Home » මහා ඇලෙක්සැන්ඩර් දක්වා විහිදුණු සොක්‍රටීස්ගේ චින්තන වින්‍යාසය

මහා ඇලෙක්සැන්ඩර් දක්වා විහිදුණු සොක්‍රටීස්ගේ චින්තන වින්‍යාසය

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

සොක්‍රටීස් සොයා ඉපැරණි ග්‍රීසියේ කරක්ගැසූ සේපියන්ස් ගොයියා, නිකමට මෙන් දඹදිව් තලයටද එබිකම් කර බැලුවේය. ඒ වෙන මොකකටවත් නෙමේය. සොක්‍රටීස්ව ගෞතම බුදුන්ට මුණගස්සවා දෙදෙනා අතර කිසියම් කථිකාවක් ඇති කරවා ඒ සුන්දරත්වය අත්විඳීමටය.

අහෝ ඛේදයක්ය! සොක්‍රටීස් ග්‍රීසියේ උපත ලබා තිබුණේ අදට වර්ෂ 2,424 කට පෙරාතුවය; එනම්: ක්‍රිස්තූ පූර්ව 470දීය. ඔහු මියගොස් තිබුණේ ක්‍රි.පූ 399දීය. සොක්‍රටීස් වයස 71දී, එවක ග්‍රීසියේ වූ ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයේ අධිකරණය විසින් දෙන ලද මරණ දඬුවමට අනුව වස දී මරා දමා තිබිණි.

ගෞතම බුදුන් වහන්සේ අදට වසර 2,508කට පෙර – එනම්: ක්‍රි.පූ 623දී – ඉන්දියාවේ උපත ලබා තිබිණි. උන් වහන්සේ පිරිනිවන්පෑවේ ක්‍රි.පූ. 543දීය. ඒ වනවිට උන් වහන්සේ 80 වියැති වූ සේක.

ඒ අනුව, සොක්‍රටීස් ඉපදී ඇත්තේ බුදුන් පිරිනිවී වසර 144කට පසුවය. කෙසේ වෙතත්, තරමක සමකාලීනයන් වූ ඒ දෙදෙනා දෙපළක ඉපදුණත්, දෙදෙනාගේම ගවේෂණශීලිත්වයේ හිතුවක්කාරකම අපූරුයැයි සේපියන්ස්ට සිතෙයි.

ඔවුහු දෙදෙනාම යුක්තිය සහ යහපතෙහි වැදගත්කම සහ සරල ජීවන රටාවක් විශ්වාස කරති. කෙසේ වෙතත්, ඒ දෙදෙනාගේ තිබී ඇති අවසාන අරමුණු වෙනස්ය. සොක්‍රටීස් ලෞකික අර්ථයන් සහ කේතයන් ගැන සැලකිලිමත් වන අතර, ඔහු සත්‍යය සහ සදාචාරය සමඟ කටයුතු කරයි. සොක්‍රටීස් මරණින් පසු ආධ්‍යාත්මික නැවත ඉපදීමක් සහ ජීවිතය තුළ විශිෂ්ටත්වය නමැති එන්ලයිට්මන්ට් (හෙවත් විමුක්තියක්) ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කර ඇතැයි පෙනේ. බුදුන් වහන්සේ සකල ක්ලේශ හෙවත් කාමුක ආශා සහ බැඳීම් සියල්ල විසුරුවා හැර, ප්‍රහීන කර, නැවත ඉපදීමක් නැති, මිහි මත ළඟා කරගත හැකි උපරිම ප්‍රඥාසම්පන්න සන්තුෂ්ටිමත් ජීවිතයක් ගත කිරීමේ අවසන් අරමුණ වන බුද්ධත්වය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කළ සේක.

