දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා
දොතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ ”
ප්‍රියානන්ද විජේසුන්දර ලියූ මේ ගීපද සංගීත විශාරද සනත් නන්දසිරිගේ සංගීතයට ගයමින් ගුණදාස කපුගේ ගී ලොවට පිවිසියේය. ඒ 1973 වර්ෂයේදීය. එවක ජාතික ගුවන්විදුලියේ සිංහල අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි මානව දයාවෙන් සපිරි මිනිසෙකු ලෙස ප්‍රකට එච්. එම්. ගුණසේකර මහතාගේ අතදීම ද ඒ සඳහා ඉවහල් වී ඇත.
1978 ජූලි 22 වැනිදාවක කියුබාවේ, හවානා නුවර පැවති තරුණ සමුළුවකට සහභාගි වීමට කපුගේ නිවාඩු සහ අවසර අනුමැතිය ඉල්ලුවද ගුවන්විදුලි පරිපාලනය ඊට ඉඩ දුන්නේ නැත. නිවාඩු නොලබාම හවානා සමුළුවට ගොස් පෙරළා එන විට ගුවන්විදුලිය කපුගේ සේවය අත්හැර ගියා සේ සලකා තිබිණි. 1979 වසරේ නැවත සේවයේ පිහිටුවනු ලැබුව ද එම වසරේදීම ඔක්තෝබර් මාසයේ දී එවක අගමැතිවරයාට අපහාස කළා යැයි යන චෝදනාවක් හමුවේ කපුගේට නැවත රැකියාව අහිමි වී තිබිණි.
අනතුරුව ගෙවීගිය වසර දෙකකට ආසන්න කාල පරිච්ඡේදය දුෂ්කර වකවානුවකි. එකලෙහි ලූෂන් බුලත්සිංහලයන්ගේ “තාරාවෝ ඉගිෙළති” වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාන කාර්යට කපුගේ තෝරාගැනීම වෙස්වලා පැමිණි ආශිර්වාදයක්ම වී ඇත.
තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ මංගල දර්ශනයට පැමිණි එවක ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටි ඒමන් කාරියකරවන මහතා නාට්‍යය උත්කර්ෂයට නංවන මියුරු සත්සර රටා කෙරෙහි විමසිලිමත් වන්නට විය. සංගීත නිර්මාණකරුවා කපුගේ වග දැන ඒ කෙරෙහි පැහැදී ඔහු නැවත සේවයේ පිහිටුවා ගුවන්විදුලියේ “රජරට සේවයට” පත්කර එවනුයේ දෛවෝපගත ලෙසිනි. ඒ 1981 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනකදීය.
කපුගේ රජරට ආධුනික ගායක, ගායිකාවන්, සංගීත ශිල්පීන්, ගේය පද රචකයින් රැසකට කරළියට ඒමට මඟහසර පාදා දුන්නේය. විශාරද කපුගේ සහ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් එක්ව දියත් කළ නවරැල්ල, නව පදමාලා, ස්වර මාධවී, සරළ ගී වැනි ගුවන් විදුලි වැඩසටහන් හරහා ස්වතන්ත්‍ර ගී නිර්මාණ කරමින් මෙසේ කරළියට ආ කලාකරුවන් ගණනාවකි. රජරට සේවයේ කවි ගැයීමට පැමිණ 1989 භීෂණ යුගයේ එහි සහන නිවේදකයෙකු ලෙස ද කටයුතු කොට ඇති ගායනවේදි කරුණාරත්න දිවුල්ගනේ ගායන ලොවට පිවිසියේ කපුගේ කැපූ මඟ ඔස්සේය යන්න නොරහසකි. ජයතිලක බණ්ඩාර, නිශාන්ත මුණසිංහ, කුමුදුණි ගුණවර්ධන, ජානකී සුමිත්‍රා දිසානායක, මානෙල් රාජකරුණා, වික්ටර් ලියනගේ, සේනානායක වේරලියද්ද, ක්‍රිෂාන්ත එරන්දක, නාලක අංජන කුමාර වැන්නවුන් ද එසේ කරළියට ආ තවත් එවැනි කුසලතාපූර්ණ ගායක, ගායිකාවෝ කිහිපදෙනෙකි.
දිනක් රජරට සේවයට පැමිණි වියපත් මවක් කපුගේ සොයා ඔහුගේ දෙපා අල්ලා වැඳ වැටීම කාගෙත් අවධානය දිනූ සිදුවීමක් වී ඇත. නාගොල්ලාගම නිමල් ආනන්ද නම් අද ද අප්‍රකට කවියා ලියූ විශාරද කපුගේ සංගීතවත් කොට ගායනා කළ ඉහත ගීතය ඒ සඳහා හේතුවී තිබිණි. මහගෙදර අයිතිය සම්බන්ධයෙන් විරසකව සිටි දෙසොහොයුරන් මෙම ගීතය රජරට සේවයෙන් අසා සමගි වීම මවගේ සැනසීමට හේතුවී තිබුණි.
