Home » පක්ෂය ගොඩනඟන කාර්යයට උර දීමට මම සූදානම්

පක්ෂය ගොඩනඟන කාර්යයට උර දීමට මම සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට එජාපයේ සූදානම කෙබඳුද?

එජාපයේ එක්කෙනකු දෙන්නෙකු විසින් කඩාකප්පල් කරන්න හදනවා. මේ පක්ෂය නැවත වරක් ඉහළින් ඔසවා තබන කාර්යයට උරදී කටයුතු කරන පිරිස් රැසක් ඉන්නවා. මේ මැතිවරණයට සියලු ප්‍රදේශවලින් පිරිස තරග කරනවා. මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්න හැකි අය ඉන්නේ කුමන තැනද? කියන දේ බලලා උදවු කරන එකයි අපි කරන්නේ. පක්ෂයේ අභිවෘද්ධියට හානි කරන කිහිප දෙනකු සිටීම පක්ෂයට ප්‍රශ්නයක්. පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කරලා ඉදිරියට පක්ෂය ගෙනයෑමට කටයුතු කරන පිරිසකුත් ඉන්නවා.

මේ රටේ ප්‍රබල පක්ෂයක් වූ එජාපය එක් මන්ත්‍රී ආසනකට වැටුණා. ඒ පසුබෑමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මේ පසුබෑමට හේතු ලෙස එජාප සම්බන්ධයෙන් නොයෙක් කතාබහ ඇති වෙලා තියෙනවා. මේ ඓතිහාසික පක්ෂයක්. මේ පක්ෂය බිඳවැටෙනවාට මේ පක්ෂයට ආදරය කරන මිනිසුන් කිසිසේත් කැමැති නැහැ. 1947 මේ පක්ෂය ආරම්භ කරලා ඉන් අනතුරුව 1948 නිදහස ලබා ගන්න ප්‍රමුඛ වුණා. ඩි.එස්. සේනානායක සහ ඉන් පසුව ජේ. ආර්. ජයවර්ධන 1977 වසරින් පසුව මේ රටට අතිවිශිෂ්ට සේවයක් කළා. රට බංකොලොත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් රට ගොඩනැඟීමේ මහඟු කාර්යයට උර දී, රට නැවත ස්ථාවරයකට ගෙනාවා. මේ රට ස්ථාවර කළ ප්‍රබල පක්ෂයක් ලෙස කඩිනම් මහවැලි ව්‍යාපාරය, කොළඹ වරාය, නිදහස් වෙළෙඳපොළ ක්‍රමය, වික්ටෝරියා, මාදුරු ඔය, කොත්මලේ, රන්ටැඹේ, රන්දෙණිගල, මොරගහකන්ද වැනි ව්‍යාපෘතිවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළා. රටේ තීරණාත්මක තීන්දු රැසක් මේ එජාපය විසින් ගෙන තියෙනවා. මේ රටේ ආර්ථික දේශපාලනික සමාජයීය ක්ෂේත්‍රවල වැදගත් කාර්යභාරයක් ඉටු කළ පක්ෂයක් මෙවැනි තත්ත්වයකට පත් වීම ගැන පාක්ෂික ජනතාව ප්‍රශ්න කරමින් සිටිනවා.

ඉදිරියේදී මේ පක්ෂය ගොඩනඟන්න ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා; ඒ සම්බන්ධයෙන් සැලසුම් මොනවාද?

අපි එජාප කරපු වැඩපිළිවෙළ නැවත ජනතාවට සිහිපත් කරමින්, මේ රට වැටුණ හැම තැනදීම අත දීපු මේ පක්ෂය නැවත ගොඩනැඟිය යුතුයි කියන දේ පෙන්වා දිය යුතුයි. මේ කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන මේ පක්ෂයේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ කාර්යභාරයට උර දීමට මම සූදානම්.

කෙසේ වුවත් පසුගිය මැතිවරණවලදී එජාපය දිගින් දිගටම පසුබෑමට ලක් වුණා නේද?