බුදුන් වහන්සේ, සිය අරමුණ සෙවීමට ලෝකය විශ්ලේෂණය කිරීමට ද්විකෝටික තර්කනය මෙන්ම බහුමානික තර්කනයද යොදාගෙන තිබේ. සොක්‍රටීස්ගේ ප්‍රශ්න කිරීමේ ක්‍රමය හෙවත් ඇලන්කස් නමැති තාක්ෂණික ක්‍රමය විසින් ඉතා තියුණු ලෙස ද්විකෝටික තර්කන ක්‍රමය භාවිතයෙන් අප තුළ මුල් බැසගත් අදහස් අනුමිතීන්ට එහා ඇති, අදාළ විෂය මූලිකයට සාපේක්ෂව වඩාත් ‘ෆෙයා’ හෙවත් වඩාත් සාධාරණ කියවීමක් කරා ගෙනයෑමේ සුවිශිෂ්ටත්වයක් විය. බුදුන් වහන්සේ සමහර අවස්ථාවන්හිදී පුනර්භවය හෝ පුද්ගලත්වය සහ ආත්මය වැනි කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දීමට චතුස්කෝටිකය හෙවත් මාන හතරකින් යුත් බහුමානික ප්‍රශ්නෝත්තර විතෑරීමේ තාක්ෂණය භාවිත කර තිබේ. (දීඝ නිකායට අයත් මහාලී සූත්‍රය තුළ මේ බුද්ධ දාර්ශනික තර්කන තාක්ෂණය හඳුනාගත හැකිය).

ද්විමානික ප්‍රශ්න විතෑරීමේ සොක්‍රටීස් ඇලන්කස් ක්‍රමවේදය, තල දෙකකින් යුක්ත ගැඹුරක් නැති චතුස්මාණික ක්‍රමය මෙන් ත්‍රිමාණ බවක් නැතැයි කිසිවකුට කිව නොහැකිය. ඊට හේතුව නම්, ද්විකො­්ටික ක්‍රමය ඔස්සේ, අඛණ්ඩව කෙළවරක් දක්වා ප්‍රශ්න කෙරෙමින් යන යාන්ත්‍රණය මඟින් වඩාත් ත්‍රිමාණික අදහසක් අවසානයේ ගොඩ නැගෙයි. වත්මන් දියුණු විද්‍යාවේ එය බහුලව භාවිත වන සරල මූලධර්මයකි. ජීව විද්‍යාවේදී බහුලව යොදා ගන්නා ‘දෙබෙදුම් සූචි’ (Dichotomous Key) යන ශාක සත්ත්ව වර්ගීකරණ ක්‍රමවේදය එය ඍජුවම භාවිත වන එක්තරා ආකාරයකි.

සේපියන්ස් ගොයියා ආගමික ශාස්තෘවරයකු ලෙස, බුදුන්ව, ඉමහත් බැතියෙන්, උන්වහන්සේ කියා ඇතැයි පැවසෙන සෑම දෙයක්ම ඉතසිතින් පිළිගනිමින් ඇදහීමම සිදුකරගත් බරපතල අතපසු වීමකැයි සිතෙයි. සොක්‍රටීස් ඍජුවම තමාව අනුගමනය නොකරන මෙන් අනුගාමිකයන් ප්‍රතික්ෂේප කරමින් සත්‍ය, සදාචාරය, යුක්තිය ආදිය වටා ගොනු වන මුල්බැසගත් චින්තන අර්ථ දැක්වීම් සමඟ ජීවිත පරීක්ෂා කර බැලීමේ අපූරු හිතුවක්කාරකම විසින්, ඔබ්බෙන් වූ ආයස්ථානයකට වාස්තවික ලෙස (Objectively) අපගේ චින්තනය රැගෙන යයි. එවිට, ප්‍රඥා බුද්ධි මහිමය පුද්ගල ගරුත්වයේ ගිලී මිහිදන් වන්නට නොදී, දාර්ශනිකයාගේ දාර්ශනික කාරණා සමඟ නග්නවම පොරබදා ප්‍රඥාව පසක් කරගන්නට යොමු කරයි. එය වඩාත් ප්‍රතිඵලදායක බව සිතේ. බුදුන් ඇතුළු සුවිශිෂ්ට දාර්ශනිකයන්ගේ ප්‍රඥාවද ස්පර්ශ කළ යුත්තේ එලෙසයැයි සේපියන්ස් ගොයියාට නිකමට සිතෙයි.