1985 වර්ෂයේ රජරට සේවයේ සංගීත නිෂ්පාදක ලෙස පත්වන සංගීතවේදී ගුණදාස කපුගේ තවත් දෙවසරක් ඇවෑමෙන් සංගීත සංවිධායක ධුරය දක්වා උසස් වීමක් ලැබීය. මුළු රටම භීෂණයෙන් වෙළාගත් 1989 –1990 වකවානුවේ රජරට ගුවන්විදුලියේ පාලක තනතුරට කපුගේ පත්කරනුයේ එහි වැඩසටහන් අංශයේ වගකීම ද ඔහු දෙවුර මත රඳවමිනි.
එහෙත් 1990 වසරේ ජනවාරි 29 වන දින රජරට සේවයෙන් අනිවාර්ය නිවාඩු යවා ගීත තහනමකට ද ලක්වීමත් සමඟ ගුවන්විදුලියේ අතිමහත් වූ කපුගේ භූමිකාව නිමාවට පත්විය.
එයින් පසු යළි කොළඹට පැමිණි කපුගේ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ මඟපෙන්වීමෙන් “කම්පන” ප්‍රසංගය පැවැත්වීමට මඟ හදා ගත්තේය. කාලයේ රාවය, උදාන ගී, කපුගේ ගී සැඳෑව පැවැත්වීමෙන් ලද අත්දැකීම් ද ඒ සඳහා ඉවහල් වී තිබිණි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ඊ.එම්. ඩී. උපාලි මෙන්ම එවක නැගී එන නවකයින් දෙදෙනකු වූ රජරටින් ආ කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර ආදීන්ගේ සංයෝගයෙන් 1990 වසරේ අගෝස්තු මස 25 වැනිදාවක කම්පන පළමු ප්‍රසංගය එළිදැක්වීය.
එයට ලැබූ ජනප්‍රසාද නිසාම 26 සහ 27 දිනයන්හි ද ප්‍රසංගය පැවැත්වීමට සිදුවිය.
ගුණදාස කපුගේ නම් වූ මේ අපූර්ව මිනිසා 1945 අගෝස්තු මස 07 වන දා දකුණේ, ගිංගඟ මිටියාවතේ, තණබැද්දේගම ගම් පියසේ දී ඇල්ලමුල්ල කපුගේ ප්‍රැන්සිස් හා සිරිබද්දන ඇලිස් නෝනා යුවළට දාව දුෂ්කරතා සපිරි පවුලේ දෙවැන්නා ලෙස උපත ලැබීය. එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ මූලික අධ්‍යාපනයෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, නාගොඩ විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් උසස් අධ්‍යපනය ලැබූ ඔහු 1963 දී හේවුඩ් ලලිත කලා ආයතනයට ඇතුළු විය. අපමණක් කම්කටොළු මැද වුව 1965 දී ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළු වූ කපුගේ 1966 දී එහි ඩිප්ලෝමා විභාගය සමත්ව ලක්නව් සරසවියේ සංගීත විශාරද උපාධිය ද සමඟ යළි 1969 දී ලංකාවට පැමිණියේ ය.
කපුගේට එවක සෞන්දර්ය විද්‍යාලයේ නැටුම් හැදැරීමට පොලොන්නරුවේ සිට පැමිණි ප්‍රේමා විතානගේ හමුවනුයේ දෛවය කළ සැලසුමක් පරිද්දෙනි. වසර කිහිපයක ආදර ආලෝලන මැද 1978 වර්ෂයේ ජූලි 06 වැනිදාවක සිදුවූ විවාහයෙන් ඔවුනට දරුවන් තිදෙනෙකි. කපුගේ සිය හඬ මාධුර්ය සඳහා 1996 වර්ෂයේ දී ස්වර්ණ සංඛ, විශ්ව ප්‍රසාදිනි සහ සරසවි සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබුවේය. 1997 ඔහුට වාසනාව පෑදු වසරක්ම විය. හොඳම ගායන කෞෂල්‍ය සඳහා රස සංගීත සම්මානයත්, ජනාධිපති සහ සරසවි සම්මාන ලද කපුගේ භව දුක සිනමා සිත්තමේ නිර්මාණශීලි සංගීතය උදෙසා OCIC සම්මානයෙන් බුහුමන් ලැබීය. 1998 වර්ෂයේදී ද හොඳම ගායකයා සඳහා සම්මාන ලැබූ කපුගේ 1999 වසරේදී සරසවි සිනමා උලෙළේ දී සම්මානයෙන් පිදුම් ලැබීය.
ජනප්‍රිය ගී රැසක් ගායනා කළ එවකට බොහෝ ජනප්‍රසාදය ලබා සිටි කපුගේ ජීවිත ගමන හැර යන්නේ විදෙස් ප්‍රසංගයකට සහභාගි වි යළි මෙරටට පැමිණ ගුවන්තොටේදී සිදු වූ අනතුරකිනි. එ් වන විට ඔහුගේ වයස අවුරුදු පනස් හතයි මාස මාස නවයකි. ඒ 2003 වසරේ අප්‍රේල් මස තුන්වැනිදාය.