2020 මැතිවරණයේදීත් මේ පක්ෂය මේ ලෙසම එක් ආසනයකට අඩු වුණා. ඉන් පසුව ඒ එක්කෙනා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. මේ ලෙස පසුබෑමට ලක් වුණත් ජනතාව මේ රටේ විශාල වගකීමක් ගන්න පුළුවන් සහ වැටෙන තැනකදී රට උඩට ඔසවන්න පුළුවන් පක්ෂයක් කියලා අපි විශ්වාස කරනවා. මැතිවරණය අවසන් වූ පසුව පුළුල් විපක්ෂ එකතු වීමත් සමඟ ඉදිරියට යෑමට බලාපොරොත්තු වනවා. ඉන් පසුව අපට පක්ෂයේ අනාගතය ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකියි. ඒ නිසා මේ ජන්දයෙන් පසුව ඉදිරි දේශපාලනික දිශානතිය ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීමට හැකියාව ලැබේවි. අධි තක්සේරුවක් නැතුව සියලු දෙනාම එකමුතුව ඉදිරියට ගමන් කරමු කියලා මම කියන්නේ. පක්ෂයේ ගරුත්වය ගැන සිතිය යුතුයි. ජනතාව හිතන විදිහට ජනතා වරමින් නව ගමනක් ආරම්භ කළ යුතුයි.

විපක්ෂය සමඟ සන්ධානගත වීම ගැන සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ නම්, කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සන්ධානගත වීමක් සිදු වෙන්නේ නැහැ කියලයි…

මේ වෙලාවේ සිතන්න අවශ්‍ය රට ගැනයි. ඡන්දයකට සූදානම් වන අවස්ථාවේදී හැම පක්ෂයම තමන්ගේ පක්ෂය ප්‍රමුඛතාව තබා ගැනීමට කටයුතු කරනවා. නමුත් අවසානයේදී අපි සියලු දෙනා එකට වැඩ කරන්න හැකි තත්ත්වයක් ඇති කරගත යුතුයි. මේ අවස්ථාවේදී තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මෙවැනි දේවල් කියනවා. ඡන්දය අවසන් වුණාට පසුව එකට එකතු වී වැඩ කටයුතු කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

එජාපයට ගමට යන්න පුළුවන්කමක් තියෙනවාද?

මේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන පක්ෂයේ ගරුත්වය රකින්න පුළුවන් ලෙස අපි වැඩ කරන්න අවශ්‍යයි. මේ ඇතැම් පිරිස් ගම නැති කරලා කොළඹට ඇවිල්ලා, කොළඹත් නැති කරන ගමනක් තමයි දැන් යන්නේ. පක්ෂයේ ගරුත්වය රැකගෙන අපි ඉදිරියට යන්න අවශ්‍යයි. ඉදිරි අනාගතයේදි සිත සතුටු කරන්න එක් පාර්ශ්වයක් ගැන කතා කරලා වැඩක් නැහැ. සියලු දෙනාම තමන්ගේ දුර්වලතා මඟ හැරගෙන එකට ශක්තිමත්ව වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි.

ඔබ පක්ෂ එකතු වීමක් ගැන කතා කළාට, මහමැතිවරණයේදී තුනෙන් දෙකක් ඉක්මවා ගිය එන්පීපීඑක මෙවර ගමත් ජයග්‍රහණය කරයි නේද?

මේ ආණ්ඩුවේ ජනතාවට විශ්වාසය තියෙන්නේ ජනාධිපති අනුර කුමාර ගැන විතරයි. මම හිතනවා මේක ගමේ ඡන්දයක්. හැම පක්ෂයකම පිරිස් ඉන්නවා. අපේ පාක්ෂිකයොත් ගමේ ඉන්නවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමයි අවශ්‍ය වන්නේ.