සේපියන්ස් ගොයියා සිය දැහැනින් මිදී නැවත ග්‍රීසියටම පාව ගියේ තමන්ට මෙතුවක් නුපුරුදු වුවත්, සුන්දර වූ මිනිසා, සොක්‍රටීස්ව තව ටිකක් ආශ්‍රය කිරීමටය.

ප්‍රඥාවන්තයන් ලෙස සලකනු ලැබූ බොහෝ මිනිසුන්, එකල ඒ සමාජය තුළ විසීය. එහෙත්, සොක්‍රටීස් ප්‍රඥාව ගැන ඉතා සැකයෙන් පසු විය. ඊට හේතුව නම්, තමන් ප්‍රාඥයකු ලෙස පෙනී සිටින හෝ ප්‍රඥාවන්ත යැයි කියා ගන්නා පුද්ගලයන් ඇත්ත වශයෙන්ම එතරම් ප්‍රඥාවන්ත නොවන බවට ඔහු තුළ දැල්ව තිබූ උපකල්පනය සහ විශ්වාසයය.

මක් නිසාද යත්: කිසිවකු තමා හෝ තවත් කිසිවකු ප්‍රඥාවන්ත යැයි විශ්වාස කරන විට, ඔවුන් අන්ධ ලෙස ඔහු පසුපස යෑමට නැඹුරු වෙතැයි සොක්‍රටීස් තුළ මතු වූ තියුණු සංකල්පයය. එහෙයින්, මේ මුළාව නිසා භයානක ප්‍රතිඵල ඇති විය හැකි නිසාම, මේ ප්‍රඥාව ගැන ප්‍රශ්න නොකරන්නේ නම්, එසේ සිතා සිටින්නාට කිසි විටෙකත් එහි අඩුපාඩු සොයාගත නොහැකිය. එවිට දැනුම දැවැන්ත වෘක්ෂයක් සේ අතුපතර විහිදා වැඩෙමින් වෙනස් වීම වෙනුවට, කළු ගලක් මෙන් නිශ්චලව පවතී.

ඒ නිසාම ඔහු ප්‍රශ්න අසමින් සිය කුතූහලය සංසිඳුවමින් සත්‍යය පසක් කරගැනීමට කල්පනා කළ බව පෙනේ. යමක් සත්‍යයයැයි යමකු ප්‍රකාශ කරන විට, ඒ සත්‍යය පරීක්ෂා කිරීමට හොඳම ක්‍රමය අභියෝගාත්මක ප්‍රශ්න මාලාවක් ඇසීම බව සොක්‍රටීස් වටහාගත්තේය, උදාහරණයක් ලෙස: මිනිසකු සියුස් දෙවියන්ට (එකල ග්‍රීකයේ වූ දේව විශ්වාසය) ආදරය කිරීම ගුණදායක සීලයක්යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඒ කියන්නා වූ සීල ගුණය යනු කුමක්දැයි සොක්‍රටීස් ප්‍රශ්න කළේය.

එවිට ඒ, ආදරය කුමක් ද?, ශීලය යනු කුමක්ද? යි පහදා දීමටවත් නොහැකි නම්, ආදරය කිරීමට වෙනත් දෙවිවරුන්ද සිටී නම්, ඔවුන් සියුස්ට ආදරය කිරීම, විශේෂ ගුණදායකයැයි පවසන්නේ කෙසේද? ආදි වශයෙන් ප්‍රශ්න විමසමින් අදහස් පරීක්ෂා කර බැලීය. එසේම, ආදරය යනු කුමක්දැයි ඔවුන්ට පැහැදිලි කළ නොහැකි නම්, හැම දෙන සැබවින්ම සියුස්ට ආදරය කරන්නේදැයි, දැනගත හැක්කේ කෙසේද?

