Home » මම නිළියක් වෙන්නේ කැමරාව ඉදිරියේදී පමණයි

මම නිළියක් වෙන්නේ කැමරාව ඉදිරියේදී පමණයි

රුක්ෂාන්ති පෙරේරා

by thanushika
March 30, 2025 12:30 am 0 comment
 අනුෂා රණසිංහ

වෙ‍ෙළඳ දැන්වීම් කලාවෙන් පුංචි තිරයට ආ රුක්ෂන්ති පෙරේරා අද වන විට සිනමාවේද සිය හැකියාවන් පෙන්නුම් කරමින් සිටී. ඇයටම ආවේණික වූ රංගන කුසලතා නිසා ඉතා කෙටි කලක් තුළ ඉතා ප්‍රේක්ෂක ආදරය නොමදව දිනා ගත් ඇය මේ දිනවල ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කරන ‘අන්ලොක්‘ නවතම සිනමා නිර්මාණයේ රූපගත කිරීම් අතරතුර රසඳුන කතාබහකට එකතු කර ගන්නට හැකි වුණා.

 අන්ලොක් හි ඔබට ලැබුණු භූමිකාව මොකක් ද?

මගේ චරිතය වුණේ නිර්මලා. වෛද්‍යවරියගේ බිරිඳක්. ඒ එක්කම පොඩි දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මම මෙතෙක් නොකරපු විදියේ වෙනස් චරිතයක් කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්. මේ වෙද්දී කෙටි චිත්‍රපට හරහා නොයෙකුත් කාන්තා චරිත නිරුපණය කරලා තියෙනවා. නමුත් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දුන් පළමු අවස්ථාව. මගේ චරිතය ගොඩ නැගෙන්නේ මම ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය එක්ක.

 මෙහි කැමරාකරණය සිදුවන්නේ ඉන්දියානු කැමරාශිල්පී ගෝපි ජගදේශ්වරන්, කොහොමද ඒ අත්දැකීම?

ඒ අත්දැකීම මගේ රංගන ජීවිතේට අලුත්ම අත්දැකීමක් වුණා. ගෝපි ජගදේශ්වරන් කියන්නේ ඉතාම දක්ෂ ඉන්දියානු සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ රූප රාමු හරිම ලස්සනයි. ඒ එක්කම ගෝපි බොහොම නිහතමානි කෙනෙක්. වැඩ කරන්න පහසු කැමරා අධ්‍යක්ෂවරයෙක්. එවැනි කෙනෙක් යටතේ වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක්. අපේ මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරයා වන්නේ ක්‍රිස් ඇන්තනී. ඒ දෙදෙනා බෙදා ගන්න අදහස් එක්ක වෙනස්ම අත්දැකීමක් ලබමින් නිර්මාණය වෙන වෙනස්ම නිර්මාණයක් වෙයි.

 එයට අමතරව මේ දිනවල ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

සංගීතේ 2 ටෙලි නාට්‍යය තුළින් තමයි ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. ඒ එක්කම අප්‍රේල් මාසේ අග වෙද්දී හිරු නාළිකාව හරහා ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා” කියන නාට්‍යය සමඟ ප්‍රේක්ෂකයින් අතරට එන්න නියමිතයි.

 රංගනය වෙනුවෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මෙතෙක් කළ නිර්මාණ තුළින් ලැබුණු ප්‍රතිචාර ගැන මම සතුටු වෙනවා. ඒ එක්කම ක්‍රිස් ඇන්තනී මහතාගේ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ කාංචනාගේ චරිතයටත් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. මඟතොටේ දැක්කත් හඳුනාගෙන කතා බහ කරන අයගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මම බොහොම නිහතමානිව භාර ගන්නවා.

 චරිතයක් භාර ගන්න කලින් මුලින්ම සලකා බලන්නේ මොනවද?