බටලන්ද ඇතුළු වධකාගාර පිළිබඳ විමර්ශන සිදු වනවා. එදා වධකාගාර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ නායකයාට චෝදනා එල්ල වනවා…

ඒ සම්බන්ධයෙන් 10 වැනිදා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙනවා. මේ අවස්ථාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් අපි ඉදිරිපත් කරන්න අවශ්‍යයි. දෙපැත්තෙම ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා එක් පැත්තකින් අනෙක් පැත්තට ඇඟිලි දිගු කරන එක නොවෙයි කළ යුත්තේ. රටක් ලෙස මේ රට පත් වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩ ඒමයි අපි කළ යුත්තේ. අපි මේ වගේ හැසිරුණොත් මොකද වෙන්නේ? ජාතික අසමගියක් ඇතිවෙන්න පුළුවන්. අපි මේ රටේ යටත්විජිතයක් ලෙස සිටිය කාලෙ සුද්දන්ගෙන් බලය අපේ අතට ගත්තේ සියලු ජාතීන් එකතු වෙලා. අපි මේ වෙලාවේ මේ රටේ සියලු ජනතාව ශ්‍රි ලාංකික කියන තැන ඉඳලා කතා කළ යුතුයි. එසේ නොවුණ හොත් මේ රටට වෙනත් අයගේ බලපෑම් එල්ල විය හැකියි. අපේ අනන්‍යතාව අපි රැක ගන්න අවශ්‍යයි. සියලු දෙනා එක පවුලක් ලෙස කටයුතු කළ යුතුයි.

ඔබ කියන්නේ මේ රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වා ගෙන ගිය වධ කඳවුරු කාලයේ වැලිතලාවෙන් වැසී යන්න ඉඩ දිය යුතුයි කියලද?

නැහැ. මම එහෙම කියන්නේ නැහැ. කවුරු කරපු දේවල් වුණත් සොයන්න අවශ්‍යයි. ඒ වගේ දේවල් නැවත නොවීමට කටයුතු කළ යුතුයි. නමුත් මේ දේවල් ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ. මෙවැනි දේවල් සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් නිවැරදි කළ යුතුයි. නිර්දේශ වෙලා තියෙන්නේ මොනවද කියලා බලලා, ඒ අනුව වැඩ කරන්න කියලා අපි කියන්නේ. වැරදි පණිවිඩයක් ලෝකයට දෙන්න හොඳ නැහැ. අන්තිමට වෙන්නේ දේශීය මට්ටමින් තියෙන දේවල් අන්තර්ජාතික මට්ටමට තල්ලු වෙන එකයි. මේ දේවල්වලට දැන් අවුරුදු තිහක් විතර ගිහින් තියෙනවා. මේ සම්බන්ධයෙන් මෙච්චර කල් නිහඬ වෙලා හිටියේ ඇයි? රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය රැකගෙන අපි කටයුතු කළ යුතුයි. අනෙක් රට‍වලත් ගැටලු වුණා. ඒ හැම වෙලාවෙම ඒ අය රටක් ලෙස විසඳාගත්තා. මම හිතනවා වැරදි කරලා ඔප්පු වෙලා ති‍ෙයනවා නම් සමාවක් නැහැ. ඒත් එක් පැත්තකට විතරක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ.

ඔබ ඔහොම කතා කළාට මේවා අන්තර්ජාතික අධිකරණයට යා යුතු ප්‍රශ්න…

පොඩි ළමයි සෙල්ලම් කරනවා වගේ, අනෙක් අයට ඇඟිලි ගහන්න කටයුතු සූදානම් නොකළ යුතුයි. එය රට ඇතුළේ විසඳා ගත යුතුයි.

උතුරේත්, දකුණේත් එදා මරාදැමුවේ අනාගතයේ මේ රටේ පාලනය භාර ගන්න සිටි බුද්ධිමත් තරුණයන්. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුයි කියලා ජනතාව විශ්වාස කරනවා…

රටේ ඕනෑ කොනක සිටින අය ශ්‍රී ලාංකිකයන් කියලා සලකන්න අවශ්‍යයි. නීතිය අනුව සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතුයි. මට අවශ්‍ය මගේ රට ආරක්ෂා කරන්න පමණයි. අන්තිමට මේ දේවල් නිසා නැති ප්‍රශ්න රටේ ඇති වෙමින් පවතින්නේ. දේශීය ප්‍රශ්න විදේශීයකරණය කළ යුතු නැහැ. මෙය අන්තර්ජාතික ලෝකයට ගෙනිහිල්ලා ලංකාව ලෝකයට විවෘත කරන්න එපා කියලා අපි කියන්නේ. මේ සියල්ලෙන්ම වෙන්නේ අපේ රටේ ප්‍රශ්නවලට වෙනත් අය ඇඟිලි ගැසීමයි. සාමය ඇති විය යුත්තේ හෘදය තුළින් පමණයි.