ඒ නිසා, අපි සිල්වත්ය, ගුණවත්ය යනුවෙන් ප්‍රකාශ කරන කෙනෙකුට, මේ අභියෝගවලට පිළිතුරු දිය නොහැකි නම්, ඔවුන්ගේ ප්‍රකාශයේ සත්‍යතාව ඔවුන් දැන ගන්නේ කෙසේද? ආදි ලෙස සොක්‍රටීස් තවදුරටත් පරික්ෂා කර බැලීය. සොක්‍රටීස්ට සියල්ල සිද්ධ වෙන්නට ගන්නේ මේ කාරණාත් සමඟය.

සොක්‍රටීස් ජීවත් වූ යුගයේ ග්‍රීසියේ ලේඛන කලාව දියුණුව තිබිණි. එහෙත්, සොක්‍රටීස් සිය මතවාද අදහස් කිසිවක් ලේඛනගත කළේ නැත; අන් අයට කියවන්න බොහෝ දේ ලියා තැබුවේද නැත. ඉතා කල්පනාකාරි මිනිසකු වූ හෙතෙම යම් යම් පුද්ගලයන් සමඟ ඔවුන්ගේ අදහස් පරීක්ෂා කරමින් ප්‍රශ්න අසමින් කිසියම් අද්භූත ස්වරූපයකින් කටයුතු කළ බව පෙනේ.

එහෙත්, ප්ලේටෝ නමැති ඉතා දීප්තිමත් ශිෂ්‍යයකු ඇතුළු ඇතෑන්ස්හි බොහෝ තරුණයෝ ඔහු පසුපස පැමිණ, සමීපව ඇසුරු කිරීමට පුරුදුව සිටියහ. සොක්‍රටීස්ගේ මරණයෙන් පසු ප්ලේටෝ, ක්සෙනෆෝන් ඇතුළු ගෝලයන් විසින් සිය ගුරු උපදේශකයාණන් වූ සොක්‍රටීස් ගැන යම් යම් දේ ලියනු ලැබීය. ඒ ලියවිලිවල සොක්‍රටීස්ගේ ප්‍රශ්න කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය ගැන පමණක් නොව, අල්ප වූවත්, සමහර පෞද්ගලික තොරතුරු පවා ලියා තිබේ. සොක්‍රටීස්ගේ ක්‍රමවේදය ග්‍රීසියේ ඊළඟ ප්‍රබල දාර්ශනිකයකු වූ ප්ලේටෝට ඉමහත් සේ බලපෑවේය. ප්ලේටෝගේ ගෝලයකු වන, තවත් ඓතිහාසික විද්වතකු වූ ඇරිස්ටෝටල් පඬිවරයාද, සිය ගුරුවරයා වූ ප්ලේටෝගේ ඉගැන්වීම් ඔස්සේ සොක්‍රටීස්ගේ න්‍යායන් පිරිසිඳ දැනගත්තේය.

ලොවක් හෙල්ලූ, යුරෝපයේ සිට ඈත ආසියාව දක්වා දිග්විජය කළ සක්විති රජකු වූ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ගුරූපදේශකයා වන්නේ ඇරිස්ටෝටල්ය. නැති නම්, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ගොඩනැංවූ මහා පුරුෂයා ඇරිස්ටෝටල්ය. සොක්‍රටීස්ගේ ප්‍රබුද්ධ ඥාන පරම්පරාවෙන් පැමිණි මේ සුපිරි දැනුම් සමුච්ඡය, හෙවත් චින්තන වින්‍යාසය මහා ඇලෙක්සැන්ඩර් වැනි ප්‍රබුද්ධ ගෝලීය පාලකයකු තනන්නට පවා හේතු වී ඇත්තේ එසේය.

කෙසේ වෙතත්, පසුව රෝමවරුන් විසින් මහා ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය අත්පත් කරගනු ලැබීය. එවිට ඒ අධිරාජ්‍යය තවත් විශාල වූ අතර, ග්‍රීක සම්ප්‍රදාය තවදුරටත් ව්‍යාප්ත විය. එහෙත්, කනගාටුවට කරුණ වන්නේ, රෝමවරුන්ගේ වැටීමත් සමඟ ලෝකය දිගු අඳුරු කාලපරිච්ඡේදයකට පිවිසීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division