මුලින්ම බලන්නේ නිර්මාණයේ අධ්‍යක්ෂවරයා කවුද කියන එක සහ මට ලැබෙන චරිතය මොන වගේ චරිතයක් ද කියලා. කරන්න පුළුවන් චරිත විතරයි භාර ගන්නේ. විශ්වාසයක් නැත්නම් මම ඒ චරිතය භාර ගන්නේ නැහැ.

 ඔබට රංගනයේ දී සීමාවන් තියෙනවද?

ඔව්. මගේ සීමාවන් ඇතුළේ තියෙන නිර්මාණ පමණයි භාර ගන්නේ. මම අඳින ඇඳුම ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ එක්කම මගේ චරිතය තුළ තියෙන මගේ සීමාවන් බලලා තමයි නිර්මාණ භාර ගන්නෙම. ටෙලි නාට්‍යය සිනමාවට පමණක් නෙවෙයි වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ දී වුණත් එහෙමයි මම මගේ සීමාවන් තුළ වැඩ කරන්නේ. දැන් මම අවුරුදු 10ක් තිස්සේ මේ වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යන්නේ මගේ සීමාවන් ඇතුළේ ඉඳිමින් තමයි. මට නොගැලපෙන චරිත ප්‍රතික්ෂේප කරලත් තියෙනවා.

 මෙතෙක් ලැබුණු චරිත ගැන තෘප්තිමත් ද?

ඔව්… මම තෘප්තිමත්. මම කලාවට ආවේ අහම්බෙන් වගේ. වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට ඇවිත් එතැනින් තමයි ටෙලි නාට්‍යය සහ සිනමාවට අවස්ථාව ලැබෙන්නේ. ඒ ලැබුණු අවස්ථාවන් ගැන මම සතුටු වෙනවා.

 රුක්ෂාන්ති කියන්නේ මොනවගේ කෙනෙක් ද?

මම බොහොම සරලව ජීවත්වෙන කෙනෙක්. බොහොම සාමාන්‍ය ජිවිතයක් ගත කරන්නේ. මම නිළියක් කියන එක ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. කැමරාව ඉදිරියේදී පමණයි මම නිළියක් වෙන්නේ. එතැනින් එළියට ආවම මම සාමාන්‍යය කෙනෙක්. සෙට් එකේ වුණත් කා එක්කත් හිතවත්ව මට ලැබෙන චරිතය කරලා පාඩුවේ ඉන්න කෙනෙක්.

 පවුලේ විස්තර කිව්වොත්?

මම විවාහකයි. අපිට දුවෙක් ඉන්නවා. මගේ හස්බන්ඩ් එක්ක සහ දුව එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ. අම්මා කෙනෙක් බිරිඳක් විදියට මම මගේ කොටස නොපිරිහෙලා ඉටු කරනවා.

 ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඒ ලැබෙන සහයෝගය නම් මෙච්චරයි කියන්න බැහැ. මගේ නිර්මාණ හොඳින් කරන්න අවශ්‍ය මානසික නිදහස මගේ හස්බන්ඩ්ගෙන් සහ දුවගෙන් මට නොඅඩුව ලැබෙනවා.

 මෙතෙක් ආ මඟත් එක්ක ජිවිතේ ගැන මොකද හිතෙන්නේ?

ජිවිතේ ගැන මම කවදාවත් ලොකුවට බලාපොරොත්තු ඇති කර ගන්න කෙනෙක් නෙවෙයි. මම මේ ආව ගමන අහම්බයක්. හැබැයි මට මේ ගමන තුළ බොහෝ දේවල් ලැබුණා. මම විශ්වාස කරන දෙයක් තමයි අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේවල් කාටවත් නතර කරන්න බැහැ කියන එක. ඉතින් මට සතුටුයි මගේ ජිවිතේ ලැබුණු දේවල් ගොඩයි. ලස්සන ජිවිතයක්, ලස්සන දුවෙක් මට ඉන්නවා. ඒ නිසා පෞද්ගලික ජීවිතය තුළත් කලාව තුළත් මට ලැබුණු දේවල් ගැන අවංකව සතුටු වෙනවා.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division