දේශපාලන අවබෝධයක් ඇති උගත් තරුණයන්ගේ රික්තයක් පවතිනවා නම්, ඊට හේතුව තරුණ පරම්පරාව ඝාතනය කිරීම කිවුවොත්…

නැහැ, ඒක මට අනුමත කරන්න බැරි දෙයක්. තරුණයන් ඝාතනය වීම රටට පාඩුවක් තමයි. එසේ නැතිව මෙවැනි දේවල් වුණා කියලා උලුප්පා පෙන්නලා ලෝකයට ප්‍රශ්න පෙන්නලා රටට යහපතක් වෙන්නේ නැහැ.

වත්මන් රටේ ආර්ථීක ප්‍රතිපත්තිය ගැන ඔබ මොකද හිතන්නේ?

මේ අවස්ථාවේදී මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුව හොත් පමණයි රට නැවත යථා තත්ත්වයට පත් වෙන්නේ. මේ රටේ ආර්ථික ක්‍රමවේදය නිල වශයෙන් අපගේ කාලයේ පටන් ගත්ත දේ ඉදිරියට යෑමක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා අපේ කාලයේ ගෙනගිය ආර්ථික ප්‍රතිපත්තිය හරි නම් මේ යන ක්‍රමයත් හරි කියලා තමයි කියන්න තියෙන්නේ. මේ රටට විවෘත ආර්ථිකයට වෙන විකල්පයක් නැති නිසා දුර්වලතා තියෙනවා නම් ඒවා සකස් කරගනිමින් ඉදිරියට යෑමයි කළ යුත්තේ. ආර්ථිකය ජයග්‍රහණය කිරීම තුළින් තමයි අපේ රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන්. ධනවත් මිනිසුන්ගේ ධනය කඩලා බිඳලා දීලා දුප්පත්කම නැති කරන්න බැහැ. හැම දේම නිකන් දෙන එක නොවෙයි විය යුත්තේ. මෙයින් පසුව අපි අායෝජනය හොඳ තැනකට ගෙන යා යුතුයි. අපි ව්‍යවසායකයන් හරි පැත්තකට යොමු කළ යුතුයි. කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි. මම හිතන්නේ රජයක් ලෙස බිස්නස් කරන්න බැහැ. ව්‍යවසායකයන් බවට පත් වෙලා රජය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ වෙලා තරගකාරි තත්ත්වයක් රට තුළ ඇති කළ යුතුයි. වමට සිග්නල් දාලා දකුණට යන්න හොඳ නැහැ. මේ රට හරි දිශානතියකට ගෙනයෑමටයි අවශ්‍ය වෙන්නේ.

නව රජය ගෙන යන විදේශ ප්‍රතිපත්තිය ගැන ඔබේ අදහස කුමක්ද?

අපි කිසිවකු සමඟ අමනාප නොවන ලෙස කටයුතු කළ යුතුයි. අසල්වැසි රට ලෙස බලාගෙන ඉන්දියාවත් සමඟත් කටයුතු කළ යුතුයි. අපි ඉන්දියාවේ සහයෝගය පාවිච්චි කරගෙන, චීනයේ ශක්තිය සහ ආයෝජනය ප්‍රයෝජනයට අරගෙන කටයුතු කළ යුතුයි. අමෙරිකාවේ සහ යුරොපා හවුලේ මිත්‍රශීලි බව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුයි. ජපානය, කොරියාව සහ කැනඩාව සමඟ දියුණු නව මාර්ගයකට යා යුතුයි. ලංකාව තියෙන්නේ ලෝකය ඇතුළෙ මිස, ලෝකය තියෙන්නේ ලංකාව ඇතුළේ නොවෙයි. අපි කියන්නේ ආණ්ඩුවට මේ රටේ ජනතාවට ඡන්දයෙන් දුන් පොරොන්දු ටික ඉටු කළ යුතුයි. එයයි සිදු විය යුත්තේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division