවසමින් කුණු කොල්ලයට විකුණා දමමින් සිය ආර්ථික කළමනාකරණයේ නොහැකියාව මනාවට ප්‍රදර්ශය සමයක කිසිදු පළපුරුද්දක් නැතැයි කී ආණ්ඩුවක් තම ආර්ථික කළමනාකරණයේ හැකියාව මෙලෙසින් ප්‍රකට කිරීම; ඔවුන්ගේ ජාතික වගකීම සහ වගවීම මනාව ප්‍රදර්ශය කරන්නකි.
මේ වන විට බීසීසී සමාගමේ නිෂ්පාදනවල ඉහළ ගුණාත්මක බව නිසා විදේශීය ආයෝජකයින් කිහිප දෙනෙකුගෙ අවධානය යොමුවී තිබෙන බවත්, ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ඉක්මනින්, අපගේ සන්නාමය සහ ලාංඡනය ලොව පුරා සුපිරි වෙළඳසැල් රාක්කවල දක්නට ලැබේවි” යැයි සභාපතිවරයා පවසයි.
අභියෝගාත්මක අර්බුදකාරී වටපිටාවකට ඔරොත්තු දීමේ හැකියාව, දැක්ම සහ උපායමාර්ගික නායකත්වය මඟින් වඩාත් දුෂ්කර ව්‍යවසායන් පවා නැවත පුනර්ජීවය ලද හැකි බව අද වන විට බී සී සී සමාගම ඔප්පු කොට හමාරය.
කැපවූ ශ්‍රම බලකායක්, නූතනයට ගැළපෙන නිෂ්පාදන පෙළගැස්මක් සහ ව්‍යාපෘතිය සඳහා අභිලාෂකාමී සැලසුම් සමඟින්, සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ කැපීපෙනෙන සාධනීය වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් වී ඇත . එය අඛණ්ඩව වර්ධනය වන විට, බීසීසී සමාගම එහි පැරණි කීර්තිය නැවත ළඟා කර ගැනීම පමණක් නොව, ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ නව පරිච්ඡේදයක් ද සලකුණු කරනු ඇත.
ඡායාරූප – සුදත් මලවීර